Last Updated on 2 months by admin
ඩේවිඩ් ඇන්තනි
ශ්‍රී ලංකාව ‘බ්‍රික්ස්’ (BRICS) සමුළුවේ සාමාජිකත්වය ගන්නා බව පවසමින් සිටි දේශපාලන පක්ෂයක නායකයින් වූ සහෝදර අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා හෝ සහෝදර විජිත හේරත් විදේශ කටයුතුභාර ඇමතිවරයා හෝ රුසියාවේ කසාන්හි පැවැති ‘බ්‍රික්ස්’ සමුළුවට සහභාගි නොවීම ශ්‍රී ලංකාවේ ජීවත් වන වැඩි පිරිසකට ගණන් ගතයුතු කාරණයක් නොවේ. ඊට හේතුව සමහර රට වැසියනට බ්‍රික්ස්, මරණාධාර සමිති රැස්වීමකට වඩා අඩු වැදගත්කමක් ඇති සමුළුවක් වීමයි.
මෙම නායකයින් දෙදෙනාගෙන් කාටවත් සමුළුව හමුවේ පෙනී සිටිමට තරම් ශක්තියක් නොවූ බව සමුළුව ගැන අදහස් දක්වන සමහරු කියති. ඔවුන් දෙදෙනා ප්‍රභූ සමාජයෙන් බිහිවූවන් නොවීම ඊට හේතුව විය හැකිය. ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක අගමැතිවරයාගේ මරණයෙන් පසුව විජයානන්ද දහනායක අගමැති ධුරයට පත්වූ අවස්ථාවේ පුවත්පත්වලින් පවා දහනායක සමච්චලයට ලක් වූයේ ඔහු ප්‍රභූ සමාජයේ අයෙකු නොවීම හේතුවෙනි. මේ දෙදෙනා සමුළුවට සහභාගි වීමෙන් වැළැක්වීම දෘශ්‍යමාන හේතුවට ඔබ්බෙන් වු ජාත්‍යන්තර බලපෑමක් හැටියට විශ්වාස කරන්නෝද සිටිති. බලයට පත්වු පසුව තමාට වැල්පාලමේ යන්නට සිදු වන බව සහෝදර අනුර කුමාර කී බව ඔවුහු සිහිපත් කරති.
සහෝදර විජිත හේරත් ප්‍රභූ සමාජයට රිංගීමට වෙහෙසෙන්නෙකි. ඔහු ජනාධිපති සහෝදරයාව ජනාධිපති උතුමා යනුවෙන් හැඳින්වූයේ යැයි ඊයේ (24) රාත්‍රි 10 දෙරණ ප්රවෘත්ති නැරඹූ මගේ මිතුරෙක් කීවේය. ප්‍රභූ සමාජයට ඇතුළු වීමට වෙහෙසෙන සහෝදර හේරත් බොහෝ නාගරික උගතුන්ට විනෝදය සපයන්නෙකි. විජිත ඇමතිඳුන් ඉංග්‍රීසි කතා කරන විලාසයට, ඉංග්‍රීසි කතා කරන නාගරික උගත්තු සිනාසෙති. සහෝදර විජිත අඳින මිල අධික රෙදිවලින් මැසූ ‘ෆුල් සූට්’ පවා ඔවුන්ට හාස්‍යය සපයන්නකි. ගම්මන්පිල පාස්කු වාර්තාව ලබාගත් හැටි සෙවිය යුතු යැයි ඔහු කීවිට ලංකාවේ පොල්පොට් කෙනෙකු බිහි කරන්නට බටහිරුන්ට වුවමනා වී ඇතැයි සමහරු කීහ.
යුක්රේනය සමග යුද්ධයට පැටලුන රුසියාව දණ ගැස්සීමට බටහිර රටවලට ලොකු වුවමනාවක් තිබුණි. ඒ සඳහා උපායන් යෙදූ ඔවුහු, නැටෝව හරහා ඒකාබද්ධ පෙරමුණක් වශයෙන් කටයුතු කරන්නට වන්හ. පසුගිය සතියේ කසාන්හි පැවැති බ්‍රික්ස් සමුළුව ඒ සැමට රුසියාවෙන් ලැබුණ පිළිතුරකි. සමුළුවෙන් රුසියාව ලෝකයේ තනී වී නැති බව ප්‍රකාශ වී යයි ඇමරිකානු මාධ්‍යයෝ සඳහන් කළහ.
