Last Updated on 6 hours ago by admin
කාවන්තිස්ස ඇත්රජුගේ මරණයෙන් සිහිපත් වූ අතීත කතාවක්
නාරද කරුණාතිලක

කාවන්තිස්ස ඇත් රජුගේ මරණය පිළිබඳ පුවත ඇසූ විගස මගේ මතකය වසර ගණනාවක් ඈතට දිව ගියේය. අලියකුගේ මරණයක් හෝ අලි ඇතුන්ට සිදුවන කරදර හිරිහැර පිළිබඳ පුවතක් හෝ අසන දකින වාරයක් පාසා මට සිහිපත් වන විශේෂ අවස්ථා දෙකක් තිබේ.
ඒ, අලි ඇතුන් විසින් රටේ ජනාධිපතිවරයාට ඉදිරිපත් කිරීම සඳහා සම්පාදනය කරවන ලද සන්දේශයක්, එම ජනාධිපතිවරයාටම දෙවරක් පිළිගන්වා, අලින්ගේ ඉල්ලීම් ඉටුකර දීමට මා ගත් උත්සාහය පිළිබඳ කතාවයි.
මීට වසර ගණනාවකට පෙර එස්. ගොඩගේ සහ සහෝදරයෝ ප්රකාශන ආයතනය සංවිධානය කළ, ලේඛක ලේඛිකාවන් සිය දෙනකුගේ පොත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පිළිගැන්වීමේ උත්සවයක් අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. එවකට ඇමරිකාවේ ජීවත් වූ, අද අප අතර නැති ඥානා මුතුනායක මහත්මිය රචනා කළ ‘පවන් සහ මායා’ කෘතිය එහිදී ජනාධිපතිවරයාට පිළිගැන්වූයේ මාය. එම කෘතියේ සම්බන්ධීකරණ කටයුතු කළේද මාය.
පවන් සහ මායා කෘතියේ කතානායිකාව මායා නම් දොළොස් හැවිරිදි දැරියකි. ඇමරිකාවේ ජීවත් වන ඇය පාසල් ව්යාපෘතියක් සඳහා වඳවීමේ තර්ජනයට ලක්ව සිටින සතුන් පිළිබඳ තොරතුරු රැස් කරමින් සිටින්නීය. ශ්රී ලංකාවට පැමිණෙන මායාට එක් රාත්රියක පවන් නම් අලියකු හමුවෙයි. ඔහු ඇය වනාන්තරයේ ජීවත්වන තම අලි රංචුව හමුවට කැඳවාගෙන යයි.
එහිදී අලි ඇත්තු මායා සමඟ දීර්ඝ සංවාදයක යෙදෙති. වනාන්තර විනාශ කිරීම, අලිමංකඩ අවහිර කිරීම, අලි ඇතුන්ට වෙඩි තැබීම, අලි පැටවුන් අල්ලාගෙන යාම සහ සත්වෝද්යානවල සිරකර තැබීම ආදී මිනිස් ක්රියාකාරකම් නිසා තමන්ට මුහුණපෑමට සිදුව ඇති ගැටලු ඔවුහු විස්තර කරති. මේ සංවාදයේදී ශ්රී ලංකාවේ ඉතිහාසය, දේශපාලනය සහ සමාජ ආකල්ප පිළිබඳ විවේචනාත්මක අදහස්ද මතුවෙයි.
අලි රංචුව සිය දුක්ගැනවිලි කියා නවතින්නේ නැත. ඒවාට විසඳුම්ද යෝජනා කරයි. අනතුරුව තමන්ගේ යෝජනා ඇතුළත් සන්දේශයක් ශ්රී ලංකාවේ ජනාධිපතිවරයාට ඉදිරිපත් කරන ලෙස මායාගෙන් ඉල්ලා සිටියි.
එහෙත් ජනාධිපතිවරයාට සන්දේශයක් යැවීමෙන් ප්රයෝජනයක් වේදැයි ඇතැම් අලි සැක පළ කරති. මැති ඇමතිවරුන් උනන්දු වන්නේ ඡන්දදායකයන් ගැන මිස වන සතුන් ගැන නොවන බව සංවාදයේදී කියැවෙයි.
