ලූලා නැති වළට කනයා පණ්ඩිතයා

Last Updated on 5 months by admin

වෙල් මාළු කෑවත් නොකෑවත් ලූලා මොකාද කනයා මොකාද කියලා අපේ ගැමියන් හොඳින් දැන සිටියා. මෙවන් ලස්සන පිරුළු, උපමා ආදිය ජනගත කිරීමට අතීතයේදී සංකීර්ණ ජනමාධ්‍ය තිබුණේ නැහැ. ශ්‍රී ලංකාව පමණක් නොව මුළු ලෝකයම “ජඩ මාධ්‍ය” නමැති බූවල්ලා විසින් වෙලාගෙන තිබියදී, වැටත් නියරත් ගොයම් කෑවා නම් කාට කියන්නද කියන උපමාවත් අපට මතක් වෙනවා.

ශ්‍රී ලංකාවේ සුප්‍රසිද්ධ ටෙලිවිෂන් නාළිකාවක ප්‍රවෘත්ති විකාශනය උදාහරණයක් ලෙස ගනිමු.

‘සියත’ ප්‍රවෘත්ති අංශයේ කළමනාකාර උදයෂාන් ඉඩමගෙදරට හොඳම ප්‍රවෘත්ති නිවේදකයා ලෙස සම්මාන උළෙලකදී බුහුමන් ලැබීම සතුටට හේතුවක්. මේ අතර මැද ලාල් හේමන්ත මාවලගේ සියත ප්‍රවෘත්ති අංශයට පැමිණීම පැහැදිලි කරන්න ලූලා නැති වළට කනයා පණ්ඩිතයායි කියනවාද නැත්නම්  වඳුරාට දැලිපිහිය අහුවුනා වගේ යැයි කියනවාද නැත්තං ගැලපෙන වෙනත් පිරුළක් හොනවාද කියා හිතාගන්න බැරි තරම්.

‘ටෙලි වැකිය’ නිසා නරඹන්නන් වැඩි වෙලාලූ. වාණිජමය වශයෙන් ආයතනයට වාසිදායක නිසා ‘දූෂණයට හා වංචාවට එරෙහිව සටන් කරනවා’ කියා මෝඩ කතා හා පල්හෑළි කියන්න නිදහසක් කවුරුන් හෝ ලබාගන්න උත්සාහ කළොත්, දීර්ඝ කාලීනව ඉන් ආයතනයටත්, රටටත් විශාල හානියක් සිදුවෙනවා. ‘ටෙලි වැකියේ අරමුණ අනාගත පරපුර වෙනුවෙන් රටක් හදා දීම’ කියා ලාල් හේමන්ත මාවලගේ 469 වන ටෙලිවැකියෙන් ප්‍රකාශ කළද, වැරදි අදහස් ප්‍රවෘත්ති විකාශනයට ඇතුළත් කිරීමෙන් ඔහු දැනුවත්ව හෝ නොදැනුවත්ව බරපතළ වරදක් කරනවා.

ටෙලි වැකියේ 299 කථාංගය අවසන් වූ පසු මම ලාල් හේමන්තට දුරකථනයෙන් අමතා  කරුණු දෙකක් පැහැදිලි කළා.

ශ්‍රී ලංකාවේ ජනාධිපතිගේ සිට පාර්ලිමේන්තුවේ සියලු දෙනාමත්, විශ්වවිද්‍යාලවල ආචාර්ය මහාචාර්යවරු ඇතුළු උගතුන් යැයි කියාගන්න අහසින් බට පිරිසත්, පුවත්පත් කතුවරයන්ගේ සිට ගුවන් විදුලි හා රූපවාහිනී මාධ්‍ය ක්ෂේත්‍රයේ බක පණ්ඩිතයින් සියලු දෙනාත් පොදුවේ කරන වරදක් වන “ජාතිවාදය” යන අරුත් සුන් සංකල්පය ජනගත කිරීම නැවැත්වීමට සහය වන ලෙස මා ඔහුගෙන් ඉල්ලා සිටියා. අනිවාර්යෙන්ම ඒ ඉල්ලීම ඉටු කිරීමට තමන් චර්යාධාර්මිකව බැඳී සිටින බව ඔහු ප්‍රකාශ කළා.

මගේ මීළඟ යෝජනාව වූයේ, “සමාජ අනාරක්ෂිතභාවය” පිළිබඳ න්‍යාය ටෙලි වැකිය තුළින් ශ්‍රී ලංකා සමාජයට හඳුන්වා දෙමු කියායි. ඔහු ඒ පිළිබඳව කොපමණ ප්‍රමෝදයට පත් වුණාද කිවහොත් ඔහුගේ 300 වන ටෙලි වැකියේ සිට දිගින් දිගටම ඒ පිළිබඳව කතා කිරීමට බලාපොරොත්තු වන බව ඔහු පැවසුවා.

