බුදුන් උපන් රට පකිස්තානයද?

Last Updated on 8 months by admin

කාලයකට පෙර ‘ලංකාදීප’ පත්තරයෙන් ඉදිරිපත් කළ පුවතක් දෙබරයකට ගල් ගැසීමක් වූයේය. ‘බුදුන් ලංකාවට වැඩියේ නැතැයි පරණවිතාන මහතා කී බව’ එහි පළමු පිටේ පොල්ගෙඩි අකුරෙන් සඳහන් වී තිබුණි. බුදුන් තෙවරක් ලංකාවට වැඩි බව මහාවංශයේ සඳහන් වේ. එබැවින් ඒ ප‍්‍රවෘත්තිය බෞද්ධයන් කලබල කරන්නක් වූයේය.

පරණවිතානගේ කතාවට ප‍්‍රතිවිරුද්ධ කතාවක් වර්තමානයේ පැතිරේ. මේ කතාකරුවෝ සිදුහත් කුමරා උපන්, සිදුහත් තවුසා බුදුවූ, බුදුන් වැඩසිටි, බුදුන් පිරිනිවන් පෑ, රට ලංකාවයි ආදී වශයෙන් කතා ගොන්නක් කියති. ඒත් බෞද්ධයෝ කලබල නොවෙති. මේ ප‍්‍රචාරය කරන්නන්ට මුදල් ගලාඒමක් සිදුවන බව පෙනේ යයි පවසමින් ප‍්‍රසිද්ධ ලේඛිකාවක වූ ෂෙනලි වඩුගේ තැබූ සටහනක් ‘මෙටා’හි පළ වී තිබෙනු දුටිමි.

ලංකාව බුදුන් ජීවත් වූ රට යයි කීම අසත්‍යයකි. කිසියම් පිරිසකට මෙවැනි මුසාවක් සමාජ ගත කිරීමට අවශ්‍ය වී ඇත්තේ කරුණු කිහිපයක් නිසාය. ත‍්‍රිපිටකය හා ථෙරවාදී  ශාසනික ඉතිහාසය බොරුකිරීම ඔවුන්ගේ ප‍්‍රධාන අවශ්‍යතාවකි. මහාවංශය බොරු කිරීම තවත් අවශ්‍යතාවකි. මේ ආකාරයෙන් සලකන කළ කතාකරුවන් පිරිසේ ප‍්‍රධාන වුවමනාව සිංහලයන්ගේ අධ්‍යාත්මය මරා දැමීම බව පැහැදිලිය.

මේ කතාකරුවන් සිංහල බෞද්ධයින් මෝඩයින් සේ සලකන බවක් පෙනේ. ලංකාවේ යම් යම් පළාත්හි පිහිටි ස්ථාන, කඳු හා ගංගා පෙන්වමින් ඒ තැන් මගධ රාජධානිය, රජගහනුවර, කිඹුල්වත් පුරය, නේරංජනා නදිය, ආදී වශයෙන් සිංහල බෞද්ධයන්ට ඉදිරිපත් කිරීමෙන් ඒ බව පැහැදිලි වෙයි.  

මෞර්යන්ගේ අගනුවර  රජගහනුවර ජාත්‍යන්තර නගරයක් වීය. පෙරදිග රටවලින් මෙන්ම අපරදිග රටවලින් පැමිණි තානාපතිවරු එහි විසූහ. ග‍්‍රීක ජාතික මෙගස්තින්ස් එවැන්නෙකි. මෙවැනි විදේශිකයන් ලියූ මගධය පිළිබඳ සමහර වාර්තා විනාශයට පත් වී නැත. රජගහනුවරට බොහෝ චීන ජාතිකයෝද පැමිණියහ. ඔවුන් නගරය ගැන ලියූ සටහන්වලින් ස්වල්පයක් ඉතිරි වී  තිබේ. සංස්කෘත හා පාලි සාහිත්‍ය පොත්වලද මෙම නගරය ගැන විස්තර අඩංගුය.  

