යුක්රේන වැසියාගේ ලියුම

Last Updated on 6 months by admin

යුක්‍රේන වැසියෙකු ලියන විදිහට ලිපියක් ලියා රුසියානු ජනාධිපතිතුමා බයට පත්කර වහාම යුද්ධය නවත්තන්න යැයි මහතුන් මට කීවේය. එහෙයින් මම ඒ ලිපිය ලියමි. (මේ ලිපියේ වරදක්, අවුලක් තිබේ නම් ඊට මාව අල්ලා නොගන්නා ලෙසද ඊට සම්පූර්ණයෙන්ම වගකිව යුත්තේ මහතුන් බවද සඳහන් කරමි. සියලු හිමිකම් ඇවිරිණි)

“මම යුක්‍රේන වැසියෙක්මි.
පුටින් ජනාධිපති වෙත හිටන් ලියමි.
වහාම යුද්ධය නතර කරනු!
මම සැර මිනිහෙක්මි.

රුපියල් පණහක් හැටක් පමණ වන ආප්පයක් පවා රුපියල් ලක්ෂ දහයක් පහළොවක් පමණ වටිනා තාප්පයක් කිරීමට තරම් කළමනාකරණ ශක්තියක් මට ඇත. එහෙයින් වහාම යුද්ධය නතර කරනු!

අපේ ගෙදර සිදුවෙන දේ පවා මා දැනගන්නේ පත්තරෙනි. පත්තර කියැවීමෙන් මිනිසා සම්පූර්ණ වේ! ඒ අනුව මොකා මොනවා කීවත් මා සම්පූර්ණ මිනිහෙකි. වහාම යුද්ධය නතර කරනු!

තමන්ට එරෙහිව නැගී සිටින අපේක්ෂකයා තමන් ළඟ ම සිටින තමන්ගේ ම කෙනෙක් බවට හිතාගත නොහැකි වන සේ නොපෙනී සිටීමේ කුන්ඩලිනී ශක්තියක් මට තිබේ. වහාම යුද්ධය නවත්තනු!

මතක තබා ගනු, ‘රුසියාවට වඩා ඉරිසියාව ලොකුය’
මම යුක්‍රේන වැසියෙක්මි. වහාම යුද්ධය නවත්තනු!”

ඒ ලිපිය කියැවූ කුහක මහතුන්, “තමුසෙට පිස්සුද ඕයි!” කියමින් ලිපිය ඉරා වීසිකර ඉස්කෝලේ මහත්තයාලගේ ගෙවල් පැත්තට ගියේ කබලෙන් ලිපට වැටුණු ගාණටය.

“මහතුන්, උඹ කුදගහගනින්” කියූ මම මල්ලිකා ගැන සිතන්නට පටන් ගතිමි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link