ජවිපෙ, ඇමරිකන් කොමියුනිස්ට්වාදය හා ඉස්ලාම් අන්තවාදය

Last Updated on 8 months by admin

ඉන්දියාව, මාලදිවයිනේ බලය පතුරුවාගෙන සිටියේ ඊබ‍්‍රාහිම් මොහොමඞ් සොලීට ආධාර කිරීමෙනි. 2018 වසරේ දී, අබ්දුල්ලා යමීන් බලයෙන් පහකර, සිරගතකරවා දේශපාලන බලය පිහිටුවාගත් සොලී,  ඉන්දියානු ව්‍යාපාරිකයන්ට සහ හමුදාවට මාලදිවයින් භූමිය විවෘත කර දුන්නේය. එය චීනයේ ‘බෙල්ට් ඇන්ඞ් රෝඞ්’ මහා ව්‍යාපෘතිය දුර්වල කිරීමක් විය.

  පසුගිය මාසයක මාලදිවයින් මහා මැතිවරණය පැවැත්විණි. මොනම කුඩා රටක්වත් විදේශ ආධිපත්‍යයට කැමති නැති බව සනාථ කරමින් සොලී පරාජයට පත්විය. ‘ඉන්දියානු හමුදා මාලදිවයින් බිමෙන් ඉවත් කරමු’යි පැවසු මොහොමඞ් මොයිසු ජයග‍්‍රහණ කළේය. අරාබියේ ඇතැම් මාධ්‍යයන්හි ඒ ජය සනිටුහන් කරන  ලද්දේ, ‘බෙයිජින් කනට සංගීතයක්’ Music to Beijing Ears යන උධෘතයෙනි.

   ලංකාවේ දෙමළ භාෂාව කතාකරන ජන කණ්ඩායම් බලගැන්වීම කලක සිටි ඉන්දියාව ලංකාව පිළිබඳව අනුගමනය කරන ප‍්‍රතිපත්තියයි. ඊට ප‍්‍රධාන හේතුව තමිල්නාඩුවේ (දෙමළ රටේ) බලය ලබාගැනීමට ඉන්දියාවේ ප‍්‍රධාන දේශපාලන පක්ෂ දෙකට සිදුවීමයි.  ලංකාවේ දෙමළ ජනයාට ස්වාධීන ආණ්ඩුවක් හදා දෙන්නැයි ප‍්‍රධාන පක්ෂ දෙකටම බලකිරීම තමිල්නාඩු දේශපාලන නායකයින් වැඩි පිරිසකගේ ප‍්‍රතිපත්තියයි.

  එදා රෝහණ විජේවීර කීවේ ඒ ගැන නොවේ. ඉන්දියාව අවට රටවල සියල්ලටම ඇඟිලි ගසන ව්‍යාප්තවාදියෙකු බවයි. එය ඇත්තකි. ආසියාවේ අධිරාජ්‍යයක් බිහිකිරීම ඉන්දියාවේ පරමාර්ථය වී තිබේ. ඊට අසල් රටවල් සියල්ලම දිනා ගත යුතුව තිබේ. ඊට බාධා කරන චීනය සමග සටන් කරන්නට ඉන්දියාව සැරසේ. මාලදිවයින්, ලංකාව, නේපාලය, භූතානය, පකිස්ථානය ආදී රටවලට ඇති ප‍්‍රශ්නය මෙයයි. මේ අතර තමා සතු ලෝක බලය රැුකගැනීමට චීනය හා සීතල යුද්ධයක් කරන ඇමරිකාව ඉන්දියාවට ආධාර කරයි.

   විජේවීර මරා ජවිපෙ මධ්‍යම කාරක සභාව විනාශ කිරීම සිදුවිය. සෝමවංශගෙන් පසුව අනුර කුමාර යටතේ බිහිවුයේ අලූත් ජවිපෙකි. එහි නායකයින් අතර ජවිපෙ සාමාජිකයන් මැරීමට ඔත්තු සැපයූ ගෝනි බිල්ලෝ පවා සිටිති.

