වෙළෙන්දන් බිහි කළ අධිරාජ්‍යය

Last Updated on 1 hour by admin


ලෝකයේ සියලු නිර්ධනයින් පංතියක් වශයෙන් එකතු වී, ධනපතින් හිමි කරගෙන සිටින රාජ්‍ය බලය ලබාගැනීම උදෙසා කරනු ඇතැයි සිහින දුටු අරගලයට ලංකාවේ නිර්ධයින් සම්බන්ධ කිරීමේ අරමුණින් ලංකා සමසමාජ පක්ෂය පිහිටවන ලදි. කොළඹ විශ්වවිද්‍යාලයේ සමසමාජ ශිෂ්‍ය සමිතිය පිහිටුවීම සඳහා ලෙස්ලි ගුණවර්ධනගේ නිවෙසේ ඔහුගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවේදීත් මේ බව ප්‍රකාශ විය. සමසමාජ සින්දුවේ ‘අදිරදේ සුන්කරවු’ යන පද අඩංගු කරන ලද්දේ, යථෝක්ත අරමුණ ඇතිවය.

කලා අංශය වෙනුවෙන් සංවාදයට සහභාගි වූ පියසිරි වෙල්ලප්පිලි දික්වැල්ල මධ්‍ය විද්‍යාලයෙන් අධ්‍යාපන ලැබූ බව ඇසූ ලෙස්ලි සහෝදරයා, ‘අප ඉංග්‍රීසියෙන් කතා කළාට වරදක් නැහැ නේදැ’යි ඔහුගෙන් ඇසුවේය.

අධිරාජ්‍යය යන්න ධනවාදයේ අවසාන අවස්ථාව බව කී ඔහු, අධිරාජ්‍යවාදය යනු ලෝක ධනපතිවාදයේ ඉහළම අවස්ථාව බව කීවේ, අධිරාජ්‍යවාදය පංතියක නිර්මාණයක් බව පෙන්වමිනි.

එය පිළිගන්නේ නම්, ගුප්ත, පර්සියානු, මෞර්ය, මෝගල් වශයෙන් අධිරාජ්‍යයන් පැවතීම ගැන එහිදී ප්‍රශ්නයක් ඇති විය. ඊට පිළිතුර වූයේ, ‘මෙවැනි සංකල්පනා පහළ කිරීම ඉතිහාසය වැරදියට තේරුම් කළ ධනවාදීන්ගේ උපක්‍රමයක් බවයි.

බි්‍රතාන්‍ය අධිරාජ්‍යය වෙළෙඳ සමාගම් සමූහයක් විසින් ගොඩනංවන ලද්දකි. ඊට මුල්වූ බි්‍රතාන්‍ය නැගෙනහිර ඉන්දියා වෙළෙඳ සමාගම (ෑෂක්‍), කොටස් (ස්ටොක්) සමාගමකි. එහි ප්‍රධාන සමාගමට, රන් සොයා දකුණු ඇමරිකාවට ගිය ප්‍රැන්සිස් ඩ්රේක්ගේ සමය දක්වා ඉතිහාසයක් ඇත. යුද නැව්, ආයුධ සහ ලක්ෂ තුනකට වැඩි භටයින්ගෙන් සැදුනු හමුදාවක් හදාගැනීමට සමාගමට හැකි විය.

1817-18 සිංහලේ නිදහස් සටන මර්දනය කිරීම ඒ සුවිශාල බි්‍රතාන්‍ය හමුදාවේ ක්‍රියාවකි. සිලෝනය ජයගැනීමෙන් පසුව එංගලන්ත රජය විසින් කෝල්බෲක් සහ කැමරන් යන නීතිවේදීන්ගේ නායකත්වයෙන් යුත් විමසුම් සභාවක් සිලෝනයට එවන ලදි. ඔවුන්ගේ රාජකාරිය වූයේ සමාගමේ මුදල් නාස්ති වන එවැනි සටනක් නැවත ඇති නොවීමට හැකි වන අයුරින් සිංහලයා දුර්වල කරන්නේ කෙසේදැයි සොයා බලා යෝජනා ඉදිරිපත් කිරීමයි.

රීස් ඩේවිඩ්ස්, ජෝර්ජ් ටර්නර් සහ රොබර්ට් චිල්ඩරස් යන සිවිල් නිලධරයන් තිදෙනා රෙපරමාදු දේවගැතිවරුන්ගේ විශේෂ වුවමනාවක් වෙනුවෙන් ක්‍රි.ව. 1881 දී ලංකාවට පැමිණියහ. පානදුරාවාදයෙන් (1873) ඇතුළු ආගමික වාදවලින් රෙපරමාදු පූජකවරුන් හොඳටම කලබලවී තිබුණි.

ලංකාවට පැමිණි නිලධරයන් තිදෙනා වැදගත් දෙයක් දැනගත්හ. ඒ, සිංහලයින් අවදිකරන ආගමික සම්ප්‍රදායක් රටේ පවතින බවයි. මොවුන් තිදෙනාම සිංහල සහ පාලි භාෂා සහ සිංහලයන්ගේ ඉතිහාසය හා සාහිත්‍යය හදාරන්නට වූයේ එය නිසියාකාරව වටහා ගැනීම පිණිසය. ඔවුන් විහාරස්ථානවලට යමින් භික්ෂුන් වහන්සේ මුණගැසුනහ. උසස් සුදු නිලධරයන් පැමිණීම එම විහාරස්ථානයන්හි නායක හිමිවරුන්ගේ ආඩම්බරයට හේතු විණි.

පෙරළා එංගලන්තයට ගිය රීස් ඩේවිඩ්ස්, 1881දී ‘පාලි ටෙක්ස් සොසයිටිය’ ආරම්භ කළේය. මේ සඳහා ඇතැම් ලංකාවේ භික්ෂුන් වහන්සේ මුදල් ආධාර දී තිබේ. සමාගම පාලි පොත් හා සූත්‍ර ඉංග්‍රීසි බසින් නිකුත් කළේය. ජෝර්ජ් ටර්නර්, 1837දී මහාවංශයේ කොටසක් ඉංග්‍රීසියට පරිවර්තනය කර ප්‍රසිද්ධ කළේය. රොබර්ට් විල්ඩර්ස් පාලි ඉංග්‍රීසි ශබ්දකෝෂය (1872) ප්‍රසිද්ධ කළේය.

යුරෝපීය සමාජය ථෙරවාදී බුදුදහම සහ සිංහල බෞද්ධයා ගැන දැනගැනීමෙන් ලංකාවට බොහෝ වාසි අත්වූ බව කියන උගත්තු, ‘පාලි ටෙක්ස් සොසයිටියට’ සහ ඩේවිඩ්ස්ට බොහෝ ප්‍රශංසා කරති. එදා ඉංග්‍රීසි ජාතිකයින් ලංකාවේ පුස්කොළ පොත් එංගලන්තයට ගෙන නොගියේ නම්, ඒවා ලංකාව තුළ විනාශ වන බව ඇතැම්හු කියති. මේ කතා සිංහල ළමයින්ගේ මොළවලට දැමීම පෙරටත් වඩා හොඳට දැන් සිදු වේ. අධිරාජ්‍යවාදය වනාහි කොතරම් පැහැදිලි කළත් බොහෝ දෙනාට තේරුම්ගත නොහැකි මහා බලයකි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top