හුණුවටයේ කතාවක් වූ පාස්කු ප්‍රහාරය

Last Updated on 3 hours by admin

කොලට් සේනානායක
නාරද කරුණාතිලක

Pic. credit: Adaderana

සෝවියට් සමූහාණ්ඩුව බිඳ වැටෙන්නට පෙර බර්ටෝල්ඩ් බ්‍රෙෂ්ට්ට ප්‍රශස්ති නොලියූ සාහිත්‍යකරුවෙක් කොමියුනිස්ට් ලෝකයේ නොවීය. ලංකාවේ උගතුන් හා කලාකරුවන් විශාල පිරිසක් බ්‍රෙෂ්ට් ඇගැයීමෙන් වාසනා සම්පත් ලැබූහ. ඒ සමහරු බ්‍රෙෂ්ට් පිළිබඳ සාහිත්‍ය ලිපි හා කලාප ප්‍රකාශයට පත් කළහ. සිංහලට පරිවර්තිත බ්‍රෙෂ්ට්ගේ නාට්‍ය සංග්‍රහයක් උ.පෙළ නිර්දිෂ්ට ග්‍රන්ථයක් වූයේය. නැ. ජර්මන් තානාපති කාර්යාලයෙන් දිරිය ලැබූ හෙන්රි ජයසේන, ‘ද කොකේශියන් චෝක්සර්කල්’ (The Caucasian Chalk Circle) ඇසුරින්, හුණුවටයේ කතාව නාට්‍යය නිපදවූයේය. අදටත් සැබෑ බ්‍රෙෂ්ට් කවුරුන් දැයි දැන හෝ නොදැන හෝ ඔහු ගැන මහත් බැතියෙන් කතා කරන උගතුන් හා කලාකරුවන් විශාල පිරිසක් ලංකාවේ සිටිති.

මහාචාර්ය ජෝන් ෆුඑගි විමර්ශකයෙකි. විස්පස් වසරක් මුළුල්ලේ බ්‍රෙෂ්ට් ගැන ගැඹුරු අධ්‍යයනයක් කළ ඔහු ‘බ්‍රෙෂ්ට් සහ සමාගම’ (Brecht and Company: Sex Politics and the Making of the Modern Drama) කෘතිය රචනා කළේය. ලංකාවේ උගතුන්ට මෙවැනි පොතක් ඇති බව දැනගැනීමට සමාජවාදීන්ගෙන් ඉඩක් නොලැබුණි. හේමරත්න ලියනාරච්චි පරිවර්තනය කළ පොතේ කොටස් කිහිපයක් සිළුමිණ පත්‍රයේ පළ වී අතරමඟ නැවතුණේ ඔවුන්ගේ බලයෙනි.

බ්‍රෙෂ්ට්ව ලුහුබැන්ද ෆුඑගි, නිර්මාණ හොරෙකු අනාවරණය කරගත්තේය. ඔහු දුටු බ්‍රෙෂ්ට් ජීවිතය අරඹන්නේ ජර්මනියේ දක්ෂිණාංශකයින්ට සේවය කරමිනි. බ්‍රෙෂ්ට් ඇමරිකාවේ සිටියදී රහස් පොලිසියට ඔත්තු දුන්නේය. ජර්මන් කාන්තාවන් කිහිප දෙනෙකුම රවටා ඔවුන් දූෂණය කළේය. ඔවුන්ගේ නිර්මාණ කොල්ල කෑවේය. රහස් බැංකු ගිණුම් අරඹා මුදල් තැන්පත් කළේය. පසුව නැගෙණහිර ජර්මනියට ගොස් එහි නිලධාරීන්ට සේවය කරමින් සෝවියට් සම්මාන ලබාගත්තේය. (බ්‍රෙෂ්ට්ගේ පුතා ඒ ධනය රැගෙන ඇමරිකාවට පලා ආ බව මෙම ග්‍රන්ථයේ නැත).

මේ දිනවල බොහෝ දෙනෙකු කතා කරන පාස්කු ප්‍රහාරය හා බ්‍රෙෂ්ට්ගේ නාට්‍යයක් අතර සමානකමක් තිබේ. යේසුස් වහන්සේ මැවුම්කරුගේ පුත්‍රයා බව ප්‍රකාශ වූ පාස්කු දිනයේ ලෝකයේ හැම රටකම පාස්කු දේව මෙහෙයන් පැවැත්වේ. පාස්කු ප්‍රහාරය සිදුවූ වසරේ ලංකාවේ පාස්කු දින උත්සවයට කතෝලික නායක පූජකයින් සහ ඇමතිවරුන් සහභාගි නොවීම පුදුමයකි. එතුමන්ලා ප්‍රහාරය ගැන කල් ඇතිව දැන සිටීම ඊට හේතුව බව බොහෝ දෙනෙකුට සිතේ. හරින් ප්‍රනාන්දු ඇමතිවරයා කියා තිබුණේ උසස් පොලිස් නිලධාරියකු තම පියාට අනතුරු ඇඟවීම නිසා පියාගේ උපදෙස් මත තමන් පාස්කු මංගල්‍යයට සහභාගි නොවූ බවයි. ජනාධිපති කොමිසම ඉදිරියේ සාක්කි දුන් සියලු ප්‍රභූ ආරක්ෂකයින් දිවුරා ප්‍රකාශ කර ඇත්තේ තමන් මේ ගැන ඇමතිවරුන්ට පූර්ව අනතුරු ඇඟවීමක් නොකළ බවයි. ප්‍රවෘත්ති සාකච්ඡා පවත්වන කතෝලික නායකයින් කියන්නේ ඔවුන් එවැනි දෙයක් නොදැන සිටි බවයි.