මේ සංවාදයේදී මාතංගි නම් ඇතින්න මෙසේ කියන්නීය.
“ඒක හරියටම හරි, රණා. අපි ඡන්දදායකයෝ නෙවෙයි!”
ළමා කතාවක එන මේ කෙටි ප්රකාශය තුළ සියුම් දේශපාලන උපහාසයක් ගැබ්ව තිබේ.
කතාවේ තවත් තැනක අලි රංචුව එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ ගැන කතා කරයි. ජනාධිපතිවරයා රට සංවර්ධනය කිරීම සඳහා ‘මහින්ද චින්තනය’ නමින් වැඩපිළිවෙළක් ඉදිරිපත් කර තිබෙන බව කළු පවසයි.
එවිට මාතංගි සිය නොසතුට පළ කරන්නීය.
“මටත් ඒ ගැන ආරංචි වුණා. මහින්ද චින්තනය කියන්නේ මොකක්ද කියලා දැනගන්න මටත් ඕනෑ වුණා. ඊට පස්සේ ජනාධිපතිවරයා අපේ අලි පැටවකු චීනයට තෑගි කළ බව මට ආරංචි වෙලා මට එයා ගැන කලකිරීමක් ඇති වුණා.”
ඇය එතැනින් නවතින්නේ නැත.
“මම තරුණ කාලේ මේ රටේ සිරිමා බණ්ඩාරනායක කියලා අගමැතිවරියක් හිටියා. එතුමියත් ඒ දේම කළා. ඉරානයේ ෂා රජුට අලියකු තෑගි කළා. දැන් ඉන්න ජනාධිපතිවරයා අලි පැටවකු චීනයට තෑගි කරලා. ඇයි අපේ දරුවන් විදේශිකයන්ට තෑගි කරන්න හදන්නේ? අපටත් අපේ දරුවන් ගැන සෙනෙහසක් තියෙන බව ඔවුන් දන්නේ නැද්ද?”
මේ සංවාදයේ සාහිත්යමය විශේෂත්වයක් තිබේ. එනම්, මිනිසුන් රාජ්යතාන්ත්රික සුහදතාව පළකිරීමක් ලෙස සලකන සත්ත්ව පරිත්යාගයක් අලියකුගේ දෘෂ්ටිකෝණයෙන් විමසා බැලීමයි. රාජ්ය නායකයකුට අලි පැටවකු වෙනත් රටකට පරිත්යාග කිරීම රාජ්යතාන්ත්රික කටයුත්තක් විය හැකිය. එහෙත් අලි රංචුවකට එය තමන්ගේ දරුවකු අහිමි වීමකි.
පවන් සහ මායා කෘතිය ජනාධිපතිවරයාට පිළිගැන්වූ මම, මෙය මා ලියූ පොතක් නොවන බවත්, එහෙත් ඔහු වෙත ඉදිරිපත් කරන සන්දේශයක් කෘතියේ ඇතුළත් නිසා පිරිනැමීම සුදුසු යැයි සිතූ බවත් පැවසුවෙමි.
අනතුරුව පොතේ ඔහුගේ නම සඳහන් ස්ථානය පෙරළුවෙමි. එම පිටුව පහසුවෙන් සොයාගත හැකි වන පරිදි මා කලින්ම කඩදාසි කැබැල්ලක් දමා සලකුණු කරගෙන සිටියෙමි.
මාතංගි අලි පැටවකු චීනයට තෑගි කිරීමට විරෝධය පළ කරන කොටසට ඇඟිල්ල තබා එය කියවන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියෙමි.
ජනාධිපතිවරයා එම කොටස මඳක් කියවා විමතියට පත්විය. ඔහුගේ දෑස් බැමි ඉහළ ගියේය. අනතුරුව මගේ කරට අතක් දමාගෙන මඳක් එහා මෙහා ඇවිදිමින් ඔහු ඒ පිළිබඳව කරුණු පැහැදිලි කරන්නට විය.
අලි පැටවා චීනයට පරිත්යාග කළේ තමන්ගේ වුවමනාවට නොවන බවත්, හිටපු ජනාධිපතිනි චන්ද්රිකා කුමාරතුංග මහත්මිය ලබාදී තිබූ පොරොන්දුවක් අනුව එය සිදුකළ බවත් ඔහු කීවේය. පසුව විදේශ රටවලට යවන ලද ශ්රී ලංකාවේ අලි ඇතුන් පාරිසරික වෙනස්කම් නිසා දුක්විඳින ආකාරය ගැනද ඔහු විස්තර කළේය.
