Last Updated on 1 hour by admin
කොලට් සේනානායක
නාරද කරුණාතිලක

Pic. credit: Reuters/Dinuka Liyanawatte
පියදාස නිශ්ශංකගේ ‘රත්නාවලී,’ සංස්කෘත ‘රත්නාවලී’ නාට්‍යයේ අනුවර්තනයකි. එය සිංහලයන්ගේ ඉතිහාස කතාවක් බව, පාසල් සිසුන්ටත් වැටහේ. රත්නාවලී විචාර පොතක් ලියූ මහාචාර්ය සුචරිත ගම්ලත්, රත්නාවලී නාට්‍යයේ අඩංගු ඉතිහාස පුවතින් සිංහලයින්ට ජාතිවාදී හැඟීම් පහල වෙතැයි තරයේ ඇදහූවෙකි. ඊට එකම හේතුව ඔහු පේරාදෙණියේදී මාක්ස්වාදියෙකු වීමයි.
රත්නාවලී ලියූ ශ්‍රී හර්ෂවර්ධන රජතුමා රත්නාවලී කුමරියගේ පියා පරාක්‍රමබාහු නිරිඳු බව කියයි. ඇය උපන් රට සිංහල දේශය වශයෙන් හඳුන්වයි. සිංහලයින් සහ අවන්ති, වත්ස රාජධානි අතර නෑකම් පෙන්වයි. දඹදිව වාසීන් බෞද්ධයන්ව හැඳින්වීම සඳහා ‘සිංහල’ යන නම භාවිත කර ඇතැයි ආචාර්ය රජේන්ද්‍ර ප්‍රසාද් ශාස්ත්‍රී සඳහන් කළේය.
සිංහල වීමට පෙරත් මේ රට පැවතුණි. එහි යක්ෂ, නාග රාජධානි පැවති බවට සාක්කි තිබේ. ඔවුන් රට හැඳින්වූ නම් තිබුණි. ඇලෙක්සැනද්‍රියාවේ විසූ ටොලමිගේ සිතියමෙහි මේ රට ‘සෙරන්ඩිබ්’ බව සඳහන් වේ. ඇතැම් සිංහල රජවරු රට ‘ලංකාව’ යැයි හඳුන්වති. ඔවුන් නාග, යක්ෂ ගෝත්‍ර මූලයක සම්බන්ධයක් නිසා එසේ කීවේද යන්න විමර්ශනය කළ යුතු දෙයකි. පුටින් ජීවත් වන රට රුසියාව වුවත් ලෙනින් ජීවත්වූ රුසියාව ප්‍රසිද්ධ වූයේ සෝවියට් දේශය නමිනි. හිට්ලර් විසූ ඩොච්ලන්ඩ් ෘැමඑිජයක්බා අදත් ජර්මනියේ නිල රාජ්‍ය නාමයයි.
ආරබි, පර්සියන්, පෘතුගීසි වැනි ජාතීන් ඔවුන්ගේ වහරට ගැලපෙන අයුරින් සකස් කරගත් ‘සෙයිලාන්’, ‘සෙයිලෝන්’ ආදි නම්වලට පදනම වැටුණේ ‘සිංහලේ’ යන නමයි. බ්‍රිතාන්‍යයෝ ඊට ’සිලෝන්’ කීහ. 1815දී ඔවුන් උඩරට නායකයින්ගෙන් භාර ගත්තේත්, ඩී. එස්. සේනානායකලාට භාර දුන්නේත් ‘සිලෝන්’ නම් රටයි. බණ්ඩාරනායක අගමැතිවරයා පිහිටුවූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිහිවීමට රටේ නම ‘ශ්‍රී ලංකා’ යනුවෙන් වෙනස් කිරීම මහා පාවාදීමකි. එය ලෝකයට පිළිගැන්වීම නිසා ‘සිංහල දේශය’ නැති වුණි. මොහොමඩ් අලි ජින්නා ගාන්ධාරයේ නමට අකමැති වී ‘ශුද්ධ වූ ඉස්ලාම් දේශය’ අරුතැ’ති ‘පකිස්ථානය’ පිහිටුවූයේය.
