රාජ්‍ය ආගමට බිම දාගෙන බැට දෙන ලෝකයේ එකම එක අරුම පුදුම රට

Last Updated on 3 weeks by admin

කොලට් සේනානායක
නාරද කරුණාතිලක

Pic. credit: Dhammatalks.net

ලෝකයේ ඉස්ලාම් රටවල් විශාල සංඛ්‍යාවක් තිබේ. මාලදිවයින, බංගාලි දේශය, පකිස්ථානය ලංකාවට සමීප ඉස්ලාම් රාජ්‍යයන් තුනකි. අතීතයේ බෞද්ධ රටක්ව පැවති මාලදිවයිනට බුදුරුවක් පෙන්වන වෙසක් පතක් වත් ගෙනයාමට එහි වර්තමාන පාලකයින්ගෙන් අවසරයක් නොලැබේ. ඇමරිකාවේ Pew Research Center ආයතනයේ පර්යේෂණ වාර්තාවකට අනුව ලෝකයේ රාජ්‍ය අනුග්‍රහය සහිත ආගමක් ඇති රටවල් අතරින් 2/3ක් ඉස්ලාම් රාජ්‍යයන්ය.

ලොවේ ක්‍රිස්තියානි රටවල් ද විශාල සංඛ්‍යාවක් ඇත. බටහිර යුරෝපයේ ක්‍රිස්තියානි රටවල් සියල්ලකම ආගමික මූලස්ථානය, මහජනයාගේ ආදායමින් සියයට දහයක බද්දක් අය කරයි. ඊට අකමැති පිරිස් සිටින බව ඇත්තකි. එහෙත් ඔවුහු, තම දූ දරුවන්ගේ අනාගත සුරක්ෂිතතාව ගැන සිතා දේවස්ථාන බද්ද ගෙවති. ලෝකයේ නොනිල, අභිරුචි (preferred) ආගමක් ඇති රටවලින් 70%ක්, කිතුණු රාජ්‍යයන්ය. ඇමරිකාව, රුසියාව, ඉතාලිය, පෝලන්තය ඒ අතර වෙයි.

මෙයින් ඔප්පු වන්නේ ඉස්ලාම් හා ක්‍රිස්තියානි රටවල් සියල්ලකම රටේ ආගම රැකීමේ නීති හා සම්ප්‍රදායන් පවතින බවයි. වර්තමාන පාලකයින් විනාශ කරන්නට සිතන්නේ බුදු සසුන රැකීම පිණිස ලංකාවේ ඇති නීතිය හා සම්ප්‍රදායයි.

ඊශ්‍රායලය යුදාගමිකයන්ගේ රටයි. එවැනි රටක් බිහිවීමේ ඉතිහාස කතාව බයිබලයේ පැරණි තෙස්තමේන්තුවේ අඩංගු වේ. දෙවන ලෝක යුද්ධයෙන් පසු යුදෙව් වර්ගයා රැකගැනීම වෙනුවෙන් ඊශ්‍රායලය පිහිටුවීමට ඇමරිකාව මුල් විය. එය ඉස්ලාම් රටවලට වටවී ඇති රටකි. එනිසා ඊශ්‍රායලය රැකීමට ඇමරිකාවට සිදු වේ.

ඉස්ලාම් කලාපය මැදි කරගෙන ඇති ඊශ්‍රායලය පිහිටීම පිළිබඳව මුස්ලිම් රටවල් කැමති නැත. අතීතයේ ඊශ්‍රායලය නැති කිරීමට ඔවුන් සියල්ල එක්ව සිටි නමුදු ඒ ස්වභාවය වෙනස් වී තිබේ. තෙල්වලින් පොහොසත් වී සිටින ක්වේට්, සවුදි අරාබිය වැනි රටවල් යුධ ගැටුම් ඇතිකර ගැනීමට සූදානම් නැත. ඊට එක හේතුවක් බලවත් ඇමරිකාව හා ක්‍රිස්තියානි යුරෝපය ගැන ඔවුන්ට ඇති අවබෝධයයි. තමන්ගේ ඛනිජ සම්පත් ක්‍රමයෙන් අඩුවීගෙන යන බැවින් අනාගතයේ රාජ්‍ය ආදායම් සෙවීමට වෙනත් ක්‍රම ගැන සැලසුම් කිරීම තවත් හේතුවකි. සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම ඔවුන්ගේ අනාගත ඉලක්කයකි.