මගේ අරමුණ වූයේ අලි පැටවා චීනයට පරිත්යාග කළේ කාගේ වුවමනාවට දැයි විමසීම නොවේ. පොතේ සඳහන් අලි ඇතුන්ගේ ඉල්ලීම් පිළිබඳව ජනාධිපතිවරයාගේ අවධානය යොමු කිරීමය.
මම එහි සඳහන් යෝජනා පිළිබඳවද ඔහුට පැහැදිලි කර ඒවා ක්රියාත්මක කරන ලෙස ඉල්ලා සිටියෙමි. ජනාධිපතිවරයා පොත තම කාර්ය මණ්ඩලයේ අයකුට භාර දුන්නේය.
ඉන්පසු එම පොත සම්බන්ධයෙන් කුමක් සිදුවූයේ දැයි මම නොදනිමි. ඉල්ලීමේ ප්රතිඵලයක් මට දැකගත නොහැකි විය.
වසරකට පමණ පසු තවත් පොත් පිරිනැමීමේ අවස්ථාවකදී මම නැවතත් පවන් සහ මායා පොත මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට පිරිනැමුවෙමි. එවරද අලින්ගේ සන්දේශය ගැන පැහැදිලි කළෙමි. එම උත්සාහයෙන්ද ලැබුණු ප්රතිඵලයක් මට දැනගැනීමට නොලැබිණි.
මෙහි ඇති අපූර්වත්වය වන්නේ කෘතියේ කල්පිත අලි රංචුව සැබෑ ලෝකයේ ජනාධිපතිවරයකු වෙත යැවීමට සැලසුම් කළ සන්දේශය, ඔහුගේ අතටම පත්වීමයි. එහෙත් එයින් පසුවද ඉතිරි වූයේ එම සන්දේශයේ ඉල්ලීම්වලට ලැබුණු ප්රායෝගික ප්රතිචාරය පිළිබඳ ප්රශ්නයයි.
අලින්ගේ සන්දේශයේ තිබුණේ මොනවාද?
පවන් සහ මායා කෘතියේ අලි රංචුව වෙනුවෙන් මායා සකස් කරන සන්දේශයේ යෝජනා හතක් ඇතුළත්ය.
පළමුවැන්න ජාත්යන්තර අලි දිනයක් ප්රකාශයට පත් කිරීමයි.
දෙවැන්න එම දිනය ආරම්භ කිරීම නිමිත්තෙන් පනාමුරේ ඇත් රජු සිහිපත් කරන සමරු මුද්දරයක් නිකුත් කිරීමයි.
තුන්වැනි යෝජනාව ශ්රී ලංකාවේ සියලු පාසල්වල නිල ලාංඡනය ලෙස අලියා නම් කිරීමය.
සිව්වැනි යෝජනාව වඩාත් පුළුල් එකකි. හේන් වගාව සඳහා වනාන්තර එළිපෙහෙළි කිරීම, වනබිම්වල වගා කිරීම සහ වනාන්තර තුළ ගොඩනැඟිලි ඉදිකිරීම තහනම් කරන නීති පැනවීමත්, වනාන්තර රක්ෂිත ලෙස ප්රකාශයට පත්කර අලි ඇතුන් සඳහා අභයභූමි ඇති කිරීමත් එයින් ඉල්ලා සිටියි.
පස්වැනි යෝජනාව අලි ඇතුන් ඝාතනය කරන පුද්ගලයන්ට එරෙහිව දැඩි නීති පැනවීමයි.
හයවැනි යෝජනාව රජයේ පාසල්වල සිසුන්ට අලි ඇතුන් පිළිබඳ දැනුම ලබාදීම සඳහා අධ්යාපන පාඨමාලාවක් ආරම්භ කිරීමයි.
අවසාන යෝජනාව විශේෂයෙන් සැලකිය යුතුය. ජනාධිපතිවරයා ඇතුළු කිසිදු පුද්ගලයකුට අලියකු විදේශයකට අපනයනය කිරීමට නොහැකි වන පරිදි නීතියක් පැනවීම එයින් ඉල්ලා සිටියි.
