Last Updated on 32 minutes ago by admin
නාරද කරුණාතිලක

මේ දිනවල විශාල කතාබහකට ලක්ව ඇති ‘යක්ෂ රාජ වජිරපාණී’ වස්කවිය ඇසෙන වාරයක් පාසා මට පැරණි කතාවක් සිහිපත් වේ. ඒ මගේ මිත්ර කොලට් සේනානායක මීට වසර විසිපහකට පමණ පෙර මා සමඟ පැවසූ සිද්ධියකි.
ජර්මන් ජනවංශ විද්යාඥ වොල්ෆ්ගැංග් මයි (Wolfgang Mey) සහ ඔහුගේ බිරිඳ Anna Wischkowski-Mey 1984 පමණ සිට වසර ගණනාවක් මුළුල්ලේ ශ්රී ලංකාවේ අම්බලන්ගොඩ ප්රදේශයේ ශාන්තිකර්ම, සන්නි යකුම් සහ කෝලම් සම්ප්රදායන් පිළිබඳ ක්ෂේත්ර පර්යේෂණවල නිරත වූහ.
මයි ඊට පෙර බංග්ලාදේශයේ චිතගොන්හි පර්යේෂණ කාර්යයන්හි නිරතව සිටියේය. එහිදී ලංකාව ගැන අවබෝධයක් තිබූ භික්ෂුන් වහන්සේ නමක ඔහුගේ අවධානය අපේ රට වෙත යොමු කර කොලට් ගැනද පවසා තිබේ.
මයි සිය බිරිඳ සහ ශිෂ්ය පිරිසක් සමඟ ශ්රී ලංකාවට පැමිණියේය. මමිතුරා මයිගේ පර්යේෂණ කටයුතුවලට සහාය වූයේය.
මයි සහ ඔහුගේ බිරිඳ ලංකාවේ දේශීය ශිල්පීන් සමඟ කටයුතු කළ බව සූරික් විශ්වවිද්යාලයේ ජනවංශ කෞතුකාගාර වාර්තාවල සඳහන් වේ. ඔවුන් 1984 සිට 2006 දක්වා කාලය තුළ ශ්රී ලංකාවේ කළ පර්යේෂණ ආශ්රිත වෙස්මුහුණු, ඇඳුම් සහ චාරිත්ර උපකරණ 700කට වැඩි සංඛ්යාවක් පසුව එම කෞතුකාගාරය වෙත ලැබී තිබේ.
මයිගේ ආරාධනයෙන් පසුව ජර්මනියට ගිය මා මිත්රයා බර්ලින් නුවර පිහිටි Haus der Kulturen der Welt (House of World Cultures) නම් සංස්කෘතික ආයතනයේ ඉන්දියානු සංස්කෘතික කටයුතු අංශයේ සේවය කළේය.
බර්ලින්හි ෆ්රී විශ්වවිද්යාලයේ Freie Universität Berlin ආචාර්යවරයකු වශයෙන් සේවය කළ මයි, බර්ලින් සෙනෙට් සභාවටද Senat von Berlin අපේ ශාන්තිකර්ම පිළිබඳ තොරතුරු ලබාදී නැතිවෙමින් යන මේ සම්පත ආරක්ෂා කිරීමේ වැදගත්කම පහදාදී තිබේ. අම්බලන්ගොඩ වෙස්මුණු කෞතුකාගාර ව්යාපෘතියට ආධාර ලැබුණේ ඒ අනුවය.
ජර්මනියේදී අපේ පැරණි පුස්කොළ ග්රන්ථ විශාල සංඛ්යාවක් කියවීමටත්, ශබ්ද ශාස්ත්රයේ බලපෑම් පිළිබඳ වෛද්යවරයකු සමඟ සාකච්ඡා මාලාවක් පැවැත්වීමටත් කොලට්ට අවස්ථාව ලැබී තිබේ. මෙය වෙනම විමර්ශනය කළ යුතු වැදගත් මාතෘකාවකි.
