අනුරගෙ සෙල්ලම් එළිවෙන ජාමෙට

Last Updated on 2 weeks by admin

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පුණ්‍ය ආයතනයක් නොවේ. ව්‍යාපාරයක් ද නොවේ. දෙවන ලෝක යුද්ධයෙන් පසු ඇමරිකාව ප්‍රධාන බටහිර රටවල් පිහිටුවාගත් මුල්‍ය සමාගමකි. ලෝකයේ මුදල් සහ ආර්ථික ස්ථාවරතාව පවත්වාගෙන යාම සමාගමේ අරමුණ බව ඔවුන්ගේ ආර්ථික විශේෂඥයෝ කියති.

රුසියාව ප්‍රධාන කොමියුනිස්ට් රටවල් ඒ පැහැදිලි කිරීමට එකඟ නොවීය. අධිරාජ්‍යවාදී වුවමනාව සපුරා ගැනීම ජාමු අරමුදල පිහිටුවීමේ බටහිර වුවමනාව බව කී ඔවුහු, ඩොලරයේ ආධිපත්‍යය ආරක්ෂා කිරීම ජාමු අරමුදලේ අදෘශ්‍යමාන අරමුණ බව පෙන්වූහ. පසුගිය කාලයේ රුසියාව, චීනය, ඉරානය වැනි රටවල් ඩොලරයෙන් ඉවත් වී වෙනත් මුදල් ඒකක ඇතිකර ගැනීමට උත්සාහය දැරුවේද ජාමු අරමුදලේ බල බිඳීමටයි. චීනය අරමුදලේ කොටස් වැඩියෙන් ලබාගෙන බලය ඇල්ලීමට දැරූ උත්සාහයක්ද පෙනේ.

රනිල් වික්‍රමසිංහ බටහිර ගැත්තෙකු බව ජාතිකවාදීන් නොවන ලාංකිකයන් පවා පිළිගන්නා අදහසකි. ගෝඨාභය පහකිරීමට ඉදිරිපත් වූ අරගලකරුවන් රනිල්ව බලයට පත්කිරීමට නොසිතුවත්, මාලිමාව බලයට පත් කිරීමේ දීර්ඝ සැලැස්ම, තෝන් ලණුව අල්ලාගෙන සිටි අරගලයේ සැබෑ හිමිකරුවන්ට තිබුණි. රනිල්, වැටී සිටි ආර්ථික අගාධයෙන් රට ගලවා ගැනීමට උත්සාහ දැරුවේ ජාමු අරමුදලේ උපකාරයෙනි. බලයට කෑදර පොහොට්ටුවේ බොහෝ දෙනකු රනිල්ට වල්ගයක් විය.

රනිල්ට උපකාර කරන්නට ඉදිරිපත් වූ ජාමු අරමුදල ලංකාවට ණය සැපයීමට එකඟ විය. බොහෝ මාක්ස්වාදීන්ගේ අදහස වූයේ මෙය රට පාවාදීමක් බවයි. ජවිපෙ ඒ මතය දැරූ මාක්ස්වාදී දේශපාලන පක්ෂයකි. මාලිමාවේ නායක අනුර කුමාර දිසානායක, වැල්පාලමේ යන බව කියමින් ඔවුන් බටහිරට පක්ෂ බව පැහැදිලි කළහ.

බලය ලැබීමෙන් පසු මාලිමාවේ නායක අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ලංකාවේ ආර්ථික විශේෂඥයෝ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ආණ්ඩුවේ සාකච්ඡා පැවැත්වූහ. මාක්ස්වාදීන් නොවූ ඔවුන්ට ණය සැපයීමට ජාමු අරමුදල අකමැති නොවීය. මේ හැංගිමුත්තම් සෙල්ලම නොවැටහෙන ඇතැම්හු, ජනාධිපතිවරණයට පෙර තිබූ මාලිමාවේ අදහස් දැන් වෙනස් වී ඇතැයි කියති.