චීනය හා ඉන්දියාව අතර පවතින දේශසිමා ප්රශ්නය සුහද අයුරින් විසඳාගැනිමට කරුණු සැලසීම මෙහි සිදුවූ එක ක්‍රියාවකි. සමුළුවේදී චීනය, ඉන්දියාව, රුසියාව සහ ඉරානය කටයුතු කළ ආකාරය බටහිරට විශේෂ පණිවිඩයක් දුන්නේය. ඊට ඉතියෝපියාව, ඊජිප්තුව ඇතුළු මැද පෙරදිග රටවල්ද එකතු විය.
බටහිර මාධ්‍යයන් කියන ආකාරයට ලංකාවේ බිහි වූයේ වාමාංශික රජයකි. සහෝදර අනුර කුමාර මාක්ස්වාදියෙකු බව රහසක් නොවේ. සහෝදර විජිත හේරත් ද මාක්ස්වාදියෙකි. වමේ ආණ්ඩුවක් හැදූ මෙම දේශපාලනඥයෝ, රුසියාව මෙහෙයවූ බ්‍රිස්ක් සමුළුවට සහභාගි නොවී රාජ්‍ය නිලධාරිනියක නියෝජිතවරිය වශයෙන් එහි යැවූහ.
කිසිවෙකුට මේ ගැන ප්‍රශ්න කළ නොහැක. ‘පාර්ලිමේන්තු ඡන්දයක් කටඋඩ තියෙද්දි අපේ නායකයො පිටරට සමුළුවලට යන්නේ කොහොමදැ’යි මාලිමාකරුවන්ගෙන් පිළිතුරු ලැබෙන හේතුවෙනි. එය හොරු අල්ලනවා, හොරකම නැතිකරනවා වැනි තවත් ප්ලැට් පිළිතුරකි. හොරකම් නොකරව කියා බයිබලයේ දසපනතේ ද සඳහන් වේ. අල්ලස් චෝදනා ලැබූ පාප්වරුත් සිටිති. ක්‍රිස්තියානි ඉතිහාසය පරිදි මනුෂ්‍ය ඉතිහාසය මෙතරම් පැරණි වුවද තවම පෘථිවියේ සොරකම පවතී.
බ්‍රිස්ක් සමුළුවට යැවීමට මාලිමා ආණ්ඩුවට සිටි හොඳම සුදුස්සා හරිනි අමරසූරිය බව සමහරුන්ගේ මතයයි. එය දින තුනක සමුළුවකි. හරිනි මැතිවරණයට කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග වදින කණ්ඩායමේ නායකයා බව ඇත්තකි. නමුත් ජවිපෙ ජයග්‍රාහී බලාපොරොත්තුව පරිදි සමුළුවට ගියත් හරිනි දිනයි. සමුළුවට හරිනිව යැවීමට ජවිපෙ පිරිසක් අකමැති වූ බව ජවිපෙ ආංචි මාර්ග පවසයි.
මාලිමා ආණ්ඩුවේ අගමැති ධුරය ලැබූ හරිනි, අමරසූරිය පෙළපතට සම්බන්ධ වලව්කාරියක බව කියවේ. මේ නිසා උපතින්ම ඉහළ සමාජයට අයත් වූ ඈ කොළඹ බිෂොප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා ඇත. බ්‍රිතාන්‍යයෙන් උසස් අධ්‍යාපන ලැබූ ඇයට ව්‍යක්ත ලෙස ඉංග්‍රීසි ලියන්නට හා කතා කරන්නට පුළුවන. ඇය ආයතනික දැනුමින්ද සපිරි කාන්තාවකි. මෙවැනි කතක ජවිපෙට සම්බන්ධ වීම ගැන සමහරුන්ට ඇත්තේ කුතුහලයකි.