කොලට් එම අත්දැකීම් ඇසුරෙන් විස්තර කරන මූලික සංකල්පය වන්නේ විශේෂිත රටාවකට අක්ෂර සංයෝජනය කර ඒවා ශබ්ද තරංග වශයෙන් පරිසරයට මුදාහැරීමයි. එවැනි උච්චාරණ තනි පුද්ගලයකු විසින් හෝ සාමූහිකව සිදු කළ හැකි බවත්, පිරිත් සහ වේද මන්ත්ර වැනි පැරණි සම්ප්රදායන්ටද මෙවැනි ශබ්දමය පදනමක් තිබිය හැකි බවත් ඔහුගේ අදහසයි.
මෙහිදී වැදගත් ප්රශ්නයක් මතුවේ. පැරණි ශාන්තිකර්මවල ශබ්දය හා රිද්මය භාවිත කිරීම තුළ නූතන විද්යාවෙන් පැහැදිලි කළ හැකි යම් ක්රියාකාරිත්වයක් තිබුණේද?
එකම වචනවලින් සෙනෙහසත් බියත් උපදවන්නේ කෙසේද?
“මම එන්ඩද ඔතෙන්ට?”
අපහසුතාවකට පත්ව සිටින කෙනකුට උපකාර කිරීමට සූදානම් පුද්ගලයකු මේ ප්රශ්නය ඇසුවහොත් එය සෙනෙහසින් කළ විමසීමක් බව වැටහෙයි. එහෙත් කෝපයට පත් ගුරුවරයකු කලහකාරී ලෙස හැසිරෙන ළමයින් පිරිසකට එම වචනම ප්රකාශ කළහොත් එය තර්ජනයක් සේ දැනේ.
වචන එකමය. ඒවායේ අනුපිළිවෙළද එකමය. එහෙත් ඒ වචන අසන්නාට දැනෙන්නේ එකිනෙකට වෙනස් ආකාරයෙනි. මේ වෙනස ඇතිවන්නේ කෙසේද?
අප කතා කරන විට හඬේ උස් පහත් බව, ප්රබලතාව, වේගය, රිද්මය සහ විරාම වෙනස් වේ. එම වෙනස්කම් වචනවලින් ප්රකාශ වන හැඟීම කෙරෙහි බලපායි. කතා කරන පුද්ගලයා, අවස්ථාව සහ අසන්නාගේ පෙර අත්දැකීම්ද ඊට බලපායි.
භාෂා විද්යාවේදී හඬේ උස් පහත් බව, රිද්මය, අවධාරණය සහ විරාම වැනි උච්චාරණ ලක්ෂණ ‘ප්රෝසොඩි’ (Prosody) යනුවෙන් අධ්යයනය කෙරේ. කාව්යයේ ගණ, විරිත් හා මාත්රා රටා පිළිබඳ අධ්යයනය හැඳින්වීමටද එම යෙදුම භාවිත වේ. එය අපේ ඡන්දස් ශාස්ත්රයට සමීප විෂයයකි. මේ දෙඅංශයේම අවධානයට ලක්වන්නේ භාෂාවේ ශබ්දමය හා රිද්මමය සංවිධානයයි.
මිනිස් මොළය වචනවල අර්ථය පමණක් නොව, ඒවා උච්චාරණය කරන ආකාරයද හඳුනාගෙන ප්රතිචාර දක්වන බව නූතන ස්නායු විද්යාත්මක පර්යේෂණ පෙන්වා දෙයි.
එකම වචන පෙළකින් සෙනෙහස, බිය, කෝපය හෝ සැනසීම වැනි එකිනෙකට වෙනස් හැඟීම් ඇති කළ හැකි බව අපට පැහැදිලිය. එසේ නම් මිනිස් හඬේ මේ හැකියාව පැරණි පිරිත්, මන්ත්ර, සෙත්කවි සහ වස්කවි සම්ප්රදායන් සමඟ සම්බන්ධ වන්නේ කෙසේද?
අක්ෂර බැඳ පරිසරයට මුදාහැරීම
පැරණි මන්ත්ර ශාස්ත්රය ආශ්රිතව ‘අක්ෂර බන්ධනය’ නමින් හැඳින්වෙන සංකල්පයක් පිළිබඳ සඳහන් වේ. එහි නිශ්චිත ඓතිහාසික මූලාශ්ර හා භාවිතයන් තවදුරටත් විමර්ශනය කළ යුතුව තිබේ.