අනුරාධපුර රාජධානි සමයේ මැද භාගය වන විට ‘සහල්’ ලංකාවේ ප්‍රධාන ජාතික ආදායම වූයේය. සිංහල යන නමින් ‘සහල්’ යන වචනය නිර්මාණය වූ බව පැහැදිලි කරන භාෂාවේදීහු, ජපනුන්, ‘හොන්ඩා‘ (Rice Field) ‘සුසුකි’ (piles of rice straw) වැනි නම් හදාගෙන ඇත්තේත් සහල් සඳහා ඔවුන් භාවිත කළ නම්වලින් බව පෙන්වති. සහල් නිපදවීම නිසා සිංහල සමාජයේ ගොවි නමින් ශ්‍රේණියක් බිහි විය. ඔවුන්ගේ කාර්යය ගොවිතැන් කිරීම පමණක්ම නොවේ. ගොවිතැනට වුවමනා මෙවලම් හා පෝර ආදිය නිපදවූයේත්, වැව්, වාරිමාර්ග නිර්මාණය හා නඩත්තුව කළේත් ගොවි ශ්‍රේණියේ විශේෂ කණ්ඩායම් විසිනි.
ඉස්ලාමිකයන්ට හා ක්‍රිස්තියානින්ට වාසගම් නැත. හින්දු ඉන්දියානුවන්ට තිබේ. ඒවා පර්යේෂණයට ලක්කිරීම ජාන (ඩීඑන්ඒ) පරීක්ෂාවට සමාන ක්‍රියාවක් බව නවීන විද්‍යාඥයින් පිරිසක් කියා තිබේ. මෙය ලංකාවට ඉතා වැදගත් පුවතකි. අනාගතයේ සිංහල වාසගම් පරීක්ෂා කරන විට සිංහලයන්ගේ පරම්පරා මුල් ගැන තොරතුරු දැනගන්නට පුළුවන. පැරණි ගම්සභාව ගොවි ශ්‍රේණියට සම්බන්ධ සියලුම ශ්‍රේණිවල නියෝජිතයන්ගේ මණ්ඩලයකි. මේවා හැඳින්වීමට, වරිගසභා, තොවිලය වැනි ප්‍රාදේශීය ව්‍යවහාර තිබුණි. නිකවැරටිය බුදුමුත්තාව සෙල්ලිපියේ සඳහන් ගම් සභාව ශ්‍රේණි හතක එකතුවකි.
සිංහල ජනශ්‍රැතියේ සහ රාජාවලිය, සිලප්පාදිකාරම් වැනි ග්‍රන්ථයන්හි අනුරාධපුර යුගයේ ලංකාව ආක්‍රමණය කළ චෝල සේනාවක් සිංහල රජු මරා රට වැසියන් දස දහසක් සිරකරුවන් ලෙස අල්ලා ගෙන ගොස් කාවේරි නදී නිම්නයේ වී වගාවට යෙදවූ බව සඳහන් වේ. ඇතැම් ශාස්ත්‍රඥයින්ගේ අදහස ඒ වංකනාසික තිස්ස රජු බවයි.
චෝල රටට ගෙන ගිය සිංහල සිරකරුවන් ලංකාවේ වී ගොවිතැන් ක්‍රියාවලියේ යෙදී සිටි ඉංජිනේරුවන්, මිනින්දෝරුවන්, කාර්මිකයින්, විද්‍යාඥයින් හා ගොවියන් මිස ආබාධිතයන්, මහල්ලන් හෝ ළදරුවන් නොවේ. ආක්‍රමණිකයන් සිංහලයන්ගේ පොත පත සහ වී වර්ග පවා පැහැර ගෙන යෑම ස්වභාවිකය. කාවේරිය දකුණු ඉන්දියාවේ තමිල්නාඩු, කර්ණාටක, කේරළ යන ප්‍රාන්ත තුනම සම්බන්ධ කරගන්නා කි. මී. 800ක් පමණ දිගැති සුවිශාල ගංගාවකි. අමුණු බැඳ ඇළ මාර්ග තනවා කාවේරි ජලය වැව්වලට හරවා ගම් ජනපද කෝවිල් ආදිය පිහිටුවීම යනු යෝධ ක්‍රියාවකි.
