Last Updated on 3 hours by admin
කොලට් සේනානායක
නාරද කරුණාතිලක

ඉන්දියාව නමැති සුවිශාල දේශය බ්‍රිතාන්‍යයන් විසින් ගොඩනගන ලද්දකි. එය ගාන්ධිගේ නායකත්වයෙන් නිදහස ලබාගැනීමෙන් පසුව ලෝක බලවතෙකු වේ යැයි බ්‍රිතාන්‍යයන් සැකයක් ඇති විය. ඔවුන් වහා වහා ඉන්දියාව දෙපසින් පකිස්ථානය නමින් ඉස්ලාම් රටවල් දෙකක් බිහි කරන්නේ ඊට පිළියම් ලෙසිනි. මෙයින් බටහිර කොටස බංගාලි දේශය නමින් නැ. පකිස්ථානයට සතුරු රටක් කිරීමට ඉන්දියාව සමත් විය.
නිදහස් සටනින් ඉන්දියාව නිදහස ලබද්දී, නිදහස් සටනක් නොකළ ‘සිලෝන් රටට (සිංහල රටට) නිදහස දෙන්නට බ්‍රිතාන්‍යයන් පැකිළුණේ නැත. එය සිලෝන් වාසීන්ගේ වීරකමක් හෝ භාග්‍යයක් හෝ නොවේ. සිලෝන් කිසි කලෙක ස්වෛරී ඉන්දියාව සමග එක්ව හෝ තනිව හෝ තමන්ට විරුද්ධව කටයුතු නොකරන බවට විශ්වාසයක් බ්‍රිතාන්‍ය පාලකයින්ට තිබුණි.
බ්‍රිතාන්‍යයේ ජීවත් වූ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක බ්‍රිතාන්‍යයන්ගේ බලාපරොත්තු කඩ කළ දේශපාලන නායකයෙක් වූයේය. මාක්ස්වාදීන්ට හිතවත්කමක් පෙන්වූ ඔහු ජාතික නායකයෙකු වශයෙන් 1956 දී රටේ අගමැතිකම ලැබුවේය. ඔහු විනාශ කිරීම සඳහා බටහිර මුල් ඇති ආගමික සංවිධාන යොදාගැනීමට බටහිර රටවලට හැකි විය. සෙයිලෝන් ශ්‍රී ලංකාව බවට පත්කිරීම ඔවුන්ගේ ක්‍රියාවකි. ශ්‍රී ලංකා, බණ්ඩාරනායකගේ දේශපාලන පක්ෂය වූ නිසා එවැන්නකට සිරිමා බණ්ඩාරනායක කැමති කරවාගන්නට ඔවුන්ට හැකි විය. සිලෝන්, ශ්‍රී ලංකා වූ සැණින් සිංහලයන්ට තම රට අහිමි වන බව සිරිමා බණ්ඩාරනායකට නොවැටහුනා විය යුතුයි.
බණ්ඩාරනායක අගමැතිවරයා විද්‍යාලංකාර සහ විද්‍යෝදය පිරිවෙන් දෙක විශ්වවිද්‍යාල බවට පත් කළේය. ඉතා කෙටිකාලයකදී ඒවායේ බලධාරීන් ප්‍රධාන විද්‍යාර්ථීන්ට දරුණු හීනමානයක් ඇති විය. ඒ හැමටම ලංකා විශ්වවිද්‍යාලය හා සමාන වීමේ ආසාව ඇති විය. විශ්වවිද්‍යාල දෙකේ නම් වෙනස් කිරීම ඔවුන්ගේ ප්‍රධාන වුවමනාවකි. 1972 දී ඒවා ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයේ විද්‍යාලංකාර සහ විද්‍යොදය මණ්ඩප බවට පත් විය. එවිට විශ්වවිද්‍යාලයන්හි අදීනත්වය හා අනන්‍යතාව නැති විය. 1978 දී මණ්ඩප ක්‍රමය අහෝසි කර, විද්‍යොදය මණ්ඩලය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ලෙසත් විද්‍යාලංකාර මණ්ඩපය කැලණිය විශ්වවිද්‍යාලය ලෙසත් නම් කෙරිණි. ශ්‍රී ජයවර්ධනපුර නම වැටුණේ ජේ. ආර්. ජයවර්ධන ජනාධිපති “උතුමාණන්” නිසාය. මෙයින් පසුව දේශපාලනඥයින්ගේ වුවමනාව පරිදි වයඹ, සබරගමුව, නැගෙනහිර, රජරට, ඌව ආදී වශයෙන් මණ්ඩප ගණනාවක් රට පුරා ඇති විය. මේ සියල්ලකම මූලික ස්වභාවය උපතින්ම විශ්වවිද්‍යාලයක ගුණ නොතිබීමයි.
ජම්බුද්වීපය ලෝකයේ වටිනාම විශ්වවිද්‍යාල පැවති මහා භූමි කලාපයකි. තක්ෂශිලා, නාලන්දා, වික්‍රමශිලා, වලභි, ඔදන්තපුරි ආදි වශයෙන් ජාත්‍යන්තර විශ්වවිද්‍යාල ගණනාවක් එහි තිබුණි. මේ සියල්ලක්ම බිහිවීමට බෞද්ධ චින්තනය හේතු විය. ඉස්ලාම් ආක්‍රමණ නිසා ඒ සියල්ල විනාශ වූයේය. බ්‍රිතාන්‍ය සමයේ ඉන්දියාවේ විශ්වවිද්‍යාල ඇති වන්නේ ‘කොකනට්ස්ලා’ (කටුව කළු, මදය සුදු) හෙවත් බ්‍රිතාන්‍ය මනස ඇති ඉන්දියානුවන් බිහිකිරීමටය. එහෙත් මේ ක්‍රමය වෙනස් කිරීමට ඇතැම් ඉන්දියානු නායකයින් සහ හින්දු ජාතික ව්‍යාපාරයනට හැකි විය. 1957 වසරේ උජ්ජයිනිහි ඇරඹුන චන්ද්‍රගුප්ත වික්‍රමාදිත්‍ය සරසවිය නිදසුනකි.