මේ යෝජනා අද නැවත කියවන විට සිත්ගන්නා කරුණු කිහිපයක් හමුවෙයි.
මගේ මතකය අනුව පවන් සහ මායා සිංහල කෘතිය පළවූයේ 2008දී හෝ 2009දීය. එහි අලින්ගේ පළමු ඉල්ලීම වූයේ ජාත්යන්තර අලි දිනයක් ප්රකාශයට පත් කිරීමය.
කැනේඩියානු චිත්රපට නිර්මාණකාරියක වන පැට්රීෂියා සිම්ස් සහ තායිලන්තයේ Elephant Reintroduction Foundation ආයතනයේ මූලිකත්වයෙන් 2012 අගෝස්තු 12 වැනිදා ප්රථම ලෝක අලි දිනය පැවැත්විණි. එම වැඩපිළිවෙළ සකස් කිරීමට 2011දී මූලික කටයුතු ආරම්භ කර තිබිණි.
ජාත්යන්තර අලි දිනය ප්රකාශයට පත් වන්නට පෙර එවැනි යෝජනාවක් සිංහල සාහිත්ය කෘතියක ඇතුළත් වී තිබීම සිත්ගන්නාසුලුය.
අලින්ගේ සන්දේශයේ ඇතැම් යෝජනා සංකේතාත්මකය. ඇතැම් යෝජනා සෘජුවම අලි සංරක්ෂණය පිළිබඳවය. ඒවා සියල්ල අද පවතින විද්යාත්මක දැනුම අනුව එලෙසම ක්රියාත්මක කළ යුතු බවක් මෙයින් අදහස් නොවේ. විශේෂයෙන් වනාන්තර භාවිතය පිළිබඳ යෝජනා විමසීමේදී ගොවි ජනතාවගේ ජීවනෝපායද සැලකිල්ලට ගත යුතුය.
එහෙත් මේ සන්දේශයේ මූලික ඉල්ලීම අදටත් වැදගත්ය.
අලි ඇතුන්ට තමන්ගේ ස්වාභාවික වාසස්ථානවල ජීවත්වීමට ඇති අවස්ථාව අප කොතරම් දුරට ආරක්ෂා කර තිබේද?
කෘතිය ලිවීමට බලපෑ අලි ඇතුන්ගේ ඉරණම
ඥානා මුතුනායක මහත්මිය පවන් සහ මායා රචනා කිරීමට බලපෑ හේතු කිහිපයක් මා සමඟ පැවසුවාය. ඒ අතර ප්රධාන වූයේ ශ්රී ලංකාවෙන් විදේශ රටවලට පරිත්යාග කළ අලි ඇතුන්ගේ ඉරණම පිළිබඳ ඇගේ කනස්සල්ලයි. විශේෂයෙන් පකිස්ථානයට යැවූ කාවන් ඇතා සහ ඇමරිකාවට පරිත්යාග කළ ජයතු අලි පැටවා පිළිබඳ සිදුවීම් ඇයට බලපා තිබිණි.
කාවන් ඇතා 1985දී ජේ. ආර්. ජයවර්ධන පාලන සමයේ ශ්රී ලංකාවෙන් පකිස්ථානයට පරිත්යාග කරන ලද්දේය. ඉස්ලාමාබාද් සත්වෝද්යානයේ ඔහු ගතකළ ජීවිතය පසුකාලයක ජාත්යන්තර අවධානයට ලක්විය. ඇමරිකානු ගායිකා චේර් ඇතුළු සත්ත්ව සුබසාධන ක්රියාකාරීන් කාවන් නිදහස් කරගැනීමේ ව්යාපාරයට සම්බන්ධ වූහ. 2020දී ඉස්ලාමාබාද් මහාධිකරණයේ තීන්දුවකින් පසු ඔහු කාම්බෝජයේ අභයභූමියකට ගෙන යනු ලැබීය.
