නලින් ද සිල්වා ගිය මග යන පාප්තුමා

Last Updated on 3 months by admin

ඉතාලි ජාතිකයින්ගේ දරු උපත් වැඩි කිරීමට වහා පියවර ගන්නැයි පාප්තුමා ඉල්ලා ඇත. ‘‘ඉතාලි තරුණ පරපුර සුරතල් සතුන් ඇති කිරීමටයි උනන්දු වෙන්නෙ. දරුවන් හදන්ඩ උනන්දු වෙන්නෙ නෑ. ඉතාලි ජාතික ජනගහණය පහළට ගිහින් ඉතාලි ජන සංයුතිය වෙනස්වීම අනාගතයට තර්ජනයක් වෙමින් තියෙනවා’’ යයි ඉතාලියේ අගමැතිනි ජෝර්ජියා මෙලනිට පැවසූ පාප්තුමා, දිළිඳු හා අඩු ආදයම් ලබන ඉතාලි පවුල්වලට ප‍්‍රතිපාදන සලසා තරුණ පරපුර දරුවන් හැදීම කෙරෙහි උනන්දු කළ යුතු බව කීවේය.

ලංකාවේ සිංහල දරු උපත් පාලනය කාලයක සිට සිදුවන්නකි. එය ඉතා සංවිධානාත්මක කාර්යයකි. මේ සඳහා වැඩි වශයෙන් සිංහල වෛද්‍යවරුන්, හෙදියන්, පවුල් සෞඛ්‍ය සේවිකාවන් යොදවා ගැනීම වඩාත් ශෝචනීය කාරණාවයි. මේ වැඩපිළිවෙළේ වරද හා විපාක පෙන්වා දෙන්නන් ජාතිවාදීන් වශයෙන් නින්දා අපහාසවලට ලක් වෙති. එපමණක් නොව, වැඩියෙන් දරුවන් හදන මාපියන්ට අපහාස උපහාස කිරීමේ රෝගීන්ගෙන් සමාජය පිරී තිබේ. විවාහ වී කෙටි කලකින් දරු සම්පත් ලබන මව්වරුන්ට සමච්චල් කිරීමද කාලයක සිට සුලභව සිදු කෙරෙන්නකි. මේවායේ ප‍්‍රතිපලයක් ලෙස, දැන් සිංහලයන් බහුල පෙදෙස්වල ඇතැම් ළදරු පාසල් ළමයින් නැතිව වැසී යන තත්වයට පත්ව තිබේ.

රුසියාවේ කොමියුනිස්ට් පාලනය ඇති වූ පසුව ආරම්භ වූ උපත් පාලනය නිසා රටේ ස්වදේශික දරුවන් අඩුවීමෙන් රටට සිදුවන හානිය ගැන රුසියානු අගමැති වැලඞ්ම්යර් පුටින් මැතකදී කීවේය. ‘‘පැරණි රුසියානු පවුලක දරුවන් හතයි, අටයි. දැන් එකයි, දෙන්නයි. රුසියානු කාන්තාවන් රස්සාවල් හෙවීම නවතා ගෙවල්වලට වී දරුවන් හදන්ඩ උනන්දු විය යුතුයි. රජය ඔවුන්ට උවමනා පහසුකම් සැපයිය යුතුයි.’’ ඔහු කීවේය. එය යුක්රේන යුද්ධයට සොල්දාදුවන් අවශ්‍ය නිසා කළ බාල කතාවක් නොවේ.

කොමියුනිස්ට් විප්ලවයෙන් පසු, ‘පවුලට එක් දරුවෙක්’ චීනයේ රාජ්‍ය ප‍්‍රතිපත්තිය වූයේය. මේ නිසා චීනය ලොකු අමාරුවක වැටී සිටියි. ඊට විසඳුම් ඉදිරිපත් කරන චීන පාලකයෝ ළමයි වැඩියෙන් හදන්නට කාන්තාවන් දිරිමත් කරති.

පාප්තුමා පසුගිය මැයි 12 වැනි දින ඉතාලි අගමැතිනියට දුන් උපදේශය නොසලකා හැරීමට, යුරෝපයට නොහැකිය. පසුගිය කාලයේ කොතරම් වීරයන් බිහි වුවත් පාප්තුමා නොසිටින්ට ක‍්‍රිස්තියානි යුරෝපයක් නැත. පාප්තුමා ඔටෝමොන් තුර්කි අධිරාජයාගේ හමුදාවෙන් යුරෝපයේ ක‍්‍රිස්තියානි දේවස්ථාන ප‍්‍රධාන ක‍්‍රිස්තු භක්තිකයන් බේරාගත්තේය. ‘කුරුස යුද්ධ‘ කතාවෙන් කියවෙන්නේ පාප්තුමාගේ වටිනාකමයි. පසුගිය සතියේ එතුමා කළ දේශනය අසන්නන්ට, නැවතත් ඊට සමාන කාලයක් එළඹ ඇත් දැයි සිතේ.