කාවේරි ව්‍යාපාරය නිසා චෝල රට ලෝකයේ ප්‍රධාන වී හා ධාන්‍ය නිපදවන්නා බවට පත් වූයේය. ඒ ආර්ථික ශක්තිය මත ඔවුන් ඉන්දියානු සාගරයේ පැතිරුන අධිරාජ්‍යයක් බිහි කළහ. ලංකාවේ සහල් නිර්යාත වෙළෙඳාම බිඳ වැටුණි. මහා පරාක්‍රමබාහු රජතුමා එය යළි පිහිටුවන්නට උත්සාහ කළ නමුදු, දකුණු ඉන්දියාවේ රාජ්‍යයන්ගෙන් ඊට බාධා ඇති විය. සිංහල වෙළෙඳ ශ්‍රේණිය නැගී සිටියේ එවිටය. ජයවර්ධනපුර රාජධානිය පිහිටුවූ අලකේශ්වර වෙළෙඳ ශ්‍රේණියේ නායකයෙකි. පෘතුගීසීහු, සිංහල වෙළෙඳ ශ්‍රේණිය විනාශ කර ලංකාවේ නිර්යාත වෙළෙදාම අල්ලා ගැනීමට වසර 150 කට වැඩි කාලයක් උත්සාහ කළහ.
යටත් විජිත පාලනයේ අවසාන භාගයේදී සිංහල වෙළෙඳුන් සුළු ජයක් ලබා තිබේ. කොළඹ ආනන්ද විදුහල ඔවුන් ගොඩනැඟූවකි. මාක්ස්වාදීන් ඒ සිංහල වෙළෙඳ බලය විනාශ කළහ. බස් ජනසතු කිරීම ඒ සිදුවීම වටහා ගැනීමට නිදසුනකි. තෙල්, වතු හා රක්ෂණ සමාගම් ජනසතුව නිසා විදේශීය සමාගම් කිහිපයකට බලපෑම් සිදු විය. ඇතැම් මාක්ස්වාදී ආචාර්යවරුන් මේ සියලු ක්‍රියා දකින්නේ අධිරාජ්‍යවාදය පරාජය කිරීමක් වශයෙනි. එසේ තර්ක කරන පිරිස් අතර එංගලන්තය, ඇමරිකාව, ඕස්ටේ්‍රලියාව ආදි රටවලට දූ දුරුවන් යැවීමට පොරකන්නෝද සිටිති.
1958 ජනවාරි 01 ලංගම පිහිටුවූ පසු, පෞද්ගලික බස් රථ 3300ක් හා සේවකයන් 12000ක් රජයට හිමි විය. මේ ඇතැම් සමාගම් සතුව අළුත්වැඩියා, නඩත්තු හා සේවා මධ්‍යස්ථාන, ඉන්ධන හා අමතර කොටස් ගබඩා, පරිපාලන කාර්යාල, සේවක පද්ධති හා කළමනාකරණ ව්‍යූහයන් ඇතුළු බොහෝ සම්පත් තිබුණි. මේවා රජයට පවරා ගෙන පිහිටුවූ ‘ලංගම’ දේශපාලන පන්දම්කාරයින්ගේ අම්බලමක් බවට පත් වුණි. රාජ්‍ය සේවය සම්බන්ධයෙන්, රාජ්‍ය සේවා කොමිෂන් සභාවට තිබුණු බලය අමාත්‍ය මණ්ඩලය යටතට ගැනීමත් 72 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සිදු විය. එම නිසා ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට, ආයතනවලට පන්දම්කාරයින්ව ගාල් කිරීමට නිදහස ලැබුණි. එවිට රාජ්‍ය ආයතන නුසුදුස්සන් හා සේවක අතිරික්ත පිරුණු තැන් බවට පත් විය. කොළඹ පිටකොටුවේ එළවලු බක්කියක් කරමින් සිටි ගාමිණී ලොකුගේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයෙකු වීම නිදසුනකි
බස් සමාගම් රජයට පවරා ගැනීමේදී සමාගම්වලට අහිමි වූයේ වත්කම් පමණක් නොව, අනාගතයේ විශාල දේශීය සමාගම් බවට පත්වීමට තිබූ ආයතනික පරම්පරාවකි. අනාගත පරපුරට ඒ ඇත්ත පැහැදිලි කරන සත්‍යවාදියකු නොවී ජනසතුව අධිරාජ්‍යවාදයේ පරාජයක් යයි වහසි දොඩන්නා මුග්ධයෙකි.
