‘පුංචි පවුල’ කුඩු කරන්න ගෙනා ‘ගැහැණු අපි එක මිටට’

Last Updated on 1 week by admin

මාලිමාව වනාහි ජවිපෙ නමින් රෝහණ විජේවීර බිහි කළ මාක්ස්වාදී දේශපාලන පක්ෂයේ පරිනාමයකි. පරිනාම ක්‍රියාවලියේදී සමහර කොටස් ස්වභාවිකව අභාවයට පත්වීම සිදු වේ. නැතිනම් අභාවයට පත් කළ යුතුය. එවිට ඇති වන හිඩැස මැකෙන්නේ අලුත් කොටස් එකතු වීමෙනි. එයද ස්වභාවිකව හෝ කෘත්‍රිමව විය හැක.

’මවුබිම නැත්නම් මරණය’ ජවිපෙ සටන් පාඨයකි. ’දණින් වැටී ජීවත් වනවාට වඩා දෙපයින් සිට මියයාම උතුම්ය’ යනු තවත් ජවිපෙ සටන් පාඨයකි. ජවිපෙ මෙන් මාලිමාව මෙවැනි සටන්පාඨ භාවිතා නොකරයි. ’ගැහුණු අපි එක මිටට’ මාලිමාවේ ප්‍රධාන සටන් පාඨයකි.

ජවිපෙ මාක්ස්ගේ ද්විඝඨනාත්මක භෞතිකවාදය හෙවත් පන්ති සටන ඉදිරිපත් කළේය. එයින් කියවෙන්නේ සමාජය පන්ති ගැටුම ඔස්සේ විකාශනය වන බවයි. මාක්ස් කිසි විටක කාන්තාව නමින් පංතියක් ප්‍රකාශ නොකළේය. මාක්ස්වාදයට අනුව කාන්තාවන් සුළු පිරිසක් ධනපති පංතිය නියෝජනය කරති. බහුතර කාන්තාවෝ ඊට ප්‍රතිවිරුද්ධ පාර්ශ්වය වන නිර්ධන පංතිය නියෝජනය කරති. එබැවින් ’ගැහැණු එක මිටට’ යන්න මාක්ස්වාදයට පටහැනි ධනපති පංතියේ ප්‍රකාශයකි. මාක්ස්වාදී විග්‍රහයට අනුව අන්තිම ප්‍රතිගාමී ඉදිරිපත් කිරීමකි. එයින් කරන්නේ නිර්ධන පංතියේ ස්ත්‍රිය නොමග යැවීමයි. සටන් පාඨය නිසා ස්ත්‍රියගේ මනසේ පංති හැගීම් මැකී පුරුෂයාට විරුද්ධ හැඟීම් ඇති වේ. එය පංති සටන කඩා කප්පල් කරයි. ජවිපෙ නායකයින් මෙවැනි ප්‍රතිගාමී සටන් පාඨයක් පිළිගත්තේ ඇයි?

මාලිමා ආණ්ඩුවේ ඇමතිවරුන් තිදෙනෙකි. සහෝදර අනුර දිසානායක ජනාධිපතිවරයා සහ සහෝදර විජිත හේරත් ජවිපෙ නියෝජනය කරන මාක්ස්වාදීන් වශයෙන් සැලකේ. ආචාර්ය හරිනි අමරසූරිය අගමැතිවරිය මාක්ස්වාදියෙකු නොවේ. ඕ එංගලන්තයෙන් පැතිරුන ක්‍රිස්තියානි නව ලිබරල්වාදී අදහස් දරන්නියකි. මාක්ස්වාදය හා නව ලිබරල්වාදය යන මතවාදී කණ්ඩායමක් දෙක එකට දේශපාලනය කරන නිසා මාලිමා ආණ්ඩුව තුළ ගැටුමක් ඇති වීම අනිවාර්යය. ආචාර්ය හරිනි, තමා සහ අනුර සහෝදරයා අතර කිසිම ගැටුමක් නැතැයි කියමින් සිද්ධිය පුද්ගලික කාරණයක් බව පෙන්වයි.

මාක්ස්වාදයට අනුව ගැටුමක් නැතිව පරිනාමය සිදු විය නොහැකිය. පරිනාමවාදය ප්‍රකාශ වීමට පෙර මැවුම්වාදය පැවතුණි. ඊට මුල් වූයේ බයිබලයේ අඩංගු උත්පත්ති කතාවයි. බයිබලයට අනුව මැවුම්කාරයා ස්ත්‍රිය නිර්මාණය කරන්නේ පුරුෂ ශරීරයේ කොටසකිනි. ඈ මැවුම්කරුවාගේ අණ නොපිළිපදිමින් පුරුෂයා පාපයට පෙළඹවූවාය. මේ නිසා බයිබලය පදනම් කරගෙන බිහි වූ හැම ආගමකම ස්ත්‍රිය පුරුෂයාට වඩා පහළින් සිටියි. මෙය වෙනස් කිරීමට බැරි මුලධර්මයකි. ඉස්ලාම් ආගමේ ෂාරියා නීතිය මුහුණ දී සිටින ප්‍රධාන ගැටලුවත් මෙයයි.

