ඩිජිටල් කවි

Last Updated on 4 months by admin

පිළිම උළෙල

සැරද මහ මැතිසඳ
ගෙදර පිළිකන්නේ
වැජඹෙන
කම්බි අච්චුව මැද
හිට ගෙන
මළවුන් ගෙන් නැගිටින

පියදාස – පිළිම බාස් මම
මේසන් හැන්දෙන් බෙදන
කුලියට වැඩ කරන

ආරා කඳබඩ
ගොන් වැඩුණා සේ
නම ගිය
රූපෙට රූපය අඹමි
වට කරගෙන තනියෙන්
කනට සිමෙන්තියෙන් ගසමි
ඔබා ටින් බෙලෙක්ක
වැසිකිලි පෝච්චි, බඩ කරමි

දේශබන්දු ජනකීර්ති බස්නායක

දඩමස්
ගස්
පස්
බිස්නස්
කුඩු, කසිප්පු
යට අල්ලස්
ෂෙඞ්, හෝටල්
මසාජ් ක්ලිනික්

මිනීමැරුම්
මැර කොන්ත්රාත්

සත්ගුණවත් ..!

අනුස්මරණ උළෙල සැපත්
ගුණ සමරන අලුත් පුවත්

බලු ඔළු කටු
තබා හිසට

නළල, නිකට
ඇස්දෙක යට
නහය මැදට
කට මතු කොට
ඇත්ත කවමි

වැඩ නිමවා
සුබ නැකතට
අරගෙන යමි
උළෙලට
ටවුමේ හිටවමි..!

(උපුටාගැනීමකි)

කන්දෙකැටියෙ මහමායා

ගල් කොරියට යන්ඩ දොළදුක
උපනි මට
සවල් යවුල් පිරිලා
වෙඩි බෙහෙත් කැට
නාථ දෙයියො ගල් බෝරේ
කොටන කොට
පණ ගැහි ගැහී මං වැඩියා ගල උඩට

තාත්තෙක් නැතුව උපදින
පුත් කුමරා
කේතුමතී ආසිරි රෝහල්
නැතුවා
රිජ්වේ ආර්යාවනි ඉන්නට
බැරුවා
අදට දසමාසෙ සපුරන
ඇත් පැටියා

දාර කැලේ නෙට් නැප්කින්
මනනන්ද
යාර දිග ගනන් වට තිර
සිහිනෙන්ද
මාර සෙනග ඇස් පියාන
තද නින්ද
වීර ගහ හොදයි සල්ගස්
කොයිබින්ද

කළුගල් පතුරු පෙකණිවැලේ
සැත වේවා
කඳුළු රුහිරු මුත්රා දහඩිය
යේවා
වස්ති සේලයින් චීත්ත
නැත මේවා
කුළුඳුල් නෙළුම කළුගල් උඩ
පිබිදේවා

පියුම් සතක් කොහෙන්ද
පා යටට ගෙනා
කඹොක් තිරිවාන කළුගල්
බොරළු විනා
පබළු කිරි සිහින පංචායුධ
දකිනා
මහමායා නෙවෙමි ලුම්බිණි
සල් උයනා

උප්පැන්නයක් නැති
කොද මල් කැකුල වරෙන්
දල රෙදි උනා වැතිරෙමි
තොල් සපා වැරෙන්!

(උපුටාගැනීමකි)

එබැවින් නික්ම යමි

පෝරු මස්තක කොට
ඇඟිලි බැඳ පැන් වත් කොට
මහ පිරිස් රැස් කොට
ගිවිස ගත්තේ වෙන් නොවන්නට

බලව දැන් වූ දේ
රැගෙන අන් අය කී දේ
එළැඹුණයි වාදේ
වෙන් ව යන්නම කරුණු සෑදේ

නඩු අහන උතුමෙක්
නීති පොත
දත් දෙපලක්
වමේ තව සෙනඟක්
දික්කසාදෙට හේතු සෙවුමක්

බෝසතෙකි සැමියා
ඔහු නේද ගෙයි දෙවියා
කවුද දික්පිටියා
දුටිලු තහනම් ගහක සිටියා

ඇසුණේ කස හඬයි
හොඳ හොඳ නැටුම් පසුවයි
පව් නොකළ සෙනඟයි
සැදෙන්නේ ගල් ගසනු පිණිසයි

කලක් පෙම් බැන්දා
දුක සැප එකට වින්දා
දරුවන් ද කැන්දා
පැමිණි ගමනට නොදෙමි නින්දා

එබැවින් නික්ම යමි
දරුවන් බරද ගන්නෙමි
ඔබ රිසි නැතත් හිමි
මතකයන් පමණක් තියා ගමි

ජීවිතය සොයමිනි
අවුත් ඔහු ළඟ නැවතුණි
දුන් දෙයට ඇල්මෙනි
වන්දියක් කුමකට ද ස්වාමිනී

(උපුටාගැනීමකි)