සෝවියට් කඳවුර වැටීමෙන් පසු ගත වූ කාලයේ බටහිර බලවත්තු, තුන් වැනි ලෝකය යයි ඔවුන් හැඳින්වූ රටවලට තදින් ඇඟිලි ගැසූහ. ලංකාව නිදසුනකට ගතහොත්, සිංහල බෞද්ධ නායකයෙකු වශයෙන් වැඩ භාරගත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඔවුන්ගේ ඇහැට ඇනෙන කටුවක් බඳු විය. ‘අරගලය’ යනුවෙන් නම් වන්නේ ඔවුන් ගෝඨාභය රාජපක්ෂ බලයෙන් පහ කිරීමට යෙදූ උපක‍්‍රමය බව මහාචාර්ය නලින් ද සිල්වා යළි යළි අවධාරණය කළේය. ජීවත්ව සිටි නලින් ද සිල්වා ලංකාවේ විශාල පිරිසකට කරදරයක් විය.

නිදහස් රාජ්‍යයන්ට ඇඟිලි ගසන බටහිර රටවල්, ‘මානව හිමිකම් සුරැකීම’ යනුවෙන් දර්ශනයක් ඉදිරිපත් කළහ. මේ ව්‍යාජය සැබෑවක් බව පෙන්වීමට වෙහෙසුන ඔවුහු, තමන්ගේ රටවල වීසා දොරටු බාගෙට විවෘත කළහ. එවිට ඒවාට විශාල වශයෙන් මුස්ලිම් සංක‍්‍රමණිකයෝ රිංගූහ. සංක‍්‍රමණිකයන්ගේ විශේෂතා පවතී. එංගලන්තය වැනි රටකට යන සිංහලයින් නිදසුනකට ගනිතොත් ඔවුන් වැඩි පිරිස එහිදී ‘කොකනට්ලා’ බවට පත් වෙති. ඔවුන්ගේ හම තද පැහැ නමුදු, සිතුවිලි ‘සුදු පැහැ’ ගනී. ධර්මපාලතුමාගේ වචනයෙන් කිවහොත් ‘කළුසුද්දෝ’ වෙති.

ඉස්ලාමිකයෝ එසේ නොවෙති. ඉස්ලාම් කාන්තාවෝ ආගම හා ඉස්ලාම් සංස්කෘතිය රැකගෙන සුදු ජාතිකයින්ට තම සමය පිළිගැන්වීමේ පෙරමුණ ගනිති. ලන්ඩන්, පැරිස්, බර්ලින් ආදී ඕනෑම නගරයක ඉස්ලාම් ප‍්‍රාන්තයක් ඇත. ලන්ඩනයේ නගරාධිපති වීමට, ඉස්ලාම් ඡන්ද ලබාගත යුතු වෙයි. මීට දින කීපයකට පෙර මාධ්‍ය හමුවකට සහභාගී වූ ඉන්දීය විදේශ ඇමති එස්. ජයිශංකර්, ‘කැනඩාවේ ඡන්ද බැංකුව එහි නීතිය අභිභවා ගොස් ඇති බව’ කීවේය. කැනඩාව ලංකාවට හිරිහැර කරන්නේ දෙමළ ඩයසපෝරාවේ ඡුන්දවලට බියෙනි.

ඇමරිකාව සරණාගතයින්ට පිහිට වන රටකි. යුද්ධ හා අභ්‍යන්තර අර්බුද නිසා ඇමරිකාවට සංක‍්‍රමණය වූවෝ ලක්ෂ සංඛ්‍යාවකි. ඒ ඉතිහාසය අමතක කළ ඇමරිකානුවෝ, ගාසා අර්බුදය නිසා අසරණ වී සිටින පලස්තීන ජාතිකයන් ඇමරිකාවට එනවාට විරුද්ධ වූහ. ඒ අනාගතයේ ඉස්ලාම් ආගමික තර්ජනයක් ඇති වේ යැයි වැටහීමෙනි.

මේ වන විට ලෝකය පුරාම පාහේ ‘ඉස්ලාම් භීතිකාවක්’ හටගෙන තිබේ. ‘ඉස්ලාම්පෝබියා’ එ.ජා. සංවිධානය ඇතුළු අන්තර් ජාතික සංවිධානයන්හි නිතර සාකච්ඡාවට බඳුන් වන මාතෘකාවකි.

මහාචාර්ය නලින් ද සිල්වා ජීවිතයේ සෑහෙන කාලයක් සිංහලයන්ගේ විකෘති වූ මොළ නිවැරදි කිරීමට මහන්සි ගත්තේය. ඔහු ඉගැන්වූ දැ නොපිළිගත් විශාල පිරිසක්, ඒ අදහස් නිවැරදි යයි දැන් පිළිගනිති. මේ සියලු දෙනා සමගි වීමට කාලය උදා වී තිබේ.

පාප්තුමා ඉතාලියේ අගමැතිනියට දුන් උපදේශය හා මහාචාර්ය නලින් ද සිල්වා සිංහලයන්ට පැහැදිලි කළ ධර්මය අතර සමාන බවක් තිබේ. දෙදෙනාම කියා ඇත්තේ ජාතික අනන්‍යතාව රැකගත යුතු බවයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link