මාසයක් තිස්සේ පැවති වතිකානු සමුළුව, කාන්තාවන්ට නායකත්වය ලබාදිය යුතුය කියමින් පසුගිය සෙනසුරාදා නිමාවට පත් විය. දෙවනි ජුවාම් පාප්තුමාත් කාන්තාව එසවීමේ අදහසට කැමැත්ත ප්‍රකාශ කළේය. ඒ කාන්තාවන් පූජකයන් වශයෙන් ප්‍රකාශ කිරීමට තමාට බලයක් නැති බවද අවධාරණය කරමිනි. (The Catholic Church has an all-male clergy and Pope John Paul II declared it had no authority to ordain women as priests.. Reuters Oct 26) මැවුම්කරුවාගේ පෘථිවියේ නියෝජිතයා වන තමන්ට මැවුම්වාදයට විරුද්ධව කටයුතු කළ නොහැකි බව එතුමාගේ ප්‍රකාශයෙන් පැහැදිලිව කියවේ.

ලංකාව පුරා මෑතක ඉදිවූ ‘කෑගහන පල්ලි’ (යාඥා ස්ථාන) සියල්ලකම පාස්ටර් පුරුෂයෝ නායකයින් සේ හැසිරෙති. කාන්තා පාස්ටර්වරියන් නැතුවා නොවේ. නමුත් ඔවුන්ට පාස්ටර්වරුන් සමාන බලයක් නැත. ඔවුන් හැසිරෙන්නේ පාස්ටර්වරුන්ගේ සේවිකාවන් වශයෙනි. මේ තැන්වලට යන භූතයන් වැහී මොළේ අවුල් වී ඇතැයි සිතන කාන්තාවෝ පාස්ටර්වරුගේ ස්පර්ශය ලබාගනිති. එවිට ඔවුහු ක්ලාන්ත වෙති. එවැනි කාන්තාවන් බිම වැටෙන්නට නොදී වත්තම් කිරීම පාස්ටර්වරියන්ගේ ප්‍රධාන කාරියකි.

චාල්ස් ඩාවින්ගේ සත්ව පරිනාම සිද්ධාන්තය පිළිබඳව ලියවී ඇති පොත් පත් බොහෝය. මේ සිද්ධාන්තය භාරතීය පඬිවරුන් විසින් ඉදිරිපත් කරන ලද්දක් බව ඇතැම් පොතක සඳහන් වේ. ඩාවින්ගේ පරිනාමවාදය මැවුම්වාදයට විරුද්ධ දැක්මකි. එනිසා එංගලන්තයේ ක්‍රිස්තියානි දේවගැතිවරුන් ප්‍රධාන වියතුන් විශාල පිරිසක් ඩාවින්ට හතුරුකම් කළහ. අදටත් ඇමරිකාවේ සමහර ප්‍රාන්තයන්හි රජයේ පාසල්වල ඩාවින්ගේ පරිනාමවාදය ඉගැන්වීමට නුපුළුවන.

මාක්ස්ගේ න්‍යායට අනුව ’ගැහුණු එක මිටට’ පත්කිරීමට නොපුළුවන. ඊට හේතුව ස්ත්‍රිය නිශ්චිත පංතියකට අයිති කළ නොහැකි බැවිනි. ධනපති ස්ත්‍රීහු සිටිති. වැඩිපුර ඉන්නේ ධනපති කාන්තාවන් නොවේ. ස්ත්‍රිය පුරුෂයාට සමාන නැත යන බයිබල් න්‍යායට අනුව නම් ගැහැණුන් එක මිටියකට එකතු කළ හැක. ඔවුන් පුරුෂයින් සතු ස්ත්‍රීන් (දේපලක්) බැවිනි.

නව ලිබරල් චින්තනය එංගලන්ත ක්‍රිස්තියානි සමාජයේ උපන්නකි. තමන් අධ්‍යාපනය පෙවූ උගත් ආචාර්යවරියන් ලවා එය යටත් විජිත වශයෙන් පැවති ලංකාව වැනි රටවලට යවන එංගලන්තය, තමන්ගේ රටේ ක්‍රිස්තියානි ආගමේ මුලධර්මය රැකගැනීමට වෙහෙසේ. එංගලන්තයේ ක්‍රිකට් කණ්ඩායම්වල මුල් පෙළේ තරගවලට ලිංග විපර්යාසයට ලක්වූ පිරිමින්ට (transgender) සහභාගි වීමට තහංචි දැමූ නීතිය නිදසුනකි.

මාක්ස්වාදයත් කර්මාන්ත විප්ලවයේ ප්‍රතිඵලයකි. කාර්මික විප්ලවය නිසා එංගලන්තය වැනි රටවල පවුල බිඳ වැටීම ඇරඹුණි. පවුල පුංචි කිරීම, කාන්තාව ගළවාගැනිම ආදී හැම ක්‍රියාවකින්ම සිදු වූයේ පවුල කඩා පුද්ගලයා හුදකලා කිරීමයි. ‘ගැහැණු අපි එක මිටට’ ව්‍යාපෘතියත් පවුල කැඩීමකි. එයින් කරන්නේ පුරුෂයාට විරුද්ධව ස්ත්‍රිය පෙළඹවීමයි. ලංකාව වැනි රටවල මෙවැනි ක්‍රියා මගින්, ඔවුන් රත්තරන් යයි කියමින් ලොකු පවුල් කඩා බිහි කළ පුංචි පවුලත් බිඳ වැටී සංස්කෘතික සෝදාපාළුවක් ඇති වේ. එවිට අම්මලාට දරුවා කරදරයක් වේ. එහි ප්‍රතිඵලය දරුවන් අනාථ වීමයි.

‘ගැහුණු එක මිටට’ යන්න ‘පුංචි පවුල රත්තරන්’ හැදූ පිරිසගේම අලුත් සටන් පාඨයකි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link