පිළිතුර නිවැරදි කරගන්න කලින් ප්‍රශ්නය නිවැරදි කර ගනිමු

Last Updated on 5 months by admin

Photo credit: tamilnet

දේශපාලන හා යුද්ධමය වශයෙන් තීරණය ගැනීම එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ කරන ගනුදෙනුවකින් පසුව කළ යුතුව ඇති නිසා ලෝක ප්‍රශ්න දෙස ආගමික මුහුණුවරින් බලන්න බලගතු ආගමික සංවිධාන වංචනික ලෙස පුරුදු පුහුණු වී සිටිනවා.

එක් සරල ඒත් කදිම උදාහරණයක් නම්, උතුරේ දෙමළ ජනතාවගේ එදිනෙදා ජීවන ප්‍රශ්න “සුළු ජනවාර්ගික” ප්‍රශ්නයක් ලෙස හා “සුළු ආගමික” (පල්ලියට අනුව උතුරේ වාසය කරන්නේ දෙමළ ක්‍රිස්තියානි ජන කොටසකි) ප්‍රශ්නයක් ලෙස වවාගෙන කෑමයි පසුගිය දශක කිහිපය තුළ සිද්ධ වුනේ.

උතුරේ ම්ලේච්ඡ යුද්ධයට බටහිර ක්‍රිස්තියානි රටවල්වල චර්යාධාර්මික මෙන්ම ආයුධවලින් හා මුදල්වලින් ලබා දෙන සහයෝගය දිගින් දිගටම ලබා ගැනීම සඳහා ආගමික මුහුණුවරින් එම ප්‍රශ්නය ලෝකයා ඉදිරියේ දිග හරින්න කතෝලික පල්ලිය ප්‍රමුඛ ලෝක ක්‍රිස්තියානි සංවිධාන දිගින් දිගටම ශ්‍රී ලංකාවට එරෙහිව කටයුතු කළා.

එම කඩතුරාවම ප්‍රයෝජනයට ගනිමින් ශ්‍රී ලංකාව තුළ සිංහල බෞද්ධ විරෝධී ප්‍රබල රැල්ලක් ක්‍රියාත්මක කිරීමට මොවුන් අදත් උත්සාහ කරනවා.

මෙය සාමාන්‍ය මිනිසුන් හිතනවාට වඩා බරපතළ ප්‍රශ්නයක්.

බෞද්ධයාට බෞද්ධකම එපා කිරීමත්, සිංහලයාට සිංහලකම එපා කිරීමත්, පදනමක් නැති තර්කයක් වෙනුවෙන් සිංහල බෞද්ධයාට වරදකාරී හැඟීමක් පැටවීමත් මේ තුළින් සිදු වුණා.

රැවටීම යනු ප්‍රශ්නයකට විසඳුමක් නොවෙයි.

මිනිසුන් සටන් කරන්නේ භූමිය සඳහාම පමණක් නොවෙයි.

රටක බහුතරයට වෙනස් “සුළු ජන” කොටස් තුළ ඇති අනාරක්ෂිතභාවයට එක් ප්‍රබල පිළියමක් ලෙස එම කුඩා කණ්ඩායම් භාවිතා කරන්නේ අනන්‍යතාවය පිළිබඳ සාධකයයි.

උතුරේ යුද්ධය භූමිය සඳහා කළ සටනක් ලෙස හුවා දක්වනු ලැබුවේ පල්ලියේ මෙහෙයවීම පිට දෙමළ ඩයස්‌පෝරාව විසින්.

උතුරේ ජීවත් වෙන වෙල්ලාල කුලයට අයත් නොවන පහළ යැයි සම්මත කුලවල පිරිස්වලට වෙල්ලාල කුලයේ නිවෙසක ළිඳකින් වතුර ලබා ගැනීම තහනම්. එසේ නම් උතුරේ දමිළ ජනතාව අපේක්ෂා කරන භූමිය අයත් වන්නේ කුමන නිර්ණායකයටද?

උතුර අයත් විය යුත්තේ ලංකාවටය. එය අයත් වන්නේ දෙමළ ජනයාට කියා දේශපාලන වාසි ගන්නට උතුරේ දෙමළ අන්තවාදීන් මෙන්ම දකුණේ වාමාංශික කණ්ඩායම්ද, ප්‍රශ්නයට වැරදි විසඳුම් සොයමින් ජනතාව අතරමං කරමින් සිටිනවා.

ශ්‍රී ලංකාවේ දෙමළ අනන්‍යතාව නිශ්චිත භූමි ප්‍රදේශයක් හා සම්බන්ධව ඇත්නම්, වසර ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාවේ වාසය කරන දෙමළ ජනතාවගෙන් 60%ක් දකුණේ සිංහලයින් සමග ජීවත් වන්නේ ඇයි? පිළිතුර නිවැරදි කරගන්න කලින් අපි ප්‍රශ්නය නිවැරදි කර ගනිමු.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link