මේ යන්නේ කොයි පාරේ?

Last Updated on 4 months by admin

‘ඉන්දීය විජිත කරණයට එරෙහිව’ මැයෙන් පෙරටුගාමීන් 20 දින පැවැත්වූ දඩබ්බර විරෝධතා පෙළපාළිය පොලිසිය සමග ඇතිවූ ගැටුන පසු කඳුළු ගෑස් ප‍්‍රහාර එල්ල කර විසුරුවා හරින ලද හැටි රුපවාහිනී ප‍්‍රවෘත්ති මාධ්‍යයන්ගෙන් ප‍්‍රචාරය විය. පෙරටුගාමින් යනු ජවිපෙන් බිහිවූ මාක්ස්වාදී කල්ලියකි. මෙතෙක් ඔවුන්ගෙන් ප‍්‍රකාශ වූ ජාතිකත්වය නැතිකම හා තරුණ භික්ෂූන් අසම්මත කටයුතුවලට යොදාගැනීම වෙනුවට ඊයේ ප‍්‍රකාශ වූයේ වෙනත් දෙයකි.

ලංකාව ඉන්දියාවේ ප‍්‍රාන්තයක් වෙමින් පවතින බව ලෝකයම දන්නා කරුණකි. සිංහල භික්ෂූන් කිහිප නමක සහ ලෝක දෙමළ ඩයස්පෝරාවේ නියෝජිතයින් කිහිප දෙනෙකු හා එක්ව පැවැත්වූ ‘හිමාලයන් සම්මුතිය’ ඊට නිදසුනකි. උතුරු නැගෙනහිර පළාත්වල පැරණි බෞද්ධ සිද්ධස්ථාන උගුලමින් හින්දු කෝවිල් හැදීම තව නිදසුනකි. මෙවැනි සියයක් ක‍්‍රියා අතර එට්කා ගිවිසුමට එළඹීමට පාලකයෝ සැරසෙති. මේ හැම සිදුවීමක් යටම ‘මහාභාරත සංකල්පය’ පවතී.

‘අක්හන්ඞ් භාරත්’ යනු නොබදුන භාරතයයි. ඊට මහාභාරත යන නම යෙදීමට පුළුවන. ඉන්දියාව, පකිස්ථානය, බංගාලි දේශය, ඇෆ්ගනිස්ථානය, භූතානය, නේපාලය, මාල දිවයින්, මියන්මාරය, ශ‍්‍රී ලංකාව, ටිබෙටය යන රටවල් සියල්ල මහා භාරත සිතියමට අයත්ව තිබේ. එය ඉන්දියාවේ හින්දු ජාතිකවාදීන්ගේ අපේක්ෂාවයි.

හින්දු ඉන්දියාව ගොඩනැගීමට අවශ්‍ය ජන කණ්ඩායම්වලට උපකාර කිරීම, මහාභාරත සංකල්පයෙන් සිදුවන්නකි. ඇල්ටීටීඊ සංවිධානය ගොඩනැගීමට උපකාර කිරීම නිදසුනකි. ලංකාවට ඉන්දියානු හමුදා එවීම තව නිදසුනකි. ඉන්දියාව උතුරේ වැසියන්ගේ සරණාගත කඳවුරු ගොඩනැගු බවද අමතක නොකළ යුතු කරුණකි. ඉන්දියාවේ නව පුරවැසි පනතින් ඔවුන් ගැන සැලකිල්ලක් දක්වා නැත. 2014 දෙසැම්බර් 31 ට පෙර අවට මුස්ලිම් රටවලින් ඉන්දියාවට සංක‍්‍රමණය වී සිටින හින්දු, බෞද්ධ, සික්, ජෛන, ක‍්‍රිස්තියානි ආගමිකයන්ට ඉන්දියාවේ පුරවැසිකම ලබාගැනීමට එම පනතින් ඉඩකඩ සැලසේ.

ස්වදේශ කටයුතු ඇමති අමිත් සෙන් පවසන හැටියට, අවට ඉස්ලාම් රටවල ක‍්‍රියාත්මක වන ඉස්ලාමීකරණය ප‍්‍රතිපත්තිය හේතුවෙන් ඉහත කී ආගම් අදහන ජනයාගේ ප‍්‍රතිශතයේ විශාල අඩුවීමක් සිදු වී තිබේ. 1951 පකිස්ථානයේ හින්දු ජනගහනය සියයට 23කි. එය සියයට 3 දශම 7 දක්වා පහළ බැස තිබේ. බංගාලි දේශයේ සියයට 8 දක්වා අඩු වී ඇත. ලංකාවේ මීට වෙනස් දෙයක් සිදු වී ඉස්ලාම් ජනගහනය සහ බලය අති විශාල ලෙස වර්ධනය වී තිබේ.

ඉස්ලාම් රටවල් ග‍්‍රහණය කරගන්නට සැරසෙන නමුදු, ජවිපෙ, ඉන්දියාවට හිරවුන පක්ෂයක් වී සිටියි. එහි නායකයින් පොහොට්ටුව සහ සමගි බලවේගය ඉක්මවා බටහිරට ලෙන්ගතු බව ප‍්‍රදර්ශනය කිරීම ඉදිරියේ දී සිදුවන්නකි. සියලූම බටහිර රටවලින් කැඳවීම් සහ ආධාර ඔවුන්ට ලැබීම සිකුරුය. එම කටයුතු සම්පාදනය කරන්නන් සමීක්ෂණ වාර්තා ඉදිරිපත් කරමින් ජවිපෙ කෙරෙහි මහජන ප‍්‍රසාදය වැඩි වන බව රටට හා ජාත්‍යන්තරයට දැන්වීමේ වැඩ පිළිවෙළ අරඹා ඇත. ‘යූටියුබ්’ වෙත නිකුත් කර ඇති 2024 ජනාධිපතිවරණය පිළිබඳ පළමුවෙනි වාර්තාව නිදසුනකි.

පොහොට්ටුුව හෝ සමගි ජන බලවේගයට වඩා ජවිපෙ ආණ්ඩුවක් පිහිටුවීම බටහිර රටවලට හොඳකි. රට කැබලි කර බුදුසුසන සහ සිංහල ජාතිය නැසීමට හොඳම මග එය බව ඔවුහු දනිති.

ඉතිහාසයේ සිදු වූයේ රට විපතට පත්වෙද්දී විදේශයනට කත්අදින ස්වදේශීය බලවේග පරදවන ජාතික බලවේගයක් බිහිවීමයි. එය යළිත් සිදුවිය හැකිය. පෙරටුගාමින් එළියට පැන තිබෙන්නේ අනාගතයේ බිහි වන ඒ සිංහල බෞද්ධ බලවේගය වැළැක්වීමට විය යුතුයි. නැතිනම් ජාතිකත්වයක් ගෑවී වත් නොතිබුණ ඔවුන්ට ජාතිකත්වයක් ආවේ කෙසේද?

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link