Last Updated on 2 months by admin
කොලට් සේනානායක
නාරද කරුණාතිලක
ක්‍රිස්තියානි ඉගැන්වීම පරිදි ලෝක විනාශයක් සිදුවෙතැයි පවසා, එය සිදු වන දිනය නියම කර විපතින් ගැලවීමට බැතිමතුන් සූදානම් කරන ක්‍රිස්තියානි සංවිධාන ගණනාවක් ඇමරිකාවේ තිබේ. ‘ජේම්ස් ටවුන්’ ඛෙදවාචකය (1978 නොවැම්බර් 18) මෙවැනි ආගමික සංවිධානයක ක්‍රියාවකි. එහි සිදු වූයේ යාඥාකරන දේවස්ථානයක් තුළ බැතිමතුන් දහකට ආසන්න සඛ්‍යාවකගේ ජීවිත විනාශ වී යාමයි.
පූර්වයේදී ප්‍රකාශ කරන ලද පරිදි නියමිත දිනයේ දී එවැනි විනාශයක් සිදු නොවූ විට පාස්ටර්වරුන් කරන්නේ ලෝක විනාශය සිදු වන වෙනත් දිනයක් ප්‍රකාශයට පත් කිරීමයි. ලෝක විනාශය ගැන කියා ඊට බැතිමතුන් සූදානම් කරන විදේශීය ආගමික කල්ලිවල ශාඛා සිය ගණනක් ලංකාවේ ද ඇත.
ලෝකයේ සියලුම රටවල වෙසෙන නිර්ධනයින් නිශ්චිත කාලයක දී ඔවුන්ව පාගාගෙන සිටින පාලිත පංතියට එරෙහිව නැගී සිට ලෝකය පාලන කිරීමේ බලය තමන් අතට ගනු ඇතැයි සිතීම ද මීට සමාන ඇදහීමකි. කාල් මාක්ස් නමැත්තාගේ ඒ යෝජනාව සැබැවින් සිදුවන්නක් යැයි ලෝකයේ යම් පිරිසක් පිළිගත්තේ 1917 දී රුසියානු විප්ලවය හේතුවෙනි. එය මාක්ස් ප්‍රකාශ කළ නිර්ධන පංතිය ලෝක බලය සියතට ගැනීම ක්රියාවේ ආරම්භක අවස්ථාව බව ඇතැම් මාක්ස්වාදීන්ගේ අදහස වූයේය.
එංගලන්තයේ ඉගෙනුම ලබමින් සිටි ශ්‍රී ලංකිකයින් කිහිප දෙනෙක්ද ‘සමසමාජය’ නමින් මාක්ස්වාදී කල්ලියක් හදාගත්හ. ඔවුන් ලංකාවට පැමිණ සමසමාජ පක්ෂය පිහිටුවා කොමියුනිස්ට් රාජ්‍යයක් පිහිටුවීමට නිර්ධනයින් කැඳවූහ. ‘සාදුකින් පෙළෙන වුන් දැන් ඉතින් නැගිටියව් අන්තිම සටනට සැරසියව්.’ කල්යාමේ දී සමසමාජය කැඩෙමින් ලෝක විප්ලවය සිදුවෙතැයි පිළිගත් මාක්ස්වාදී කල්ලි ගණනාවක් ලංකාවේ ඇති විය. ඒ කැඩිල්ල තවමත් සිදු වේ. පෙරටුගාමීන් මෑතක දී බිහි වූ මාක්ස්වාදී කල්ලියකට නිදසුනකි.
පුද්ගලයෙකු ආගමික සංවිධානයකට බැඳෙන්නේ එම සංවිධානයේ කොන්දේසි පිළිගනිමිනි. එම පුද්ගලයා මොනතරම් උගතෙකු වුවත් සංවිධානයේ සාමාජිකයෙකු වූ විට එහි කොන්දේසි ඉටුකරන්නට සිදු වේ. ඇෆ්ගනිස්ථානය ඉස්ලාම් රටකි. එහි ක්‍රියාත්මක තලිබාන් නීතිය පරිදි කාන්තාව පුරුෂයාගේ පාලනයට යටත් වේ. ඇෆ්ගාන් දොස්තරවරු, ඉංජිනේරුවෝ, විද්‍යාඥයෝ ආදි කවුරුත් තලිබාන් නීතිය පිළිපදිති. ඔවුහු එහි දෝෂයක් නොදකිති. මෑතක දී ප්‍රකාශයට පත් කළ තලිබාන් නීතියකට අනුව, ඇෆ්ගාන් කාන්තාවක ප්‍රසිද්ධ ස්ථානයක දී හඬ නැගෙන සේ කථා කිරීම දඬුවම් ලැබිය හැකි වරදකි.