ජවිපෙ මාක්ස්වාදී පක්ෂයක් බව ඇත්තකි. එහි නායකයින් වන අනුර කුමාර, ලාල් කාන්ත වැන්නන් ප්‍රසිද්ධ මාක්ස්වාදියෝ වෙති. එහෙත් ජවිපෙ වෙනස් වූයේ මාක්ස්වාදී පක්ෂයක් වශයෙන් නොවේ. නව ලිබරල්වාදී පක්ෂයක් වශයෙනි. අනුර ජනාධිපතිවරයා අගමැති විලෙස තෝරාගත් හරිනි අමරසූරිය මාක්ස්වාදියෙකු නොවේ. ඇය ප්‍රසිද්ධව සිටිනේ නව ලිබරල්වාදී කාන්තාවකු ලෙසටය.

නව ලිබරල්වාදය, මාක්ස්වාදීන් ගොදුරට ගැනීම සඳහා බටහිරින් මුදාහරින ලද කාම දර්ශනයකි. ලංකාවේ ලිබරල්වාදීන් යනු සිංහල බෞද්ධ සංස්කෘතියට එරෙහි පිරිසකි. චීනයේ 75 වෙනි නිදහස් සැමරුම වෙනුවෙන් පැවති උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වූ විදේශ ඇමති විජිත හේරත්ගේ ‘ෆුල් සූට්’ ඇඳුමෙන් හා කොලේ බලාගෙන කළ ඉංග්‍රීසි කතාවෙන් පවා ප්‍රකාශ වන්නේ නව ලිබරල්වාදී කාම දර්ශනය විසින් ජවිපෙ දේශපාලනඥයන්ගේ මනසට ඇතුළු කර ඇති හීනමානයයි.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා බලයට ගෙනැවිත් ඔහු හරහා රට ජාමු අරමුදලට හිර කළ පිරිස සතුටු කරමින් රට ඉදිරියට ගෙන යාමට, දැන් අනුර කුමාර ජනාධිපතිට සිදු වී ඇත. ඔහු උත්සාහ කරන්නේ අරමුදලින් තව තවත් ණය ගෙන රට ගොඩ දැමීමටයි. එහෙත් සිදුවන්නේ එය නොවේ. මේ දශකය අවසාන වන විට රට නැවතත් උග්‍ර ණය උගුලක හිර වන බව ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති. මේ විපතින් ගැලවීමට ඇති එකම මග රාජ්‍ය ආදායම් වැඩි කරගැනීම පමණි. ඒ සඳහා වැඩි වැඩියෙන් ජනතාවට බදු ගහන්නට සිදු වේ. එවිට නැග එන ජනතා විරෝධය මඩින්නට හමුදාව යෙදවීමට අනුර කුමාර ජනාධිපතිවරයාට නොහැකිය.

මැද පෙරදිග ගිනි ගනිමින් පවතී. එහි ප්‍රතිඵලය ඉන්ධන මිල ඉහළ යාමයි. ඉන්දියානු විදේශ ඇමතිවරයා හදිසියේ ලංකාවට පැමිණ 13 වැනි සංශෝධනය ඒ ආකාරයෙන්ම බලාත්මක කරන්නැයි කී බවට මාධ්‍ය වාර්තා පළ වේ. මෝදිගේ ආණ්ඩුවට වැදගත් වන්නේ, තමිල්නාඩුව සතුටු කර ඡන්ද පදනම වැඩිකර ගැනීමයි. මාලිමාවට ගැලවීමට ඇති මග, සිංහල සංස්කෘතිය විනාශ කිරීමයි.

පෙරේදා අමරපුර මහා නිකායේ වැඩබලන මහනායක හිමියන් ප්‍රධාන සංඝයා වහන්සේලා පිරිසක් මුණගැසුන ජනාධිපති අනුර කුමාර දිසානායකට අනුශාසනා කළ භික්ෂු නමක්, පසුගිය ජනාධිපතිවරණ සමයේ ඔහුට විරුද්ධව ආගම මුල් කරගත් සංවිධානාත්මක අවලාද ව්‍යාපාරයක් ක්‍රියාත්මක වූ බව පවසා මතුවට එවැනි දෙයක් සිදු නොවීමට වගබලාගත යුතු බව පැවසූ හැටි ප්‍රවෘත්ති වාර්තාවන් මගින් පෙන්වන ලදී. අනාගතයේදී නව ව්‍යවස්ථාවක් ගෙන එන බව ජනාධිපතිවරයා එවිට පවසයි.