ලංකාවේ බුදුසසුන දුර්වල කිරීම, රට බෙදීම හා සිංහල අජීවී භාෂාවක් කිරීම ආදි පරමාර්ථයන් රැසකින් කටයුතු කරන විජාතික බලවේගයක් ලංකාවේ ක්‍රියාත්මක වේ. ඊළාම් යුද්ධය ඔවුන්ගේ වුවමනාවකි. එයින් පරාජය වූ ඔවුන් වෙනත් ක්‍රමයකින් ජයගැනීමට වෙහෙසේ. ජවි පෙරමුණ ඊට වාහනයක් වී බව ඉහත කී මතය දරන්නන්ගේ අදහසයි. ඔවුහු සිය මතයට නිදසුනක් ලෙසින් ලාල් විජේනායක ව්‍යවස්ථා කෙටුම්පත පෙන්වා දෙති.
ලංකාව අනාගමික රාජ්‍යයක් කිරීම හා පළාත් බෙදීම මෙම ව්‍යවස්ථා කෙටුම්පතේ ප්‍රධාන අරමුණයි. ජනාධිපතිවරණයෙන් සහෝදර අනුර කුමාර දිසානායක දිනවූ සිංහල ජනතා බලවේගයට බෞද්ධ සංස්කෘතිය කැඩීමේ හා රට බෙදීමේ වුවමනාවක් ඇතැයි බුද්ධිමත්තු නොසිතති. ඔවුන් වියරු වී ජාතික ජන බලවේගය බලයට පත්කළේ රට පාලනය කිරීම සඳහා තමන් බලයට පත්කළ රාජපක්ෂවරුන් රාජ්‍ය දේපොළ හොරා කෑවේය යන අදහසින් ඇතිකරගත් කෝපයෙනි. එය ජවිපෙ උසිගැන්වීම නිසා සිදු වූවකි.
ජනාධිපති තනතුර අහෝසි කිරීම අනාගතයේ ඉදිරිපත් කිරීමට නියමිත මාලිමාවේ අලුත් ව්‍යවස්ථාවේ එක අරමුණකි. එවිට සහෝදර අනුර කුමාර දිසානායකගේ සේවා කාලය අවසන් වේ. මැතිවරණයෙන් පාර්ලිමේන්තුවේ බලය අගමැති ධුරයට පත් වන ආචාර්ය හරිනි අමරසුරිය අතට පත් වන බව විදේශයන්හි වෙසෙන මාලිමා හිතවතුන් වැඩි පිරිසකගේ අදහසයි. එවිට රට කරන්නේ ආචාර්ය හරිනි විසිනි.
බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය තවමත් ලොවේ පවතී. ලංකාව වැනි රටවල පවතින ඉංග්‍රීසි භාෂා ආධිපත්‍යය ඊට නිදසුනකි. බෙදුම්වාදය ලෝකයට හඳුන්වා දී ඇත්තේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය විසිනි. ඉන්දියාවට දෙපසින් මුස්ලිම් රටවල් දෙකක් (පකිස්ථානය හා බංගාලි දේශය) ඇති කිරීම බ්‍රිතාන්‍යෙය් හපන්කමකි. 1915 සිංහල මුස්ලිම් කෝලහාලය ලංකාවේ බ්‍රිතාන්‍ය පාලකයින්ගේ ක්‍රියාවකි. ඉරාකයේ සදාම් හුසේන්ට මෙන්ම ඇෆ්ගනිස්ථානයේ බින් ලාඩන්ට ගැහීමටත් බ්‍රිතාන්‍ය හමුදා සම්බන්ධ විය.
ආචාර්ය හරිනි මාක්ස්වාදියෙකු නොවේ. ඇය විසින් ලියූ පොතපතින් හා ඈ කරන කතාවලින් පැහැදිලි වන්නේ ඇය එංගලන්තය නමැති නිවසින් බිහි වූ නවලිබරල්වාදී කාන්තාවක බවයි. පෘතුගීසින් දෝන කතිරිනාව හැදුවේ සිංහල බෞද්ධයන්ට ආදරයට නොවේ. සමගි පෙරමුණේ නායක සජිත් ප්‍රේමදාස ද බ්‍රිතාන්‍යය විසින් හැදූ දේශපාලනඥයෙකි.මාලිමාව සමග එකට වැඩ කළ හැකි බව ඔහු යළි යළි කියයි.
හරිනිට බලය ලබා දීම යනු රට අනුරට දීමට වඩා වෙනස් දෙයකි. වැදගත්ම කාරණය ඇයට රටේ නායකත්වය ලබාදෙන්නට හදන්නේ මාලිමාවට රැවටුන සිංහල ජනතාවගේ ඡන්දයෙන්ම වීමයි.