සිංහල බෞද්ධයා මෝඩයා කරන මෙම කුමන්ත‍්‍රණය දියත්වන අතරතුර, දිඹුලාගලින්  සෙල්ලිපියක් හමුවී තිබේ. මෙය දැනට ලංකාවෙන් සොයාගෙන ඇති විශාලතම සෙල්ලිපිය හැටියට සැලකේ. දිඹුලාගල සිංහල ඉතිහාසයේ වැදගත් ස්ථානයකි. පසුකලෙක එය භික්ෂුන් වහන්සේලා දහස් ගණනක් වැඩ විසූ පුණ්‍ය භූමියක් වූයේය. බුදුන් හෙළයෙකැයි කියන ඉහත කී පිරිසට දැන් වුවමනා වී ඇත්තේ දිඹුලාගල සෙල්ලිපිය තම වුවමනාව සඳහා යොදාගැනීමටයි. සෙල්ලිපි කියවන්නෙකු හැටියට පෙනී සිටින ජයරත්න පතිරආරච්චි නමැත්තා මේ වැඩපිළිවෙළ් මූලිකයෙකි.  ‍ඔහු බුදුන් වහන්සේට හා මිහිඳු හිමියන්ට නිගා කිරීම නිසා බෞද්ධයන් අතර මහත් අප‍්‍රසාදයට පත්වූ අයෙකි. 2009 වසරේ අත්අඩංගුවට පවා පත්වූවෙකි. මට මතක පමණින් ඒ පූජ්‍ය හෑගොඩ විපස්සි හිමියන් මිහිඳු හිමියන්ට නිගා කිරීම පිළිබ’දව ඔහුට විරුද්ධව කළ පැමිණිල්ලකට අනුවය. බුදුන් ලංකාවේ උපන්නායි කීම පිළිබඳව නෙත් එෆ්එම් බැලූම්ගල වැඩසටහන ඔහුගෙන් විමසූ අවස්ථාවේ කුණුහරුපයෙන් බැණවැදී බුදුන් වහන්සේටත් නින්දා අපහාස කළේ මේ පුද්ගලයාය. මෙවැනි උමතු පුද්ගලයන් සෙල්ලිපි කියවා බුදුන් වහන්සේ ගැන කියන කුමන කතාවක් ව් සිහිබුද්ධිය ඇති කෙනෙකුට පිළිගත හැකිද?

 පතිරආරච්චි සිංහල බෞද්ධ ඉතිහාසය ගැන වැටහීමක් ඇත්තෙක් නොවන බව ඔහු ප‍්‍රකාශයට පත් කළ මක්කම පිළිබඳ පොතෙන් ඔප්පුවේ.

බුද්ධ  පරිනිර්වානය පිළිබඳ බොහෝ තොරතුරු තිබේ. පැරණි ආසියාවේ කලා නිර්මාණවලින් ද ඊට සම්බන්ධ තොරතුරු  ප‍්‍රකාශ වේ. මේ සමඟ පළ කර ඇති සිදුහත් කුමාරෝත්පත්තිය, පළමු ධර්ම දේශනාව හා මහා පරිනිර්වාණය දැක්වෙන කැටයම් 3ම ඉපැරණි ගාන්ධාර නිර්මාණයෝය. ඒවා දැන් අයිති පකිස්තානයටයි. පකිස්තානය යනු පුරාණ ගාන්ධාර පිහිටි බිමේ කොටසකි. බුදුන් ලංකා උපන්නා යැයි කියන අයගේ තර්කවලට අනුව ගියහොත්, බුදුන් උපන්නේ පකිස්තානයේ යැයි කියා තර්ක කරන්නට මේ නිර්මාණ ප‍්‍රමාණවත්ය. එවැනි කතාවක් කියන්නට තරම් මෝඩයන් පකිස්තානයේ නැත.

භික්ෂුණි ධම්මජිනා 

1 thought on “බුදුන් උපන් රට පකිස්තානයද?”

  1. සඳුන් ජයසිංහ

    මේ මොහොතේ සියළු සිංහල බෞද්ධ ප්‍රගතිශීලී බලවේග ඇමරිකන්+ ඉන්දු හා චීන බළ පොරයට එරෙහිව සමඟිසම්පන්නව අරගල මෙහෙයවිය යුතූ ය..!!!!!!!!

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link