දැදුරු ඔය කියන්නේ අරාබින්ගේ නදියද?

Last Updated on 1 day by admin

ලංකාවේ අග්‍ර විනිසුරු ප්‍රීති පද්ම සූරසේනයෝ, තමන්ට නීතිය ගැන මිස බුදුදහම ගැන දැනුමක් නැතැයි කියති. ඉතිහාසයේ කියැවෙන මහෞෂධ පඬිවර තෙමේද අගවිනිසුරුවෙකි. එතුමන් නීතිය හා ධර්මය යන දෙකම දැන සිටියෙන් ඒ දෙකම භාවිතයෙන් නඩු විසඳන ලදි. නීතිය දන්නා නමුත් ධර්මය නොදැනීම අපරදිග නීති අධ්‍යාපන ක්‍රමයේ ලොකු දුර්වලකමකි.

භූගෝලය, ගණිතය, තාරකා ශාස්ත්‍රය, රසායන විද්‍යාව, කෘෂිකර්මය, සංගීතය ආදි නොයෙක් විද්‍යාවන්හි හා ශාස්ත්‍රයන්හි නිපුණයෝ ලංකාවේ සිටිති. ‘මිහිඳු හිමියන් ලංකාවට වඩින්නත් ඇති නොවඩින්නත් ඇති’ යැයි ඉතිහාස මහාචාර්යවරයා කියයි. මහාවිහාර අධ්‍යාපනය ක්‍රමය විසින් බිහි කරන ලද්දේ, විෂයන් ගණනාවක දැනුමැත්තන් මිස මෙවැනි නිපුණයින් නොවේ.

ක්‍රි. ව. 2 සියවසේ ඊජිප්තුවේ ඇලෙක්සැන්ද්‍රියාවේ විසූ ක්ලවුඩියස් ටොලමි, පඬිවරයෙකි. ටොලමි පිළිබඳ තොරතුරු දක්වන කෝෂකරුවෝ, ඔහු දස්කම් දැක්වූ ගණිතය, තාරකා ශාස්ත්‍රය, භූගෝලය ආදි විෂයන් ගැන සඳහන් කරති. මොහු සම්පාදනය කළ ඇතැම් ග්‍රන්ථවල රෝම පිටපත් කිහිපයක් අදත් විද්‍යමානය. එයින් එකක අඩංගු ලෝක සිතියමේ දැක්වෙන ඉන්දියානු සාගරයේ පිහිටි සෙරන්ඩිබය වර්තමාන ශ්‍රී ලංකාවයි.

‘ටැප්‍රබෝන’ යනු සංස්කෘත, පාලි, මාගධි භාෂාවලින් හැඳින්වූ තාම්රපරණී (තම්බපණ්ණි) යන නමේ ග්‍රීක රූපයයි. ‘තඹ වන් වැල්ලක් ඇති වෙරළට පැමිණි විජය සහ පිරිස රට ඒ නමින් රට හැඳින්වූ බව’ මහාවංශයේ සඳහන් වේ. තඹ නිපදවූ රට යන අර්ථයද නමේ පවතී. ලංකාව තඹ හා තඹ භාණ්ඩ නිපදවූ රටකි. රාමායණයේ සඳහන් පරිදි, දකුණු භාරතයේත් තාම්රපර්ණියක් තිබුණි.

ටොලමිගේ සිතියමේ දැක්වෙන නම්වලට ලතින් රූප ඉදිරිපත් කරන රෝම ශාස්ත්‍රඥයෝ, සෙරන්දිබයේ පිහිටි ‘සෝන’ නම් ගඟක් පෙන්වති. ඔවුන්ගේ බසින් ‘සෝන ෆ්ලුවිඅස්’ soana Fluvius ය. ෆ්පුවිඅස් යනු ගඟයි. ඒ අනුව ‘සෝන ගංගාව’ යනු එහි අර්ථයයි. නම ගැන වැඩි විස්තර දක්වන්නෝ, ගංගාව ආශ්‍රිතව ජීවත්වූ වැසියන් සෝනි soani නම්වූ බව කියති. ගංගානම් ගංගාව ඉන්දියාවේ පිහිටි එකකි. ‘ජිස් දේෂ් මේ ගංගා බේති හේයි’ යනු, ඒ ගඟ සමීපයේ ජීවත්වූ ගෝත්‍රයක් මුල් කරගෙන නිපදවූ බොලිවුඩ් චිත්‍රපටියකි.