   අනුර කුමාර පංති සටන්වලට සහභාගි වූවෙකු නොවේ. කොමියුනිස්ට් මැයි දින පෙළපාලියක වත් ගිය අයෙකු විය නොහැකිය. ඊටත් දැන් රට රටවල කොමියුනිස්ට් පක්ෂ මෙහෙයවන්නේ ඇමරිකාවයි. ජර්මනියේ සිට ඇමරිකාවට පැමිණි හර්බට් මාර්කුස්, කාල් මාක්ස්ගේ කොමියුනිස්ට් පංති ක‍්‍රමය වර්ණ භේද න්‍යායට යට කළේය. එම නිසා රට රටවල සුළු ජාතීන්ට, සුළු ආගමිකයන්ට ආධාර කිරීම ඇමරිකානු කොමියුනිස්ට් ප‍්‍රතිපත්තිය වී තිබේ. දෙමළ, ලෝකයේ මහා ජාතියකි. ලංකාවේ සුළු ජාතියකි. ක‍්‍රිස්තියානි මුස්ලිම් සහ හින්දු ලංකාවේ සුළු ආගමික කණ්ඩායම්ය. ජවිපෙත් ඇමරිකාවත් මෙහිදී එකම ප‍්‍රතිපත්තියක් අනුගමනය කරයි.

සිංහල බෞද්ධයන් බහුතරය (69 ලක්ෂය)  බලයට පත් කළ ගෝඨාභය රාජපක්ෂ පැන්නීමට සුළු කෝලහාලකරුවන් පිරිසකට හැකි වූයේ ඉන්දියාව සහ ඇමරිකාව  ලංකාවේ දේශපාලනයට මැදිහත් වූ නිසා බව දන්නා රට වැසියන් විශාල පිරිසක් සිටිති. මාධ්‍යකරුවන් විසින් අරගලකරුවන් ලෙසින් ප‍්‍රසිද්ධ කරන ලද කෝලහාලකරුවෝ ගෝඨාභය ආණ්ඩුවේ මැති ඇමතිවරුන් පිරිසකගේ ගෙවල් ගිනි තැබූහ.  මන්ත‍්‍රීවරයකු ඝාතනය කළහ. රනිල් වික‍්‍රමසිංහගේ නිවසටත් ගිනි තැබුවෝය. බියට පත්ව අසරණ වූ          මැති ඇමතිවරු රනිල් ඇමරිකානු හිතවාදියෙකු බව අමතක කර ඔහුට ජනාධිපති ධුරය ලබාදීමට කැමති වූහ.

    ඉන්දියාව හා ඇමරිකාව ලංකාවේ දේශපාලනයට  ඇඟිලි ගැසීම නිසා ඉන්දියාව කෙරෙහි සිංහලයන්ගේ අප‍්‍රසාදය වැඩි වී තිබේ. ලෝක කුසලාන සඳහා පසුගිය දිනක පැවති ක‍්‍රිකට් තරගයෙන් ඉන්දියාව පැරදීම එය ප‍්‍රකාශයට පත් වූ අවස්ථාවකි. බොහෝ ලාංකිකයෝ ප‍්‍රීති ඝෝෂා නැගූහ. ඉන්දියාවට මේ විරෝධය වළක්වා ගත හැක්කේ ධර්මාශෝක අධිරාජයාගේ ප‍්‍රතිපත්තය අනුගමනය කිරීමෙනි. ‘මෝරිය’ සිරිත වූයේ  සිංහලයන් සිය නෑයන් හැටියට සැලකීමයි.

     ජවිපෙය රටේ සුළු ජාතීන්ට හා සුළු ආගමිකයන්ට හිතවත් දේශපාලන පක්ෂයක් වී ඇත්තේ ‘ඇමරිකානු කොමියුනිස්ට්වාදය’ නිසා විය හැක. ඌරන් කැකුණ තලන විට හබන් කුකුලන්ට මගුල් යැයි සිංහල උපහැරණයක් තිබේ. කටාරය හා තුර්කිය රැඩිකල් ඉස්ලාම්වාදය තහවුරු කිරීම සඳහා වෙහෙසෙන රටවල් දෙකකි. මේ රටවලින් ගලන මුදල්වලින් ජවිපෙ බලවත් වෙතැයි මතයක් දේශපාලන නිරීක්ෂකයන් අතර පවතී. එසේ නම් ජවිපෙ මෙහෙයවන ප‍්‍රධාන හස්තය ඉස්ලාම් මූලධර්මවාදයයි.

ඬේවිඞ් ඇන්තනි

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link