ඉරානය වනාහි ලෝකයේ ඉතා බලවත් රටකි. එහි ක්‍රියාත්මක වන ඉස්ලාම් නීතිය පරිදි මොට්ටැක්කිලිය රහිතව නිවසින් එළියට බසින ඉරාන කාන්තාවට දඬුවම් ලැබේ. ඉරානයේ සියලුම උගතුන් හා විද්‍යාඥයෝ ආගමික නීතිය පිළිපදිති. පර්දාව නැතිව ගෙයින් එළියට බැස්ස තම භාර්යාව හිංසනයට ලක් කර රජයේ ප්‍රශංසාවට ලක් වූ උගත්තු එහි සිටිති.
කොමියුනිස්ට් සංවිධානයක ස්වභාවයත් එයමය. ස්ටාලින්ගේ සමයේ රුසියාවේ සමහර දරුවෝ දෙමව්පියන් වැඩවසම් චාරිත්‍ර රකිතැයි ආණ්ඩුවේ නිලධාරීන්ට ඔත්තු සැපයූහ. ඇතැම් දරුවන්, නිවෙසේ කෑමට සලාකයට නියමිත ප්‍රමාණයට වඩා පාන් ප්‍රමාණයක් ගෙනා තාත්තාව රතු හමුදාවට අල්ලා දුන් අවස්ථා තිබුණි.
ජවිපෙ දේහය සැදී ඇත්තේ වෘත්තීය සමිති පිහිටුවීම හා පැවති රජයන් සමග කළ වෘත්තිය අරගල සමගිනි. ජවිපෙ විධායක සභිකයෙකු වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂමන් නිපුනආරච්චි, වෘත්තීය සමිති අවශ්‍ය නැතැයි කියන්නේ ජවිපෙ ජනාධිපතිවරයෙකුගේ රජයක් පවතින හෙයිනි. වෘත්තිීය සමිති මාලිමා ආණ්ඩුවට කරදරයක් වේ යයි සිතන පිරිස් නිපුනආරච්ච්ගේ කතාව ක්‍රියාවට නැංවිය යුතු යැයි සිතති.
පුද්ගලයාගේ නිදහස උල්ලංඝණය කෙරෙන ආගමික හා දේශපාලන නීති කොතරම් අමිහිරි දැයි එවැනි නීති ක්‍රියාත්මක වන රටක ජීවත් වීමට සිදු වන පුද්ගලයෝ දනිති. ජනමාධ්‍යයන්ගේ එක කාර්යයක් වන්නේ රටක අභ්‍යන්තරයේ සිදු වන හිංසන ක්‍රියා බාහිර ලෝකයට දැනගන්නට සැලැස්වීමයි. කොමියුනිස්ට් රටවල් හිරගෙවල් බව ලෝකය දැනගත්තේ ඔවුන් ඇමරිකාව ප්‍රධාන බටහිර රටවල් ගැටෙන්නට යෑමෙනි.
ජවිපෙ උපන්ගෙයි මාක්ස්වාදී පක්ෂයකි. එය මාලිමාව වී ඇත්තේ දේශපාලන ශරීරයේ ඇතැම් මාක්ස්වාදී අවයව ඉවත් කරමිනි. ඊට ඇමරිකාව ප්‍රධාන බටහිර යුරෝපා රටවල්, ස්කැන්ඩියානු රටවල් පමණක් නොව ඉන්දියාවත් ආධාර වී ඇත. කතෝලික පල්ලිය හා ක්‍රිස්තියානි චින්තනය මාලිමාව ගොඩනගන්නට උපකාර කර තිබේ. එනමුත් මාලිමාව තුළ ක්‍රියාත්මක මාක්ස්වාදීන් පිරිසක් සිටිති. පසුගිය 31 දා මහනුවර පැවැති ජන හමුවක දී රනිල් වික්‍රමසිංහ කී කතාව ඔවුන් අනාගතයේදි ප්‍රවේශම් විය යුතු බවට කරන අනතුරු හැඟවීමකි. එම ප්‍රකාශය ලංකාදීප පත්‍රයේ පළ වී ඇත්තේ, ‘ජවිපෙ ප්රජාතන්ත්රවාදයේ ඇඳුම් ඇඳගත්තාට ඒවා තවම ඇඟට හරියට ගැලපෙන්නේ නැහැ’ සිරස්තලයෙනි.