විශේෂිත අක්ෂර සංයෝජන නිර්මාණය කර ඒවා නියමිත ආකාරයකින් උච්චාරණය කිරීමෙන් අපේක්ෂිත ප්රතිඵලයක් ලබාගත හැකි බවට විවිධ මන්ත්ර සම්ප්රදායන්හි විශ්වාස පවතී. මෙහිදී වචනවල අර්ථය පමණක් නොව, අක්ෂර පිහිටීම, ගණ, මාත්රා, රිද්මය සහ උච්චාරණය පිළිබඳවද අවධානය යොමු කෙරේ.
පැරණි වේද සම්ප්රදායේ ‘ශික්ෂා’ නමින් උච්චාරණ ශාස්ත්රයක් තිබිණි. එහිදී ස්වරය, මාත්රාව සහ උච්චාරණ නිරවද්යතාව වැදගත් විය. වේද පාඨ පරම්පරාවෙන් පරම්පරාවට නිවැරදිව සුරක්ෂිත කිරීම එහි ප්රධාන කාර්යයක් විය.
බෞද්ධ පිරිත් සම්ප්රදායේද සජ්ඣායනයට වැදගත් ස්ථානයක් හිමි වේ. එහෙත් පිරිත්වල ආරක්ෂක හා සෙත් සැලසීමේ බලය පිළිබඳ සාම්ප්රදායික පැහැදිලි කිරීම් ශබ්ද කම්පනයට පමණක් සීමා නොවේ. සත්යක්රියාව, බුදුගුණය, මෙත්තා සහ ආගමික විශ්වාසද ඊට සම්බන්ධය.
මෙම සම්ප්රදායන් සියල්ලම එකම ශබ්ද විද්යාත්මක සිද්ධාන්තයක් මත ගොඩනැඟී ඇති බව තවම තහවුරු වී නැත. එහෙත් ඒවායේ උච්චාරණ ක්රම සහ ශබ්ද රටා සංසන්දනාත්මකව විමසීම වැදගත් පර්යේෂණ විෂයයකි.
අක්ෂර උච්චාරණය කරන විට වාතයේ පීඩන වෙනස්වීම් ඇති වී ශබ්ද තරංග ලෙස පැතිරේ. ඒවායේ සංඛ්යාතය, ප්රබලතාව සහ කාලමය රටාව මැනිය හැකිය. එහෙත් විශේෂිත අක්ෂර සංයෝජනයක් නිසා සාමාන්ය ශබ්ද ක්රියාවලිය ඉක්මවන සුවකිරීමේ හෝ හානිකිරීමේ හෝ බලයක් ජනිත වේද යන්න වෙනම පරීක්ෂා කළ යුතු ප්රශ්නයකි.
නූතන විද්යාවෙන් ලැබෙන පිළිතුරු
මේ ප්රශ්නයට පිළිතුරු සෙවීමට උපකාරී වන පර්යේෂණ කිහිපයක් තිබේ.
2001දී British Medical Journal සඟරාවේ පළ වූ Luciano Bernardi ඇතුළු පර්යේෂක පිරිසකගේ අධ්යයනයකදී ක්රිස්තියානි රෝසරි යාච්ඤාව සහ යෝග මන්ත්ර උච්චාරණය සංසන්දනය කරන ලදී.
නිරෝගී පුද්ගලයන් 23 දෙනකු සහභාගි වූ එම පර්යේෂණයේදී යාච්ඤාව සහ මන්ත්ර උච්චාරණය යන ක්රම දෙකම ශ්වසනය විනාඩියකට හය වතාවක් පමණ දක්වා මන්දගාමී කළ අතර හෘදවාහිනී පද්ධතියේ ඇතැම් රිද්මමය ක්රියාකාරකම්වල වෙනස්කම් ඇති කළේය.
මෙහි විශේෂත්වය වන්නේ ආගමික අර්ථයෙන් වෙනස් උච්චාරණ ක්රම දෙකකින් සමාන කායික ප්රතිචාර නිරීක්ෂණය වීමයි. උච්චාරණ රිද්මය සහ ශ්වසන රටාව ඊට දායක විය හැකි බව මෙයින් පෙනේ.