කාවන් නිදහස් කිරීමේ සිදුවීම් සියල්ල වූයේ පවන් සහ මායා රචනා කිරීමෙන් වසර ගණනාවකට පසුවය. එහෙත් ඔහු පකිස්ථානයට පරිත්යාග කිරීමත්, විදේශ රටවල සත්වෝද්යානවල රඳවා සිටින අලි ඇතුන්ගේ ඉරණමත් පිළිබඳ කතුවරිය තුළ කනස්සල්ලක් පැවතියේ ඊට බොහෝ කලකට පෙරය.
ඇය මා සමඟ සඳහන් කළ තවත් සිද්ධියක් වූයේ ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා 1984දී ඇමරිකානු ජනාධිපති රොනල්ඩ් රේගන්ට පරිත්යාග කළ ජයතු නම් අලි පැටවාගේ මරණයයි.
1984 ජූනි මාසයේදී ධවල මන්දිරයේදී පරිත්යාග කළ ජයතු, එම වසරේ අගෝස්තු මාසයේදී ඇමරිකාවේ ජාතික සත්වෝද්යානයේදී මිය ගියාය. ඒ වන විට මාස තුනක්වත් ගතවී නොතිබිණි.
රාජ්යතාන්ත්රික සුහදතාව පළකිරීම සඳහා සිදුකළ පරිත්යාගයක අවසානය එසේ විය.
විදේශ රටවලට ගෙන ගිය තවත් අලි ඇතුන්ගේ තත්ත්වයන් පිළිබඳවද ඥානා මුතුනායක මහත්මිය උනන්දුවක් දැක්වූවාය. එම සිදුවීම් සම්බන්ධයෙන් ඇය දැක්වූ සංවේදීතාව පවන් සහ මායා කෘතියේ අලි රංචුවේ සංවාද තුළ හඳුනාගත හැකිය.
මාතංගි විමසන ප්රශ්නය එහි සාරයයි.
“අපටත් අපේ දරුවන් ගැන සෙනෙහසක් තියෙන බව ඔවුන් දන්නේ නැද්ද?”
මෙම ප්රශ්නයට පසුකාලීනව තවත් සිද්ධියක් එකතු විය.
තායිලන්තයෙන් ශ්රී ලංකාවට පරිත්යාග කළ මුතු රාජා හෙවත් සක් සුරින් ඇතා 2023දී නැවත තායිලන්තයට රැගෙන යනු ලැබීය. ඒ, ශ්රී ලංකාවේදී ඔහුට සිදුවූ බවට චෝදනා එල්ල වූ නොසලකා හැරීම් සහ ඔහුගේ සෞඛ්ය තත්ත්වය පිළිබඳව තායිලන්ත බලධාරීන් මැදිහත් වීමෙන් පසුවය.
මේ සිද්ධිය පවන් සහ මායා ලිවීමට බලපෑ හේතුවක් නොවේ. එහෙත් කතුවරිය එදා සාහිත්යය තුළින් මතු කළ ප්රශ්නයට පසුකාලයක ලැබුණු තවත් සැබෑ නිදසුනකි.
අලියාට හිමි ගෞරවය සහ සැබෑ ආරක්ෂාව
ශ්රී ලංකාවේ අලියා අපේ සංස්කෘතියේ විශේෂ ස්ථානයක් හිමිකරගෙන සිටියි. ආගමික උත්සව, ජනකතා, කාව්ය, චිත්ර හා මූර්ති කලාව තුළ අලියාට හිමිවන්නේ ගෞරවනීය තැනකි. සංචාරක ප්රචාරණයේදීද අලියා රටේ සුවිශේෂී සම්පතක් ලෙස හඳුන්වයි.
එහෙත් එවැනි සංස්කෘතික ගෞරවයක් තිබියදීත් රටේ ජීවත්වන සැබෑ අලියාට ප්රමාණවත් ආරක්ෂාවක් නොලැබීම කනගාටුදායකය.
පෙරහැරවල අලි ඇතුන් යොදාගැනීමේදී සිදුවන සත්ත්ව හිංසනය පිළිබඳව සාකච්ඡා කෙරෙයි. එහෙත් වනාන්තරවල ජීවත්වන අලි ඇතුන්ට සිදුවන ඝාතන, වෙඩි තැබීම් සහ වෙනත් හිංසන පිළිබඳවද ප්රමාණවත් අවධානයක් යොමු විය යුතුය.