නව ව්‍යවස්ථාවකින් කළ හැක්කේ රටේ ආර්ථික අර්බුදයට විසඳුම් සැපයීම නොවේ. රටේ අලුත් අර්බුදයක් ඇති කර රට කඩා දැමීමයි. රටේ නායකයාට උපදෙස් දෙන මේ සංඝයා වහන්සේලාට නව ලිබරල්වාදී නායිකාවක අලුත් ආණ්ඩුවේ අගමැති ධුරයට පත්වීම යට ඇති අදෘශ්‍යමාන වැඩපිළිවෙළ වැටහෙන බවක් නොපෙනේ. ඊයේ මැල්කම් රංජිත් කාදිනල්තුමා සමග කටුවාපිටියට දේවස්ථානයට ගිය අනුර ජනාධිපතිවරයාට පාස්කු ප්‍රහාරය ගැන උපදෙස් ලැබුණ අයුරු ප්‍රවෘත්ති ප්‍රකාශයන් මගින් දකින විට ඇතැම් නායක හිමිවරුන්ට දේශපාලන දැනුම ඇත්තේම නැතැයි සිතේ.

හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට යැයි කීවා සේ, ජාමුල අරමුදලට කීකරු වීම, පෙඩරල් ව්‍යවස්ථාවක් ගෙන ඒම, සිංහල බෞද්ධ සංස්කෘතිය පාගා නව ලිබරල් සංස්කෘතිය බලයට පත්වීම ආදි සිද්ධි රාශියක් ඉදිරියේ සිදුවීමට නියමිතය. එයින් රට ගලවාගැනීමට ජාතික හැඟීම් ඇති සියලු දේශපාලනඥයින් පටු අවශ්‍යතා අතහැර එකට එකතු විය යුතුය.

1 thought on “අනුරගෙ සෙල්ලම් එළිවෙන ජාමෙට”

  1. ලංකාවේ ජාතිකත්වය වෙනුවෙන් පෙනී ඉන්න අය වැඩි උනත් ඒ් පැත්තම තමා හරිම දුර්වල . අනෙක් පැති වල පෝඩ් කාස්ට් තියෙනවා , දේශපාලන චැනල්ස් තියෙනවා , ඒ් මත ඉදිරියට ගෙනියන්න සමාජ ජාල ක්‍රියාකාරීන් ඉන්නවා . ජාතිකත්වය පැත්තේ ඉන්න සෙට් එක හැම දාම එක එකාට නෑ . ඡන්දයක් ලං වෙන කොට කොහෙ කොහොට හරි පැන ගන්නවා අන්තිිිමටට ඒ් මතෙත් නෑ . ඒ් පිරිසගේ කරපිටින් ආපු අය හොදට ගසාකාලා මාරු වෙනවා . නලින්ද සිල්වා මහතාගෙන් එහෙම මතිනුත් මහින්දලා කලේ ඔ්කනේ .චම්පිකලා කලෙත් ඔ්ක. මේ කාලය හොදම කාලයක් ජාතිකත්වය මත පදනම් වුනු පක්ෂයක් බිහි කරන්න . සියලු මහ පක්ෂ දියාරු වෙලා නිසා ශක්තිමත් විකල්පයක් නෑ . දැනට විකල්පය සජිත් . පරන හුචක්කු ටික දිලිත්ට සෙට් වෙන නිසා ඒ්ක හරියන්නෙත් නෑ . නැතිනම් මම දැක්කා සාමාන්‍යය මිනිස්සු අතරේ දිලිත්ට තැනක් තියෙනවා ඔහු ව්‍යාවසායකයෙක් කියලා . ජාතිකවාදීන් අන්තිමට මේ විදිහට මේ මතයේ තනි වෙලා, කිසිම බලයකුත් නැතුව, පස්සේ උමන්දාවේ පිස්සු කෙලින කොට , හපුතන්ත්‍රී පිස්සු නටන කොට , ජෙරම් පිස්සු නටන කොට, ඒක්කො විග්නේෂ්වරම්ලාගේ අය පිස්සු නටන කොට, ස්වාමීන් වහන්සේලාට සිදුවෙනවා අර දේශපාලුවෝ ලගට ගිහින් පින්සෙන්ඩු වෙන්න . ඒහෙම නැතිනම් මේ නාමල් වගේ අපතයින්ට බලය දෙන්න. අපිට පුලුවන් මේකේ හූල්ල හූල්ල පෝස්ට් දම දම ඉන්න.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link