සෙනසුරාදා (02) රාත්‍රියේ රූපවාහිනී නාළිකා බොහෝමයකින් මහනුවර පැවැති මාලිමාවේ රැස්වීමක් පිළිබඳ ප්‍රවෘත්තිය විකාශනය වූයේය. එයින් පැහැදිලි වූයේ, අනුර කුමාර ජනාධිපති සහෝදරයා සහභාගි වූ එම රැස්වීමේ දී ලාල්කාන්ත සහෝදරයා කළ ආකර්ශණීය කතාව රටට දැන්විය යුතු එකක් යැයි බොහෝ මාධ්‍යකරුවන් සිතූ බවයි. ලාල්කාන්තාගේ කතාව නියම මාක්ස්වාදියෙකුගේ කතාවකි. විජේවීර සමයේ ජවිපෙ වේදිකාවල මෙවැනි කතා ඇසුණි. ‘ඉන්දියානු හමුදාව වානර හමුදාව ලංකාවට ඇවිත් බලපල්ලා’ කියා තර්ජණය කළ සහෝදරවරු එකල විසූහ.
ලාල්කාන්ත සහෝදරයා, කතාවේ ආරම්භක කොටසින් තම මානුෂීය ගුණය පැහැදිලි කළේය. සතුරෙකු වුවත් විපතට ලක්ව සිටින දේශපාලනඥයා කෙරෙහි තම සිතේ දයාවක් පහළ වන බව ඔහු දිවුරමින් කීවේය. මෙය ලෝකයේ මාක්ස්වාදී රාජ්‍ය බිහි වූ හැම තැනකදීම මාක්ස්වාදී නායකයන් කළ පොදු කතාවක් නැවත ඉදිරිපත් කිරීමකි. එහෙත් ලංකාවේ වෙසෙන ලෝකය ගැන නොදන්නා පුද්ගලයින් ආකර්ශණය කරන්නට සමත්ය.
ජනරැලි ප්රචාරක කටයුතු මැතිවරණ නීතිය අනුව නීති විරෝධි කටයුත්තක් නොවන බව කී ලාල්කාන්ත, මාලිමාවේ මැතිවරණ පෝස්ටර් ගලවන පොලිස් නිලධාරීන්ට තර්ජනය කළේ ඉන් පසුවයි. රාජ්‍ය බුද්ධි අංශයට වඩා හොඳින් ක්‍රියාත්මක වන බුද්ධි අංශයක් මාලිමාවට තිබෙන බව ඔහු කීවේය. රට පාලනය කරන්නේ අනුර කුමාරගේ ආණ්ඩුව විසින් බව ඔහු පොලිසියට මතක් කළේය.
මේ අතර, විජිත හේරත් ඇමති සහෝදරයා, මාධ්‍යවේදීන්ට හා මාධ්‍ය ආයතනවලට අනතුරු ඇඟවීමක් කළේය. ‘වල්බූරු නිදහසක් තියෙන්නේ. ඒක තමයි වැරැද්ද” යැයි ඔහු කීවේය. ‘ජනතාව අමාරුවේ දාන වෘත්තීය ක්‍රියා මාර්ගවලට ඉඩ නොදෙන බව’ද ඔහු මාධ්‍ය හමුවකදී කියා ඇත.
අගමැති හරිනි, රාමඤ්ඤ නිකායේ මහානායක හිමියන් බැහැ දකින්නට ගිය අවස්ථාවේ මාධ්‍යවේදීන් එළියට යවන්නට අගමැති ආරක්ෂකයෝ කටයුතු කළහ. ‘අපට වෙන කාගෙන්වත් ඔහොම බලපෑමක් ආවේ නැතැ’යි එහි සිටි මාධ්‍යවේදියෝ කීහ. කණකොකාගේ සුද පෙනෙන්නේ ඉගිලෙන විට යැයි කියමනක් තිබේ. මාලිමා කණකොකා ආණ්ඩු බලය ලබා ඉගිල්ලෙන්නටත් කලින්ම ජනතාවට සුද පෙනෙන්නට පටන්ගෙන තිබේ.