පෙරදිගට පැමිණි බ්‍රිතාන්‍ය පෙරදිග වෙළෙඳ සමාගම ඉන්දියාව යටත් කරගත්තාය. ‘ඉන්දියාව’ යනු තුර්කි ආක්‍රමණිකයන් සැදූ නමකි. ඇෆ්ගනිස්ථානය හරහා එම කලාපයට කඩවැදුන ඉස්ලාම් ආගමින් සන්නද්ධ වී සිටි ඔවුහු, කලාපවාසීන් ‘හින්දූන්’ වශයෙන් සැලකූහ. ඉන්දියාව යනුවෙන් සඳහන් කළ විට එය හින්දුන්ගේ රටයි. ඉස්ලාමිකයන්ට ගොදුරු වූ හින්දු රට නැවත බිහි කිරීමට නරේන්ද්‍ර මෝදි වෙහෙසේ. එය වැළැක්වීමට ලෝකයේ මුස්ලිම් කතෝලික සහ ක්‍රිස්තියානි බලවේග සටනක යෙදී සිටිති.

ශ්‍රී ලංකාව ඈත අතීතයේ සිටම බෞද්ධ රටකි. ධර්මාශෝක මගධ රාජයාගේ කාලයේ එය ථෙරවාදී බෞද්ධ රටක් සේ ප්‍රසිද්ධ වූයේය. බෞද්ධ ඉතිහාසයේ කියවෙන ආදි බුදුවරුන් ගැන සැලකිලිමත් වන විද්වතුන්ගේ අදහස, ලංකාව ධර්මාශෝක රාජයාගේ කාලයට පෙරත් බෞද්ධ රටක් බවයි. ඒ කාලයේ රට ‘සිංහල’ නම් වූයේය. මේ නාමය, බෞද්ධයන් හැඳින්වීම සඳහා ලෝකයේ වෙනත් රටවල්ද භාවිත කර ඇති බව ඔවුන්ගේ අදහසයි.

රටවල් ජයගන්නා හින්දු, ඉස්ලාම් සහ ක්‍රිස්තියානි ආගම්, සිංහල රට ජයගැනීමට උත්සාහ දරා තිබේ. ඔවුන්ගෙන් රට බේරාගැනීමට සිංහලයෝ වෙහෙස දැරූහ. ඔවුන්ගේ බලය හමුවේ ඉන්දියාවේ සහ ඒ අවට රටවල බලවත් ජාතීන් බොහෝමයක් අතුරුදහන් වූ නමුත් සිංහලයින් එවැනි විනාශයකට පත් වූයේ නැත. ඉන්දියාවේ සුල්තාන් බලය හේතුවෙන් ලංකාවේ සිටි යුදෙව් ජාතිකයන්ටත් ඉස්ලාම් ආගම වැළඳ ගැනීමට සිදු විය.

සිංහලයින් රැකුනේ, බෞද්ධයන් වශයෙන් බුදුසසුන රැකගැනීමට උත්සාහය දැරීම හේතුවෙනි. මහාවංශයේ සඳහන් ලෙසට දුටුගැමුණු රජතුමා යුද්ධයට ගියේ සසුන බේරා ගැනීමට මිස රජකම ගැනීමට නොවේ.

අනුර දිසානායකගේ නායකත්වයෙන් කටයුතු කරන මාලිමා රජය සිංහල ජාතිය හා බුදුදහම ගැන දරන මතය ආක්‍රමණිකයන් දැරූ මතය හා සමානය. අනුර දිසානායක ජනාධිපතිවරයා ජාතිය අමතමින් කළ පළමුවෙනි කතාවෙන් ද එය කියැවේ. රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස යන දේශපාලන නායකයින් මහජනයාගේ අප්‍රසාදයට පත් වන්නට ප්‍රධාන හේතුවත් ඔවුන් සිංහල බෞද්ධ උරුමයට පටහැණි විජාතික මතවාදයක් ගොදුරු කරගත් නායකයින් වීමයි.

හොරු ඇල්ලීම, සමාන රට වැසියන්ගේ රටක් බිහි කිරීම වැනි මාලිමාව ඉදිරිපත් කරන මතවාදයන්ට වැඩි ආයුෂ නැත. රුසියානු විප්ලවයෙන් පසු මෙවැනි මතවාද ඉදිරිපත් කළ රටවල් විශාල සංඛ්‍යාවක් ලෝකයේ තිබුණි. ඇල්බේනියාව, රුමේනියාව, හංගේරියාව, පෝලන්තය ආදී රටවලද සමාන රටවැසියන් හැදීමට වෙහෙසුන කොමියුනිස්ට් පාලකයෝ සිටියහ. සමාන රටවැසියන් බිහිකිරීම යනු ලෝක ධර්මයට විරුද්ධ අදහසකි. චීනයේ, කියුබාවේ සමාන සමාජ පවතින බව කියන්නා උන්මන්තකයෙකි.

හොරු ඇල්ලිම ඉතාම කෙටිකාලීන සටන් පාඨයකි. හොඳම නිදසුන හොරු අල්ලන්නට ඉදිරිපත් වන දූෂණ විරෝධී පෙරමුණේ නායකයෙකුට සහ තවත් ජවිපෙ වෘත්තීට සමිති නායකයින් කීප දෙනෙකුට මිලියන 36 ක වංචාවක් ගැන චෝදනා ලැබීමයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link