2020දී Health Psychology Review සඟරාවේ පළ වූ තවත් පුළුල් විශ්ලේෂණයකදී පාලිත පර්යේෂණ 104කට සහභාගි වූ පුද්ගලයන් 9,617 දෙනකුගේ දත්ත විමසන ලදී. සංගීතමය මැදිහත්වීම් මගින් මානසික ආතතිය සහ ඇතැම් කායික ආතති දර්ශක අඩු විය හැකි බවට එයින් සාක්ෂි ලැබිණි.
එහෙත් මෙම පර්යේෂණවල ප්රතිඵල නිවැරදිව තේරුම් ගත යුතුය. මන්ත්රයක් උච්චාරණය කරන පුද්ගලයාගේ ශ්වසනය වෙනස් වීම, එම හඬ අසන පුද්ගලයාගේ මානසික තත්ත්වය වෙනස් වීම සහ ශබ්ද තරංගවලින් සෘජුව ඇතිවන භෞතික බලපෑම් එකම ක්රියාවලියක් නොවේ.
එමෙන්ම මානසික ආතතිය අඩුවීම හෝ හෘදවාහිනී දර්ශක වෙනස් වීමෙන් නිශ්චිත රෝගයක් සුවවන බව ඔප්පු වන්නේද නැත.
එහෙත් රිද්මය සහ උච්චාරණය මිනිස් ශරීරයේ ඇතැම් ක්රියාකාරකම්වලට බලපෑ හැකි බව මේ පර්යේෂණ පෙන්වා දෙයි. පැරණි ශාන්තිකර්මවල ශබ්ද භාවිතය පිළිබඳ අලුතින් සිතා බැලීමට එය ප්රමාණවත් හේතුවකි.
සෙත්කවියේත් වස්කවියේත් බලය තිබෙන්නේ කොතැනද?
සෙත්කවියකින් යහපතක්ද වස්කවියකින් අයහපතක්ද සිදුවන බවට අපේ සමාජයේ පැරණි විශ්වාසයක් පවතී. සම්ප්රදායික කාව්ය ශාස්ත්රයේදී මේවායේ ගණ, විරිත්, අක්ෂර පිහිටීම් සහ උච්චාරණය පිළිබඳ විශේෂ සැලකිල්ලක් දක්වයි.
එහෙත් කාව්ය ශාස්ත්රයේ ගණය සහ භෞතික විද්යාවේ ශබ්ද සංඛ්යාතය එකම දෙයක් නොවේ. ගණයකින් අක්ෂරවල ලඝු–ගුරු පිහිටීම දැක්වෙන අතර ශබ්ද සංඛ්යාතය ‘හර්ට්ස්’ ඒකකයෙන් මනිනු ලබන භෞතික ගුණාංගයකි.
එකම කවිය පුද්ගලයන් දෙදෙනකු උච්චාරණය කළහොත් ඔවුන්ගේ හඬේ සංඛ්යාතය, ප්රබලතාව, වේගය සහ විරාම වෙනස් විය හැකිය. එහෙත් කවියේ අක්ෂර රටාව එයින් අනිවාර්යයෙන් වෙනස් වන්නේ නැත.
ඒ නිසා සුබ ගණයකින් සුවදායක සංඛ්යාතයක්ද අසුබ ගණයකින් හානිකර සංඛ්යාතයක්ද ස්වයංක්රීයව නිර්මාණය වන බව පැවසීමට විද්යාත්මක පදනමක් නැතැයි තර්ක කළ හැකිය. (ශබ්ද ශාස්ත්රයේදී, එය ඉදිරිපත් කරන පුද්ගලයා ප්රතිඵලවලට බලපාන්නේ යැයි කොලට් පැහැදිලි කළ බව මෙහිදී සඳහන් කළ යුතුය.)
එහෙත් ඒ ගණවල රිද්මමය සංවිධානය මිනිසාගේ ශ්වසනය, අවධානය සහ හැඟීම් කෙරෙහි බලපාන්නේද යන්න පරීක්ෂා කළ හැකිය. මෙහිදී වචනවල අර්ථය සහ ඒවා පිළිබඳ විශ්වාසයද වැදගත් වේ.