ඊටම අදාළව, සමාජ අනාරක්ෂිතභාවයෙන් මිදීම සඳහා ජනතාව අනිවාර්යයෙන්ම සාමූහික විඥානයක් ගොඩනඟා ගත යුතු බවත් සියත නාළිකාවට ඒ පිළිබඳව විශාල මෙහෙවරක් ඉටු කළ හැකි බවත් මම ඔහුට පහදා දුන්නා. 300 වන ටෙලි වැකියට කමටහනක් නැතිව ළත වෙමින් සිටිය ඔහුට මාගේ පැහැදිලි කිරීම ලොකු අස්වැසිල්ලක් වුණා. ඊට පසු දින රාත්‍රියේ ටෙලි වැකිය තුළින් මාවලගේ ප්‍රකාශ කළේ ඇමෙරිකාවේ සිට කෙනෙකු ඔහු අමතා සාමූහික විඥානයේ ඇති වැදගත්කම මෙන්ම සමාජය අනාරක්ෂිත වීම වළක්වාලිය යුතු බවත් පැවසූ බවයි.

ඔහුට අවශ්‍ය වුණා සුප්‍රසිද්ධ නාට්‍යකරුවකු වන ජර්මන් ජාතික Burtolt Brecht ගැන ඔහුගේ ටෙලි වැකියෙන් නරඹන්නන් හට පණිවිඩයක් දීමට. ඔහු අති පාණ්ඩිත්වයකින් ප්‍රේක්ෂකයින්ට කියා සිටියේ ජර්මනියේ බර්ටෝල්ට් බ්‍රෙක් කියා නාට්‍යකරුවෙක් සිටි බවයි. ලෝකප්‍රසිද්ධ Burtolt Brecht ගේ The Caucasian Chalk Circle නාට්‍ය හෙන්රි ජයසේනයන්ගේ අනුවර්තනයක් ලෙස ‘හුනුවටයේ කතාව’ වේදිකාගත වූ පසු ශ්‍රී ලංකාවෙ පාසල් ළමුන් පවා දැන සිටියා, බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් කියන නම නිවැරදිව උච්චාරණය කරන්න. නමුත් මාවලගේ ඒ නම දෙතුන් වරක් කියමින් අවධාරණය කර සිටියේ බ්‍රෙෂ්ට්ගේ සැබෑ නම “බ්‍රෙක්” කියායි. ලක්ෂ සංඛ්‍යාත ජනතාවකට නිවැරදි තොරතුරු දෙන්න ඕනෑම මාධ්‍ය ආයතනයක් සදාචාරාත්මකව පමණක් නොවෙයි නීතියෙන්ද බැඳී සිටිනවා.

 තවත් අවස්ථාවක මාවලගේට අවශ්‍ය කර තිබුණා ජර්මනියේ නිෂ්පාදනය කරන Volkswagen නැමැති වාහනය ගැන යම් සඳහනක් කිරීමට. ඔහු තබා ලංකාවේ ප්‍රබලයින් පවා දැන සිටියේ නැහැ ජර්මන් භාෂාවේ V අකුර ශබ්ද කරන්නේ ඉංග්‍රීසි භාෂාවේ f අකුර ලෙසින් කියා. ඒ අනුව එය වොක්ස්වාගන් නොව ෆෝක්ස්වාගන් විය යුතුයි.

මාර්තු 2 දා ලාල් හේමන්ත ටෙලි වැකිය ආරම්භ කරමින් කියා සිටියේ “ඔව්, සැබෑවටම මේ බර දරාගෙන සටන් කරන්න පුළුවන් අලුත් ජේසු කෙනකු අද අපේ සමාජටට ඕන කර තිබෙනවා. අද සමාජ ඉල්ලන්නේ ජේසුලා. ඒ ජේසුගේ බර කර ගහන්න පුළුවන් සීමොන්ලා, සිරිනිව්ස්ලා සහ වෙරෝනිකාලා කියායි. වසර 2568ක් ගෙවී ගිය තැන බුදු හාමුදුරුවන්ගෙනුත්, බුදු දහමෙනුත්, සංඝයා වහන්සේලාගෙනුත් සමුගැනීමක් වෙනත් වචනවලින් ලාල් හේමන්ත ප්‍රකාශ කලාවත්ද යන සැකය මා තුළ පමණක් නොව මා දන්නා බොහෝ දෙනෙක්ගේ සිත්වලත් ඇති වුණු බව ඒ අයගේ කතාබහවලින් වැටහී ගියා.

දුටුගැමුණු කුමාරයාගෙන් පටන්ගෙන තවමත් ඉදිරියට යන සිංහල බෞද්ධයින්ගේ සටනට මේ ආකාරයෙන් කොමාවක් තියන්නට හා රටේ ප්‍රශ්නවලට “විසඳුම” ජේසුලා බව කීමට මේ වනතෙක් කිසිම ක්‍රිස්තියානි ලබ්ධිකයෙකුවත් ඉදිරිපත්ව නැත. යේසුතුමන් දැරුවේ උහුලන්න බැරි බරකින් යුතු දැවැන්ත කුරුසයක්. එසේ නැතුව යේසුතුමන්ගේ බර උහුලන්න (මාවලගේ සංකල්පයක්) සමත් කෙනෙක් යේසුස් වහන්සේට පසුව අද වෙනතුරුත් බිහිවී නැත. සමහර විට ලාල් හේමන්තගේ මේ ආරාධනාව බල කාමය නමැති විලිරුදාවෙන් පෙළෙන ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය විසින් හසුරුවන සීමොන්ලා, සිරිනිවුස්ලා හා වෙරෝනිකාලාට වෙන්න බැරිද?

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link