සර්කස් එකෙහි වැඩ කරන වඳුරු පියාට දියණියගෙන්

හතර හන්දි වල කැක්කුම් දැනෙනවද
නිතර නිතර ජීවක තෙල් උලනවද
විහිළු තහළු ඔය තරමට තියෙනවද
හිනා නොගියොතින් පඩියෙන් කපනවද

මාකට් එකෙන් රස පල වැල නෙලාගෙන
අම්මා අතු දිගේ එනවා හඬාගෙන
සීරුණු ඉරුණු සිත තනියෙන් මසාගෙන
ලෝකෙට හිනා වෙනවා මං වඩාගෙන

දින දින පරව ගියමුත් දිවි මලෙහි පෙතී
සර්කස් දැනුම හැර වෙන දැනුමකුත් නැතී
නගරේ පාසැලට මා යන අයුරු සිතී
මාරක ලිඳෙත් යන්නට සිදුවෙලා ඇතී

(උපුටාගැනීමකි)

සද්දන්ත පෙම

පීරා රුදුරු වන ගැබ තෙද විදාලූ
තෝරා ගඩාගෙඩි සොඬගින් කඩාලූ
තුන්පත් රෑන නිති සෙනෙහෙන් තෙමාලූ
කවුරුද මහිමි සඳ වන මැද දවාලූ

ඉඳ ඉඳ එකම වන මැද අණසක පෑව
විඳ විඳ සිහිල් මඳනල තුරු පිසලෑව
සිඳ බිඳ දමනු රිසියෙන් අසිපත ගෑව
තුඟු දළ සොරුන් ළඟ නුඹ වෙද දණ ලෑව

සවණක් රැසින් පුන් දළ යුග දිලුණාද
වන වැදි මුරුග රැළ නුඹෙ රුව දුටුවාද
වෙඩි සැර වැදී කුඹුතල ලේ ගැලුවාද
තුන්පත් රෑන හිමි නෙත ළඟ මැවුණාද

නැතියෙන් මෙමට දළ යුවළක් දන් දෙන්ට
බැහැ ඇත් රජුනි මට නුඹ ගිය මඟ යන්ට
ඇත් කුණ්ඩලේ පිය තෙද බල පතුරන්ට
පතනෙමි පුතු දළ.ග ගජමුතු නොවැඩෙන්ට

(උපුටාගැනීමකි)

රන් මාලු

සේද වරල එරන් පෑය මැවීයන්
කාල වර්ණ චවි සළුවෙන් මිදීයන්
යාළු නුඹට සොඳ රූසිරු ලැබීයන්
මාළුවනේ ඉක්මන් වී වැඩීයන්

සාර සුබාවට අස්වනු නැති කලට
වෙලේ පොකුණ බැන්දයි නුඹලා නමට
රිදී ඌල හරවා හෙල්මලු මතට
මඩෙන් ගොඩට එන්නට සිතුනේ අපට

තාන තනෙන පායුග ගොලුවෙලා ගියේ
පාද සලඹ නැතුවයි දෝණිගේ පයේ
ගෙලට මාල ගැලවී බැංකුවේ තියේ
චන්ද්ර මඬල රැස් මැකුනා අවාරයේ

නෙක සොඳ වග දෙමුහුන් වී මනාවා
දීපංකරේ සිට නුඹලා ගෙනාවා
අම්ලකර වායු පුරවා මනාවා
ක්ෂුද්ර මින් රැලක් කවරෙන් ගෙනාවා

සෝදා වරල චන්දර දිය ඉහේවා
සෝදා කොරල සූරිය දිය ඉහේවා
දියකා, කබර රුදු උවදුරු නොවේවා
ඉල් වැහි එන්ට පෙර මෝරා වැඩේවා

(උපුටාගැනීමකි)

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link