මග හිටියත් තෝ නසී ගෙදර ගියත් තෝ නසී

Last Updated on 2 months by admin

ඩේවිඩ් ඇන්තනි

ඊශ්‍රායලය ගාසා තීරයේ සිය අණසක පතුරුවා හමාරය. ඉරාන සහායෙන් ලෙබනනයේ සිට ක්‍රියාත්මක වූ හමාස් සංවිධානයේ ප්‍රධානීන් වැඩි පිරිසක් ඊශ්‍රායල හමුදාව විසින් මරා දමා ඇත. මැදපෙරදිග යුද්ධ උණුසුම පැතිර ගිය අතීත කාලයන්හි ලංකාවේ තත්වය අදට වෙනස් වූයේය. පලස්තීනුවන්ට පක්ෂව ඊශ්‍රායලයට විරුද්ධව සහෝදරත්වය ප්‍රකාශ කරන දැවැන්ත පෙළපාළි කොළඹ නගරයේ පැවැත්විණි. දේශපාලන නායකයෝ එ.ජා. සංවිධාන කාර්යාලය වෙත ඊශ්‍රායල් ආක්‍රමණිකයාට විරුද්ධව පෙත්සම් භාර දුන්හ.

ඊට ප්‍රධාන හේතුවක් වූයේ රටේ ජන සංඛ්‍යාවෙන් තුන් වන ස්ථානයේ සිටි නමුදු, මුස්ලිම් ආගමිකයන් සතු වූ ශක්තියයි. ලංකාව අවට ඇති ඉස්ලාම් රාජ්‍ය සමූහය තවත් හේතුවකි. ලෝකයේ ප්‍රබල ඉස්ලාම් බලයක් ඇත. ඉන්දියාව ද විශාල මුස්ලිම් ජනගහණයක් ඇති රටකි. ලංකාවට ඉස්ලාම් ලෝකයෙන් හුදකලා වී ජීවත් විය නොහැක. මේ නිසා ලංකාවේ දේශපාලන ඉතිහාසය පුරා රාජ්‍ය බලය ලැබූ හැම දේශපාලන පක්ෂයක්ම මුස්ලිම් ආගමිකයන් වෙනුවෙන් විශේෂ වැඩ කොටසක් ඉටු කළාය. ඒ හේතුවෙන් ලංකාවේ සිංහලයන්ට හා දෙමළ ජනයාට වඩා ශක්තිමත් ඉස්ලාම් ප්‍රජාවක් බිහි විය.

ඉස්ලාම් ප්‍රජාවගේ ආධාර ලබාගෙන බලයට පත්වීමට දක්ෂිණාංශික මෙන්ම වාමාංශික නායකයෝද තරග කළහ. මොවුන්ව විවේචනය කරන සිංහල බෞද්ධ ජාතික බලවේග ඇති වුවත් ඒවා ආක්‍රමණය කිරීමට හෝ අඩපණ කිරීමට ඉස්ලාම් බලවේගයට හැකි විය. බොදුබල සේනාව හොඳම නිදසුනයි. සවුදි අරාබිය මෙහි නායකයා වශයෙන් පෙනී සිටි ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ව රටට කැඳවා ගත්තාය. ඒ කුමකටද? උන්වහන්සේ එහි වැඩම කර සාකච්ඡා කළේ මොනවාද? යන කාරණා බොදු බලයට පක්ෂව සිටි සිංහල බෞද්ධයෝ නොදනිති.

ඉන්දියාව විසින් ලංකාවට පැවරූ බලය බෙදීමේ ක්‍රියාවලියට වමේ මෙන්ම දකුණේ ද දේශපාලනඥයින් වැඩි පිරිසක් කැමති වීමට එක් හේතුවක් ඉස්ලාම් ඡන්ද කඩාගැනීමයි. මාලිමාව 13 ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියත්මක කිරීමට එකඟ වූ දේශපාලන පක්ෂයකි. සජිත් ප්‍රේමදාස නායකත්වය දරන සමගි බලවේගය ද 13 ක්‍රියාත්මක කිරිමට එකඟත්වය ප්‍රකාශ කළාය. මේ කවුරුන් 13 ක්‍රියාවට නැංවුවත් එහි ප්‍රතිඵලය නැගෙනහිර පළාත ඉස්ලාම් කලාපයක් බවට පත් වීමයි.

ඉන්දියාවේ විදේශ ඇමති ජයශංකර් වෙනස් වන ලෝකය සඳහා ඉන්දියානු දේශපාලන උපාය මාර්ගයක් ඉදිරිපත් කර තිබේ. ඒ, ‘ඉන්දියානු මාවත’ The India Way: Strategies for an uncertain world ග්‍රන්ථය මගිනි. මෙහිලා ඔහු කියන්නේ ඉන්දියානු සාම සාධක හමුදා ලංකාවට එවීම ඉන්දියාවට වූ අත්වැරැද්දක් බවයි. පොතේ එසේ සඳහන් වන නමුදු, ඉන්දියාව බරපතල දේශපාලන අත්වැරදි කරගන්නා ආවාට ගියාට වැඩ කරන රටක් වශයෙන් අපට සැලකිය නොහැක. මෙයට වසර 37 කට පෙර සාම සාධක හමුදාව බැස්සවීම මගින් ඉන්දියාව සිදුකලේ අසල්වැසි ලංකාව ආක්‍රමණය කිරීමයි. රටේ නායක ජේ ආර් ජයවර්ධන බියගන්වා ඇතිකළ රට බෙදීමේ ගිවිසුම එහි ප්‍රතිඵලයකි. මෙය සිදු වූ 1987 වසරේ ලංකාවේ ප්‍රබල ඉන්දියානු විරෝධයක් පැවතිණි. ජවිපෙ සෘජුවම ඉන්දියාවට විරුද්ධව පෙනී සිටි දේශපාලන පක්ෂයයි.