අලි ඇතුන් ආකර්ෂණයක් ලෙස යොදාගන්නා සංචාරක ව්යාපාරයෙන් උපයන ආදායමෙන් කොපමණ ප්රමාණයක් ඔවුන්ගේ සංරක්ෂණය හා සුබසාධනය සඳහා වැය කෙරේද යන්නත් විමසා බැලීම වැදගත්ය.
අනෙක් අතට, අලි–මිනිස් ගැටුමේදී මිනිසුන්ට සිදුවන හානියද අමතක කළ නොහැකිය. අලි ප්රහාරවලින් මිනිසුන් මියයති. ගොවිබිම් විනාශ වෙයි. නිවාස හා දේපළ හානි සිදුවෙයි. වන අලි ජීවත්වන ප්රදේශවල ගොවි ජනතාවට මේ ගැටලුවේ බරපතළ ප්රතිවිපාක විඳීමට සිදුව තිබේ.
එබැවින් අලින්ගේ පැවැත්ම සහ මිනිසුන්ගේ ආරක්ෂාව එකිනෙකට පටහැනි අරමුණු දෙකක් ලෙස සැලකීමෙන් ප්රශ්නය විසඳිය නොහැකිය.
කාවන්තිස්ස ඇතාගේ මරණයත් සමඟ ඔහුට ලබාදුන් පශුවෛද්ය ප්රතිකාර පිළිබඳවද සමාජ මාධ්ය ඔස්සේ චෝදනාවක් මතුව තිබේ. නිර්වින්දන ඖෂධ අධිමාත්රාවක් ලබාදීම මරණයට හේතු වූ බවට එල්ල වන එම චෝදනාව මෙතෙක් තහවුරු වී නැත. මරණයට නිශ්චිත හේතුව තීරණය කළ යුත්තේ ප්රතිකාර වාර්තා, පශ්චාත් මරණ පරීක්ෂණය සහ අවශ්ය අනෙකුත් විද්යාත්මක සාක්ෂි අනුවය.
කාවන්තිස්සගේ මරණය හමුවේ මට පවන් සහ මායා කෘතියේ අලි රංචුව යළි යළිත් සිහිවේ.
ඔවුහු තමන්ගේ පැවැත්මට එල්ල වී ඇති තර්ජනවලින් මිදීම සඳහා ජනාධිපතිවරයාට සන්දේශයක් යැවීමට සූදානම් වූහ. එහෙත් තමන්ගේ ඉල්ලීම් ගැන පාලකයන් සැලකිලිමත් වේදැයි ඔවුහු සැක කළහ.
මම, කෘතියේ කල්පිත සංවාදයක් ලෙස ලියැවුණු ඒ සන්දේශය සැබෑ ජනාධිපතිවරයකු අතට දෙවරක්ම පත්කළෙමි.
එයින් වසර ගණනාවක් ගතවී තිබේ. ජනාධිපතිවරුන් හා ආණ්ඩු වෙනස් වී ඇත. අලි සංරක්ෂණය වෙනුවෙන් නීති, ප්රතිපත්ති හා වැඩසටහන්ද ඉදිරිපත් වී තිබේ. එහෙත් අලින්ගේ ඉල්ලීම්වලට පදනම් වූ ගැටලු අදත් අප ඉදිරියේ තිබේ.
වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද අලි–මිනිස් ගැටුමට කෙටිකාලීන, මධ්යකාලීන හා දීර්ඝකාලීන විසඳුම් අවශ්ය බව අවධාරණය කර දැන් වසර 2ක් ගතවී තිබේ.
මේ අතර කාවන්තිස්ස ඇත් රජුද මියගොසිනි.
අලි ඇතුන්ට ආගමික හා සංස්කෘතික ගෞරවය පුදන, ඔවුන් රටේ සුවිශේෂී සම්පතක් ලෙස ලෝකයට හඳුන්වා දෙන අපට, වනයේ ජීවත්වන සැබෑ අලි ඇතුන්ගේ ආරක්ෂාව තවමත් බරපතළ ගැටලුවක් වී තිබේ.
මෙවන් තවත් රටක් ලෝකයේ තිබෙනවා දැයි නොදනිමි.
(ඡායාරූපය අන්තර්ජාලයෙනි)