අශෝක රජු පාලනය කළ ශක, ග්‍රීක, යුදෙව් ආදී ජනවර්ග ගණනාවක් විසූ අවන්ති රටේ බුදුසසුන මූලික වී ඇති වුන විශ්වවිද්‍යාල ගණනාවක් තිබුණි. ශක, සුංග, ශාතවාහන ආදි රාජවංශ කිහිපයක්ම මේ කලාපයේ බිහි විය. ඒවායේ රජවරුන් අතර චන්ද්‍රගුප්ත වික්‍රමාදිත්‍ය, අතිදක්ෂ හින්දු පාලකයෙක් වූයේය. ඔහුගේ රාජසභාවේ නවරත්නයක් විසූ බව කියැවේ. මෙයින් ප්‍රකාශ වන්නේ කිසියම් විෂය පද්ධතියක ප්‍රවීණයන් නව දෙනකු ඔහුගේ රාජ සභාවේ අනුශාසකයින්ව සිටි බවයි. ධනවන්තරී නිදසුනකි. එතුමා ආයුර්වේදය ප්‍රධාන වෛද්‍ය විද්‍යාවේ විශාරදයෙකි. වරාහමිහිර යනු තාරකා හා ජ්‍යොතිෂ ශාස්ත්‍රය පිළිබඳ ප්‍රවීණයෙකි. කාලිදාස සංස්කෘත භාෂාව සහ සාහිත්‍යය පිළිබඳ රත්නයකි.
සිංහල ජනශෘතියේ සඳහන් පරිදි, කුමාරදාස නමැති සිංහලයා කාලිදාසගේ අතිජාත මිත්‍රයා වූයේය. ජම්බුද්වීපයේ සිට පැමිණ අනුරාධපුරයේ රජ වූ ඔහු සංස්කෘත භාෂාවෙන් ජානකී හරණය නමැති අතිශ්‍රේෂ්ඨ කාව්‍යය රචනා කළේය. එහෙත් උගත් සිංහලයින් අතුරින් කුමාරදාස නමින් සිංහල කවියෙකු ගැන දන්නේ කිහිප දෙනෙකි. ඔවුහු ස්පාඤ්ඤ, ඉංග්‍රීසි, රුසියන් කවීන් ගැන අප්‍රමාණ දැනුමක් ඇති බව පෙන්වති. ඒ අතර කිසිම ගවේෂණයක් නොකර කුමාරදාස කාලිදාස මිත්‍රත්වය ගැන කියැවෙන ජනකතාව බොරුවක් සේ ප්‍රතික්ෂේප කරති.
පුරාණ ශ්‍රේෂ්ඨ භූමි පුත්‍රයන්, දෙවිදේවතාවියන් ආදීන්ගේ නමින් විශ්වවිද්‍යාල පිහිටුවීම ඉන්දියාවට සීමාවූවක් නොවේ. එබඳු උදාහරණ ග්‍රීසිය, ඉතාලිය, ස්වීඩනය, පෝලන්තය, රුසියාව, ඇමරිකාව, බි්‍රතාන්‍යය ඇතුළු ලොව රටවල් ගණනාවකින් පෙන්වා දිය හැකිය. ඓතිහාසික පුද්ගලයින් නමින් විශ්වවිද්‍යාල වැඩිම ප්‍රමාණයක් නම් කර ඇති රට ඉන්දියාවයි. ඉන්දියාවෙන් ජාතිහිතෛෂීන් වැඩි වැඩියෙන් බිහි වන්නට මෙයද හේතුවකි.
ඒ සඳහා බලපාන හේතු ගණනාවකි. ඓතිහාසික සහ සංස්කෘතික උරුමය සුරැකීම, සංස්කෘතියට සහ ඉතිහාසයට විශාල සේවයක් කළ පුද්ගලයන් අනාගත පරපුරට සිහිපත් කරවීම, දේශාභිමානය ඇතිකිරීම, රටේ අනන්‍යතාව සහ දේශීය උරුමය ජාත්‍යන්තර මට්ටමින් ප්‍රදර්ශනය කිරීම, එම චරිතවල ජීවන රටාව සහ කැපවීම සිසුන්ට ආදර්ශයක් කර දීම ආදිය ඒ අතර වේ.
විද්‍යොදය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජවිද්‍යා පීඨයේ ප්‍රධාන දේශන ශාලාව ‘කන්නන්ගර ශාලාව’ යැයි නම් කරන්නට එදා පාලන අධිකාරිය ගත් තීරණයට විරුද්ධ වූ වමේ සහෝදරවරු, එය ‘ලෙනින් ශාලාව’ යනුවෙන් නම් කළහ. අදටත් ඒ නම එසේය.
කොමියුනිස්ට් යැයි කියන එකම රටක හෝ සිංහලයෙකු වෙනුවෙන් පිහිටුවූ සිමෙන්ති කණුවක් වත් තිබේද?
