ළිං මැඩි කතා

Last Updated on 6 months by admin

අතීත ලංකාවේ ළිං කැපීමේ ශාස්ත‍්‍රයක් පැවතුණි. එය කූප ශාස්ත‍්‍රය නම් විය. මෙවැනි ළිංවල ජීවත් වන ගෙම්බන් හැඳුනුම් ලද්දේ, ළිං ගෙම්බන් හෙවත් කූප මණ්ඩුකයින් නමිනි. ජන සාහිත්‍යයේ ළිං ගෙම්බා යනු ළිඳේ තොරතුරු හැර ළිඳෙන් පිට ලෝකය ගැන කිසිවක් නොදන්නා සත්වයෙකි.

ළිඳ භූමියෙන් වට වූ ස්ථානයකි. දූපත ජලයෙන් වට වූ ස්ථානයකි. වාචාර්ථයෙන් ගත් කල, දෙකම බාහිර ලෝකයෙන් ඈත්ව පවතින්නේ වුව, ප‍්‍රයෝගික ලෝකයේ හැම විටම ඒ එසේ නොවේ. සිංහල දිවයින නිරන්තරයෙන් ලෝකය සමග සබඳතා පැවැත්වූ රටකි. සිංහලයන් දැනුමැති ජාතියක් වීමට මේ ද හේතුවකි.

විදේශ ආක‍්‍රමණවලට ලක්වීම නිසා සිංහලයෝ රට තුළට කොටු වූහ. යටත් විජිත අධ්‍යාපනය ලබන්නට වූ බොහෝ සිංහලයන්ට සිය ප්‍රෞඩ උරුමය අවබෝධ කරගැන්මට නොහැකි විණි.

‘බුත්සරණ’ පොළොන්නරු රාජධානි සමයේ සිංහල බසින් ලියවුන බණ පොතකි. බුදුන්ගේ ධර්මය පැතිරි මහා භූමි කලාපය ගැන එහි විස්තර වේ. මේ බුත්සරණේ අඩංගු වැකියකින් කොටසකි.

‘‘(බුදුන්) එක මගධබසින් වදාරණ බණ දෙමළුන් දෙමළ බසින් යොනුන් යොන් බසින් බඹුරන් බඹුරු බසින් අරමණයන් අරමණ බසින් කාම්බෝජයන් කාම්බෝජ බසින් ජිනයන් ජින බසින් මලයුරන් මලයුරු බසින් කාකයන් කාක බසින් නක්කවාරයන් නක්කවාර බසින් සහවාසින් සහවාසී බසින් …. ශ‍්‍රවණය කළහ.’’

මගධය බෞද්ධ ලෝකය තැනීමට මුල් වූ අශෝක රජුගේ රටයි. බුත්සරණේ සඳහන් පරිදි, බුදුන් ධර්මය දේශනා කරන්නේ මගධ බසිනි. එය රට රටවල ජනයාට ඔවුනොවුන්ගේ භාෂාවලින් අසන්නට ලැබේ. විද්්‍යාචක‍්‍රවර්තීන් බුත්සරණ ලියමින් කරන්නේ මගධ බසින් බුදුන් කී බණ, සිංහලයන්ට සිංහල බසින් අසන්නට සැලැස්සීමයි.

පාහියන් මගධයට පැමිණි චීන භික්ෂුවකි. මගධයෙන් අතුරුදන් වූ බුදුන්ගේ පිරිසිදු දේශනා ලංකාවේ ඇතැයි ඇසූ උන්වහන්සේ ලංකාවටද වැඩියහ. පාහියන්ගේ දේශාටන වාර්තාවේ සිතුවම් අඩංගුව පැවතියේ දැයි කිසිවෙක් නොදනී. පැවතුණේ යයි අනුමාන කළ හැක්කේ එහි පිටපත් බොහෝමයක සිතුවම් අඩංගු බැවිනි.

පැරණි පාහියන් වාර්තා සංස්කරණයන්හි සිදුහත් තවුසා මහා බෝධිය මුල බුදු වූ අවස්ථාව දැක්වෙන චිත‍්‍ර ඇත. එහෙත් ඒවායේ දැක්වෙන මහා බෝධිය චීන බෝධියකි. බුදුන් වට කරගෙන සිටින දෙවි බඹුන් සියල්ලගේම චීන මුහුණු දක්නට පුළුවන.

ලංකාව බුදුන් උපන් රට යයි දොඩවන්නන්ගේ කතා අසන අය ළිං මැඩියන් නොවිය යුතුය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link