තමන්ට සෙත් පැතීමෙන් යහපතක් සිදුවනු ඇතැයි විශ්වාස කරන පුද්ගලයකු තුළ ඇතැම් හිතකර ප්රතිචාර ඇතිවිය හැකිය. එසේම තමන්ට වස්කවි කියා ඇතැයි දැනගෙන දැඩි බියට පත්වන පුද්ගලයකු තුළ ආතතිය සහ ඇතැම් කායික ලක්ෂණ ඇතිවිය හැකිය. නූතන මනෝවිද්යාවේ මෙවැනි සංසිද්ධි placebo සහ nocebo සංකල්ප ඇසුරෙන් විමසනු ලැබේ.
එහෙත් මෙයින් වස්කවියක් නොඇසූ, ඒ පිළිබඳ කිසිවක් නොදන්නා පුද්ගලයකුට දුර සිට අද්භූත හානියක් කළ හැකි බව තහවුරු වන්නේ නැත.
එබැවින් සෙත්කවි සහ වස්කවි පිළිබඳ විමසන විට ශබ්දයේ භෞතික ලක්ෂණ, උච්චාරණ විලාසය, වචනවල අර්ථය, විශ්වාසය සහ සම්ප්රදායික අධිභෞතික පැහැදිලි කිරීම් එකිනෙකින් වෙන්කර හඳුනාගත යුතුය.
අප මුලින් සලකා බැලූ “මම එන්ඩද ඔතෙන්ට?” යන වචන කිහිපය නැවත සිහිපත් කරමු.
එකම වචන පෙළක් සෙනෙහසින් හෝ තර්ජනාත්මකව උච්චාරණය කිරීමෙන් එකිනෙකට වෙනස් ප්රතිචාර ඇතිවිය හැකි බව අප දනිමු. ඒ වෙනස පැහැදිලි කිරීමට ශබ්දයේ අද්භූත බලයක් උපකල්පනය කිරීම අවශ්ය නැත.
එහෙත් වස්කවියක් යනු හුදු වචන පෙළක්ද? නැතහොත් අක්ෂර, රිද්මය, උච්චාරණය සහ විශ්වාසය එකට බැඳුණු සංකීර්ණ නිර්මාණයක්ද?
පැරණි ශාස්ත්රවල ඒ පිළිබඳ ඉදිරිපත් කර ඇති පැහැදිලි කිරීම් මොනවාද? නූතන විද්යාවට ඒවායින් පරීක්ෂා කළ හැක්කේ මොනවාද?
මෑතක ප්රචාරය වූ ‘යක්ෂ රාජ වජිරපාණී’ වස්කවිය පිළිබඳවද අප විමසිය යුත්තේ මේ පසුබිම තුළය. එහි අක්ෂර බන්ධනය, ගණ, විරිත් සහ සාම්ප්රදායික රචනා නීති පිළිබඳ විමර්ශනයකට වෙනත් ලිපියකින් පිවිසෙමු.
නාරද කරුණාතිලක
ප්රධාන පර්යේෂණ මූලාශ්ර
- Wolfgang Mey, “Mask Performances, the Yaktovil and the Sanni Yakuma.” Asian Traditional Theatre & Dance, University of the Arts Helsinki.
- Ethnographic Museum, University of Zurich — Mask Dances: Sri Lanka. වොල්ෆ්ගැංග් මයි සහ Anna Wischkowski-Meyගේ ශ්රී ලාංකික පර්යේෂණ පිළිබඳ නිල තොරතුරු.
- Haus der Kulturen der Welt, Berlin — ආයතනයේ නිල වෙබ් අඩවිය සහ ඓතිහාසික වැඩසටහන් ලේඛනාගාරය.
- Bernardi, L., et al. (2001), “Effect of rosary prayer and yoga mantras on autonomic cardiovascular rhythms: Comparative study.” British Medical Journal, 323, 1446–1449.
- de Witte, M., et al. (2020), “Effects of music interventions on stress-related outcomes: A systematic review and two meta-analyses.” Health Psychology Review, 14(2), 294–324.