ජේ. ආර්. සින්තම්බි ලංකාවේ විසූ නියෝජ්‍ය මිනින්දෝරු ජනරාල්වරයෙකි. ‘සිලෝන් ඇන්ඩ් ටොලමිස් ජියෝග්‍රපි’ පොත (1968) මගින් අලුත් අදහසක් ඉදිරිපත් කරන ඔහු ටොලමි කියන සෝන (ගංගාව) කලා ඔය විය යුතු බව කියයි. පුත්තලම ප්‍රදේශයේ දෙමළ කතා කරන ඉස්ලාමිකයන්ට සෝනි, සෝනගර් Soani / Soanagar යන නම් භාවිත කරන බව පවසන ඔහු, කලාඔය සමීපයේ විසූවන් ‘මුවර්වරුන්’ යැයි අනුමාන අදහසක් දක්වයි. තර්කය ඉදිරිපත් කිරීමේදී, ‘මුවර්’ නමින් ජන වර්ගයක් ඇති වූයේ ටොලමි ජීවත්වූ කාලයට වසර 500කට පමණ පසුව බව ඔහු නොසිතයි. Soani / Soanagar යන වචන පැරණි යෝන/යවන Yona / Yavana නාම පවුලට සම්බන්ධ යැයි විද්වත් මත තිබේ.

16 වැනි සියවසේ විසූ ජතාලි ජාතික තොමසෝ පොකාර්චිගේ ලේඛනවල සෝන ගඟ යනු දැදුරු ඔය යැයි සඳහන් වේ. එමර්සන් ටෙනන්ට්ද ඒ අදහස පිළිගත්තේය. ලංකාවේ පැරණි ග්‍රාම නාම ගැන සඳහන් කරන බ්‍රිතාන්‍ය ඉංජිනේරුවෙකු වූ සී. ඩබ්ලිව්. නිකොලොස්, සෝන ගඟ යනු පැරණි ගෝන නදිය බවත් එහි පහළ කොටසේ ගෝන ග්‍රාමය පිහිටි බවත් කියමින් ගෝන නදිය යනු කලා ඔය බව කියයි. මේ තොරතුරු ටිකක් අහුලා ගත් මුස්ලිම් දේශකයෙක්, ‘ටොලමිගේ ලෝක සිතියමේ දැදුරු ඔය අරාබින්ගේ නදිය වශයෙන් සඳහන් බව‘ කියන වීඩියෝවක් මුහුණු පොතේ කැරකෙයි.

ලංකාව ඈත අතීතයේ සිට ග්‍රීකයන් හා සම්බන්ධකම් පැවැත්වූ රටක් බව මහාචාර්ය සෙනරත් පරණවිතාන සඳහන් කළේය. ඒ කාලයේ ග්‍රීකයන්ව යවන, යෝන ආදි නම්වලින් හඳුන්වා තිබේ. මිලින්ද ප්‍රශ්නයේ කියවෙන මිනැන්ඩර් බෞද්ධ රජෙකි. මේ අදහසේ හැටියට මිනැන්ඩර් අරාබි ජාතිකයෙකු නම්, යෝනක දේශයේ බුදුන්ගේ ශ්‍රී පාද සටහනක් ඇතැයි යන ප්‍රවෘත්තිය පිළිගැනීමට සිදු වේ. එය සඟවා ඉස්ලාමිකයන්ගේ කබාව හදා තිබේ.

යම්නම්මදාය නදියා පුලිනේච තීරේ
යං සච්චබද්ධ ගිරිකේ සුමනා චලග්ගේ
යං තත්ථ යෝනක පුරේ මුනිනෝච පාදං
තං පද ලංක්ඡනමහං සිරසා නමාමි

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top