අනුර යන්නෙ කොයි පාරේ?

Last Updated on 6 months by admin

ලංකා කොමියුනිස්ට් පක්ෂයෙන් ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයට සැපයූ කේලාම් බලයෙන් රුසියාවේ ඉගෙනුම ලබමින් සිටි විජේවීරගේ ශිෂ්‍යත්වය අහිමි විය. රටත් ගමත් දෙකම නැතිවූ විජේවීර චීන කොමියුනිස්ට් පක්ෂ කාර්යාලය නවාතැන කරගත්තේය. චීන කණ්ඩායමේ නායකත්වය දරමින් සිටි ෂන්මුගදාසන් අසරණ වූ විජේවීරගෙන් හොඳ සීරුවට ප‍්‍රයෝජන ගත්තේය. විජේවීර, ෂන්ගෙන් ගැළවුනේ යාපනේ පැවැති සම්මේලනයෙන් පසුවය. ෂන්, තමන් හිතාගෙන සිටි අන්දමේ විප්ලවවාදියෙකු නොවන බව ඊට සහභාගි වීමට යාපනයට ගිය සහෝදරවරුන් කිහිප දෙනෙකුටම වැටුහුණි.

මෙම පිරිස විජේවීර සමග ජනතා විමුක්ති පෙරමුණ පිහිටුවීමට මූලික වූහ. ජවිපෙ තනිකරම විප්ලවාදී කොමියුනිස්ට් පක්ෂයක් වූයේය. ඔවුන්ගේ අදහස් ගම් නියම්ගම්වලට ගියේ ‘පන්ති පහ’ මාර්ගයෙනි. බොහෝ විට පන්ති පැවැත්වූයේ පන්සල්වලයි.

පන්තිවලට සහභාගිවූවන්ගේ දේශපාලන දැනුම වැඩි විය. ඉන්දියානු ව්‍යාප්තවාදය තුන් වැනි පංතියයි. මෙසේ පංතිවලට සහභාගි වන සහෝදරුවරුන් කඳවුරුවලට කැඳවා විප්ලවවාදී දැනුම ලබා දුනි. විජේවීර, සනත්, පේ‍්‍රමපාල වැනි සහෝදරවරු මුල් කාලයේ කඳවුරුවල දැනුම සැපයූ න්‍යායවාදීයෝ වූහ.

ඒ ජවිපෙ දැන නැත. එය ජාතික ජන බලවේගය නමින් අලූත් සන්නාමයක් හදාගෙන තිබේ. මෙම කණ්ඩායමේ නායක අනුර දිසානායක ඉන්දියානු විදේශ ඇමතිවරයාගේ ආරාධනාව මත ඉන්දියාවට ගියේය. ඔහු රතු ටයිපටියක් සහිත සම්පූර්ණ යුරෝපා ඇඳුමෙනුත් (ෆුල් සූට්) ඉන්දිය විදේශ ඇමතිවරයා ඉන්දියාවට ආවේණික ඇඳුමකිනුත් සැරසී සාකච්ඡා කරන හැටි ඒ ගමන පිළිබඳව මාධ්‍යවල පළ වන ඡායාරූපවල දක්නට ලැබේ.

ඉන්දියාව ලෝකයේ බලවත්ම ආර්ථිකය බවට පත් කිරීමට මෝදි සැරසේ. ඔහු හින්දු අධිරාජ්‍යයක් ගොඩනංවන බව අවට රටවල ඉස්ලාම් රටවලින් ප‍්‍රකාශ වේ. මෙය විජේවීර ඉන්දියානු ව්‍යාප්තවාදය පැහැදිලි කරමින් කී අනාවැකි සැබෑවීමකි. එහෙත්, ජවිපෙ ඉන්දියාවේ අතකොළුවක් වනු ඇතැයි ඔහු නොසිතුවේය.

මාල දිවයින්හි දේශපාලන බලය ඉන්දියාවෙන් ගිලිහී යාම මේ අතර සිදු වූ සිද්ධියකි. චීන හිතවාදියෙකු සේ සැලකෙන මොයිසු යළි යළි ප‍්‍රකාශ කරන්නේ කුඩා රටක් වන නමුත් මාල දිවයිනට ආත්ම ගෞරවයක් ඇති බවයි. ඔහු පැවැත්වූ රාජාසන කතාව මාල දිවයිනේ ප‍්‍රධාන විරුද්ධ පක්ෂ දෙකක් විසින් වර්ජනය කිරීම පසුපස ඉන්දියාවේ අතපෙවීම පෙනේ. මාල දිවයින් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ නායකයා පවසන පරිදි, මාල දිවයින හා ඉන්දියාව අතර විරසකයක් ඇති කිරීම ගැන මොයිසු ඉන්දියාවෙන් සමාව අයැදිය යුතුයි. මෙම පක්ෂ නායකයා ඉන්දියානු හමුදාව මාල දිවයිනට ගෙන්වා ගත්තේය.

ඉන්දියානු ව්‍යාප්තවාදය ගැන කී විජේවීර මරණයට පත් වූ සැටි තවම අබිරහසකි. එජාප ප‍්‍රබලයකු වූ සිරිසේන කුරේගේ පිහිටෙන් ඉන්දියාවට පලාගිය සෝමවංශ අමරසිංහ හැර ඉන්දියානු ව්‍යාප්තවාදය ගැන කතා කළ සියලූ ජවිපෙ නායකයින් මරුවා සමග ගොසිනි.

ජාතික ජන බලවේගය, ඉන්දියානු ව්‍යාප්තිවාදය වමනෙ කර හලා දමා තිබේ. එහි නායකයින් රතු ටයිපටි පළඳින්නේ, මාක්ස්වාදයට රැවටී රැලේ එන සහෝදර සහෝදරියන් රැවටීමටයි. රනිල් අඳින ෆුල් සූට් එකෙන් සැරසී යාමෙන් පෙන්වන්නේ බටහිරට දක්වන ගැතිකමයි. සැකෙවින් කියන්නේ නම්, ජාතික ජන බලවේගය, බටහිරට පක්ෂ, ඉන්දියානු හිතවාදී මගක යමින් ඔවුන්ගේ උපකාරයෙන් බලයට එන්නට උත්සාහ දරයි.

1 thought on “අනුර යන්නෙ කොයි පාරේ?”

  1. සඳුන් ජයසිංහ

    ජාතික ජන බලවේගයේ මැතිවරණ ජයග්‍රහණ හරහා ඉන්දු-ඇමෙරිකා රහස් එකඟතා මුදුන්පත් වීම් නිසැකවම සිදුවනු ඇත.. එසේම හමුදා/ අර්ධ හමුදා පාලන තන්ත්‍රයක් බිහිවීමේ අවදානමක් පවතියි..

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link