රනිල්ව කරේ තියාගත් පොහොට්ටුවේ දේශපාලනඥයින් කිහිප දෙනෙක්ම දේශපාලන ලෝකයේ සැමදා සතුරන් නැතැයි කීහ. එයද බොරුවකි. දේශපාලනය තරම් ඇණකොටා ගන්නා තවත් ස්ථානයක් නැත. පොල්පොට්, ස්ටාලින් පමණක් නොව කියුබාවේ කස්ත්‍රෝ පවා දේශපාලන බලය රැකගැනීම සඳහා මිතුරන් විනාශ කර ඇත.
රෝහණ විජේවීර සහෝදරයා පණපිටින් පුළුස්සා මැරීම දේශපාලන ක්‍රියාවකි. ප්‍රේමදාස ජනාධිපති සමයේ දහස් ගණනක් තරුණ තරුණියන්ගේ මළ සිරුරු මහා මාර්ගවල ටයර් මත පිළිස්සි ගියේ දේශපාලන හේතුන් මතයි. ගම්වල විරුද්ධ පාක්ෂිකයන් ජවිපෙ කාඩරයන් අතින් ඝාතනය වූයේ දේශපාලන හේතු නිසාය. දෙමළ කොටි ත්රස්තයන්, දානයකට වඩින භික්ෂුන් වහන්සේ පිරිසක් අරන්තලාවේ දී ඝාතනය කරන්නේ දේශපාලන වුවමනාවටය.
ජවිපෙ මර්දනය කරන මුවාවෙන් රටේ විශාල සිංහල බෞද්ධ සංහාරයක් මෑත අතීතයේ සිදු වූ බව බොහෝ ජවිපෙ නායකයින්ට අමතක වී ගොසිනි. එය ඔවුන්ට මතක් කරවීම රටට හිතැති පුරවැසියන්ගේ යුතුකමකි.
කැලේ ගහක් නහන්ඩ කැලේ ගහක් යොදාගන්නවා යැයි පැරණි කතාවක් තිබේ. එදා බෞද්ධ සංහාරය සඳහා වැඩි වශයෙන් යොදාගත්තේ සිංහල බෞද්ධ නිලධාරීන්වමය. විජේරාමයේ පිහිටුවා තිබූ ත්‍රස්ත විමර්ශන ඒකකයේ රාජකාරි කළ වැඩිදෙනා අයත් වන්නේ බෞද්ධ පවුල්වලටයි. එහි ජවිපෙ යැයි සැක කර අල්ලා ගෙනෙන තරුණ තරුණියන්ගේ වධකාගාරයක් වූයේය.
ජවිපෙ කලක් ත්‍රස්තවාදී සංවිධානයක්ව පැවතිණි. ජවිපෙ නායකයින් මේ ඉතිහාසය වටහාගෙන ප්රජාතන්ත්රවාදයට විරුද්ධ අදහස් ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටිය යුතුය. පොලිසි ඇතුළු ආරක්ෂක අංශවල සේවකයන්ට තර්ජනය නොකළ යුතුය. අපට පොලිසියට වඩා හොඳ ඔත්තු සේවයක් ඇතැයි යන්න මිලිටරි කතාවකි. ලාල්කාන්ත වැන්නන් මේ ආකාරයට කොමියුනිස්ට් ආඥාදායකයන් ලෙසින් හැසිරෙමින් වචනයෙන් හා ක්‍රියාවෙන් වැරදි කරන්නට ගියහොත් සිදු වන්නේ මහ විපතකි.
ජවිපෙ සමග එක්ව සාමූහිකව කටයුතු කරන මාලිමාකරුවන් මාක්ස්වාදියෝ නොවෙති. ඔවුන්ට වෙන අරමුණු තිබේ. තමිල්නාඩුවේ ‘තලපති විජේ’ බලයට පත් කිරීමට ඇති කෙරෙන රැල්ල ගැන පැහැදිලි කෙරෙන ලිපියක් බෝධි සභාවේ පළ වී තිබුණි. විජේ නායකත්වය දරන දේශපාලන සංවිධානයේ අදහස් සහ මාලිමාව හරහා රටට බලපෑම් කරන පුද්ගලයින්ගේ අදහස් අතර සමානකමක් තිබේ. කොමියුනිස්ට් ආඥාදායකත්වය වෙත යන මාලිමාව ප්රජතන්ත්රවාදී මාවතට යොමු කරන මුවාවෙන් නැවත රටේ සිංහල බෞද්ධ සංහාරයක් සිදු වන්නට ඉඩ තිබේ.