කතෝලික පූජකවරුන්ට තමන් මේ බව නොදැන සිටි බව කියන්නට පදනම වැටෙන්නේ, ප්‍රභූ ආරක්ෂකයින් ප්‍රභූවරුන්ට මේ ආංචිය නොදුන් බවට ජනාධිපති කොමිෂන් ආදිය හමුවේ කළ ප්‍රකාශවලිනි. විනිශ්චයකාරවරුන් තීන්දුව දෙන්නේ සාක්කිවලට අනුවය. ප්‍රභූවරුන්ට මේ ආරංචිය ගියේ නම්, ඔවුන් හරහා පූජකවරුන්ට ආරංචිය යන බව ජනතාවට පහසුවෙන් වැටහේ. දැන් නීත්‍යනුකූල තීන්දුවට අනුව කිසිම ප්‍රභූවරයකු මේ බව දැන සිට නැත. ඒ තර්කයට අනුව පූජකවරුන් මේ බව දැන සිටින්නට ක්‍රමයක් නැත.

‘කොකේශියන් චෝක් සර්කල්’ නාට්‍යයට පදනම්ව ඇත්තේ බෞද්ධ රටවල ඉතා ජනප්‍රිය කතාවකි. චීනය වැනි රටවල වේදිකා ගතවූ මේ කතාව බ්‍රෙෂ්ට් නිසා දරුවෙකු බිහි කළ ජර්මන් කාන්තාවකට වැදගත් විය. ඇය කතාව ගැන දැනගත්තේ ක්ලවුබන්ඩ් නිපදවූ නාට්‍යයකිනි. “කතාව නම් කමක් නෑ. බ්‍රෙෂ්ට් මගේ නාට්‍ය රීතියත් හොරකම් කළා.” ක්ලවුබන්ඩ් චෝදනා කරයි. (විස්තර සඳහා අපගේ ‘බෞද්ධ නාට්‍ය ශාස්ත්‍රය’ කෘතිය බලන්න) මෙම කතාව කුරුණෑගල රාජධානි කාලයේ ලියවුන උම්මග්ග ජාතකයේ එන පුත්‍ර ප්‍රශ්නය යැයි සඳහන් වේ. කතාවේ පදනම, මිනීමස් කන යක්ෂණියක සහ දරුවන් වැදූ මවක අතර දරුවාගේ අයිතිය සම්බන්ධයෙන් ඇති වන වියවුලකි.

මහෞෂධ පඬිවරයා පොළොවේ ඉරක් ඇඳ දරුවා ඒ මත තබ්බවා දරුවා තමා වෙතට ඇදගන්නැයි කාන්තාවන් දෙදෙනාට කියයි. සැබෑ මව දරුවාට හිරිහැරයක් වන එවැනි ක්‍රියාවකට අකමැති වේ. එවිට ඇතැමුන් සිතන්නේ ඇය බොරුකාරිය බවයි. දරුවාට හිංසා කිරීමට අකමැතිවූ කාන්තාව දරුවාගේ සැබෑ මව බව මහෞෂධ පඬිවරයාට වැටහේ.

‘තමන් ඇමතිවරුන්ට පාස්කු බෝම්බය පිළිබඳ පූර්ව දැනුම්දීමක් නොකළේ ය’යි ආරක්ෂකයින් කියන විට එය බොරුවක් යයි විනිසුරුවරුන්ට වැටහුනද, ‘දිවුරා දෙන සාක්කියට’ පිටින් තීන්දු දෙන්නට ක්‍රමයක් රෝම ලන්දේසි නීතියේ නැත. එම නිසා පුත්‍ර ප්‍රශ්නයේදී, ‘හෘදසාක්ෂිය’ කියවා මහෞෂධ පඬිවරයා දෙන සාධාරණ තීන්දුව වර්තමානයේ බලාපොරොත්තු විය නොහැකිය.

තද ක්‍රිස්තියානි පවුලක හැදුන බ්‍රෙෂ්ට් කලා ලෝකයේ දැඩි මාක්ස්වාදියෙකි. ‘කොකේශියන් චෝක් සර්කල්’ කතාවෙන් කියන්නේ ‘රටක භූමියේ අයිතිය පාරම්පරික භූමි පුත්‍රයින්ට නොව එහි වගා කටයුතුවලට පැමිණි කම්කරුවන්ට හිමි බව’යි. එම නිසා බ්‍රෙෂ්ට්ගේ නාට්‍යය තනිකරම බෙදුම්වාදී වුවමනාවක් ප්‍රකාශ කරන්නකි. මෙහි උපත ගැන නොදැන ‘හුණුවටය බෞද්ධ නාට්‍යයක් ය’යි කියන්නෝ තවමත් ලංකාවේ සිටිති.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top