විජේවීර මරා ජවිපෙ හපකර දැමූ පසු, ඉන්දියාවට විරුද්ධකම් නොදක්වන පුද්ගලයින් එම පක්ෂයේ බලයට පත් විය. දේශපාලන වාර්තාවලට අනුව විජේවීර මරා දමන කාලයේ අනුර දිසානායක කොලු ගැටයෙකි. ඔහු ජවිපෙ නායකයා වු පසුව ඉන්දියානු රජයේ ආරාධනාවක් පරිදි ඉන්දියාවේ චාරිකාවක යෙදුණි. ඔහුගේ විදේශ ඇමති වශයෙන් පත්වී සිටින විජිත හේරත් ද ඔහු සමග චාරිකාවට එක් විය. දැන් ලංකාවට සාම සාධක හමුදා එවීමට ඉන්දියාවට කිසිම වුවමනාවක් නැත. ජවිපෙ ඉන්දියාවට හිස නැමු දේශපාලන පක්ෂයකි.

ජනාධිපතිවරණයේදී ඡන්ද ප්‍රකාශ වූ ආකාරය අනුව, කොතරම් වෙහෙසුනත් මාලිමාවට මුස්ලිම් ඡන්ද ආකර්ශණය කරගත නොහැකි බව පෙනෙයි. මුස්ලිම් ඡන්ද සමගි ජන බලවේගයට වැටුණි. මේ යථාර්ථය ගැන විමසිලිමත් වන දේශපාලන විචාරකයෝ ඉදිරි කාලයේ දී සමගි ජන බලවේගයට සිංහල චන්ද ගැනීම උදෙසා මුස්ලිම් නායකයින්ගේ බලයෙන් නිදහස් විය යුතු බව කියති. දැනටමත් සමගි ජන බලවේගය ආරාවුල්වලින් පිරුණු සංවිධානයකි. මහමැතිවරණයෙන් බලය ලැබුනොත් මාලිමාව සමග එකට වැඩ කරන්නට අපහසුතාවක් නැතැයි එහි නායක සජිත් ප්‍රේමදාස කියයි. 13 ක්‍රියාත්මක කිරීම හැර මෙම පක්ෂ දෙකේ නායකයින්ට එකතුවි කරන්නට වෙන වැදගත් වැඩක් නැත.

මාලිමාවේ අනාගතය සිංහලයින්ගේ විශ්වාසය මත රඳා ඇත්තකි. ඉන්දියාව ලංකාවට පැටවූ 13 ක්‍රියාත්මක කරන්නට ගියොත් ඔවුන් කෙරෙහි සිංහලයන්ගේ විශ්වාසය නැතිවී යයි. කවුරුන් නැතත් වර්තමානයේ ඔවුන්ට ඡන්දය දුන් අයගේ දරුවෝ ඔවුන්ට විරුද්ධව නැගී සිටිති. සජිත්ගේ සහය ලැබුනත් ඔවුන්ට කල් පවතින බලයක් පවත්වාගෙන යා නොහැක. ‘මග හිටියොත් තෝ නසී ගෙදර ගියොත් අඹු නසී’ සිංහල සාහිත්‍ය පොතක ඇති ප්‍රකාශයකි. මාලිමාව පත්ව සිටින්නේ මග හිටියත් තෝ නසී ගෙදර ගියත් තෝ නසී තත්වයටයි.

පසුගිය කාලයේ සිංහලයන් සෑහෙන පිරිසක් ඊශ්‍රායලයේ රැකියා ලබා ගැනීම අතිශයින් වැදගත් කාරණාවකි. මොවුන් නිසා ඊශ්‍රායලය කෙරෙහි සිංහලයන්ගේ බැඳීම වැඩිවෙමින් පවතී. සිංහල යුදෙව් සබඳතාවයට ඉතා දීර්ඝ ඉතිහාසයක් ඇතැයි කියමින් භික්ෂුන් වහන්සේ නමක කරන දේශනාවක් අඩංගු යූ ටියුබ් වීඩියෝවක් සංසරණය වේ. ඒ දේශනාව අසත්‍යයක් නොවේ. ඉන්දියාවත් යුදෙව් ජාතිකයන් විසූ රටකි. යේසුස් වහන්සේත් ඒ යුදෙව් කණ්ඩායමට අයත් බවට ඉතිහාස සාක්ෂි දක්වන්නෝ සිටිති. ඒ යුදෙව්වන් සියලු දෙනාටම ඉස්ලාම් ආක්‍රමණ හේතුවෙන් ඉස්ලාම් ආගම පිළිගැනීමට සිදු විය.

වෙනස් වන ලෝකයේ අවුරුදු දහස් ගණනක් තිස්සේ රැකුන සිංහල බෞද්ධ චින්තනයක් පවතී. ඒ සිංහල බෞද්ධ චින්තනය ගොඩනැඟීමට ඉන්දියාව උපකාර වී තිබේ. ඉන්දියානු යුදෙව්වන්ගේ ඉතිහාසය මතුකරලීමටත් සිංහල බෞද්ධ චින්තනයට හැකියාව ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link