87-89 භීෂණ සමයේ සර්වෝදයේ ගෝනිබිල්ලා සෙල්ලම

Last Updated on 3 months by admin

මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD

ඒ.ටී. ආරියරත්නගේ ජීවිතේ විවිධ අවස්ථා අළලා සකස් කරන මෙම ලිපියේ මුඛ්‍ය පරමාර්ථය ජීවත්ව සිටි ආරියරත්නට හෝ මියගිය ආරියරත්නට අපහාස කිරීම නොවෙයි.

ශ්‍රී ලංකාවේ දේශපාලනයට පිවිසෙන්නට අති මහත් උනන්දුවක් දක්වන තරුණ පරපුරට අධ්‍යායනය කිරීම සඳහා චරිතයක් හඳුන්වාදීම අපගේ අවංක උත්සාහයයි.

71 අරගලයේ නායකයෙකුවූ වික්ටර් අයිවන් නොහොත් පොඩි අතුල හා ආරියරත්න අතර තිබුණු සම්බන්ධය මා හිතන අන්දමට කිසිවකු දන්නේ නැහැ.

බැලූ බැල්මට “යා දෙක නොරත රත” කියා පෙනුනත් මේ දෙදෙනාට එකතුවී කරන්නට බොහෝ වැඩ තිබුණා.

විශේෂයෙන්ම බෞද්ධ තරුණ තරුණියන් අල්ලාගෙන ඔවුන්ගේ මොළ සේදීම බෞද්ධ නොවන තරුණයෙක් කරනවා කියන්නේ පහසු වැඩක් නොවෙයි.

කෙනෙක් කතෝලික හෝ ඉස්ලාම් වීම අපට ප්‍රශ්නයක් නොවෙයි. එහෙත් ඇතැම් ඉස්ලාම් භක්තිකයින් හා කතෝලිකයින් බෞද්ධ වේශයෙන් පෙනී සිටීමට කරන උත්සාහය ඇත්තෙන්ම සැකසහිතයි. ඒ වගේම සිංහල බෞද්ධයන් ලෙස ඉපිද ශ්‍රී ලංකා විරෝධී විදෙස් බලවේගවල මූල්‍යාධාර සහ සම්පත් ලබා ගැනීමේ චේතනාවෙන් වෙනත් ආගමික සංවිධාන සමඟ NGO පිහිටුවා ගැනීම පිළිබඳව ශ්‍රී ලංකාවාසින් මීට වඩා විපරමෙන් සිටිය යුතුයි.

සර්වෝදයේ නායක ඒ. ටී. ආරියරත්න ආරම්භයේදී තුත්තිරි ගස් අල්ලාගෙන නැගී සිටියේ ඉන්දියාවේ මහත්මා ගාන්ධි හා විනෝභා භාවේතුමාගේ ඉගැන්වීම් රස කරමින් ලංකාවේ තරුණ පරපුරට කියාදෙමින්. ආරියරත්නට එයින් ආර්ථික වාසියක් සිදුවුණේ නැහැ.

ජර්මනියේ දක්ෂිණාංශික දේශපාලන කණ්ඩායම් වල මෙන්ම ආගමික සංවිධානවලිනුත් ලැබුණු තල්ලුවට අමතරව ලංකාවේ කතෝලික සභාව හරහා ආසියාවේ කතෝලික රටවල් සමඟද කිට්ටු සම්බන්ධතාවයක් පවත්වාගෙන යාමට ආරියරත්න දක්ෂ වුණා.

1983 අගෝස්තු මස 21 වැනිදා පිලිපීනයේ සෙනෙට් සභිකයෙකු වී සිටි Benigno Corazon මැනිලා ජාත්‍යන්තර ගුවන්තොටුපලේ ධාවන පථයේදීම හිසට වෙඩි තබා ඝාතනය කරන්නේ කෲර ඒකාධිපති පාලකයෙකුවූ Ferdinand Marcos ගේ මෙහෙයුම මතයි. 85%ක් කතෝලිකයින් වාසය කරන පිලිපීන රාජ්‍යයේ අගමැති ලෙස කටයුතු කළ කාලය දූෂණ හා ඝාතන රැල්ලෙන් වැසී තිබුණා.

ඔහුගේ ජඩකම්වලට ලොකුම බාධාවක් වූයේ සෙනෙට් සභික Corazon වසර තුනකට පසු නැවත පිලිපීනයට පැමිණීමයි. ප්‍රතික්‍රියාව Corazon මැනිලාවට පය තැබූ මොහොතෙම ඝාතනය කර මරා දමා සාක්ෂි විනාශ කිරීම සඳහා ඝාතකයාවත් මරා දැමීමයි.

දේශපාලනයට පිවිසීමේදී ජනතාවගේ සහාය ලබා ගැනීම සඳහා ඇමෙරිකානු යුද හමුදාවට ඔහු විසින් කරන ලද සේවය හා වෙනත් සුදුසුකම් පිළිබඳව සකස් කරන ලද ලියකියවිලිවලින් වැඩි හරියක් විකෘති කරන ලද තොරතුරු වලින් පිරී ඇති බව පසු කාලයක මුළු ලොවම දැනගත්තා.

Ferdinand හා ඔහුගේ බිරිඳ වන Imelda එකතුව සොරකම් කරන ලද රටේ ධනය හා සම්පත් කෝටි ප්‍රකෝටිවලින් බව ලෝකයා දැනගත්තේ වසර ගණනාවක් ගෙවුනාට පසුවයි.

මොහුගේ සියලුම දූෂණ හා ජඩකම්වලට ඇමරිකාව කොන්දේසි විරහිතව සහාය දීමේ ප්‍රතිඵලයක් ලෙස පිලිපීනය දරිද්‍රතාවයේ පතුලටම වැටුණා. එහෙත් Imelda Marcos සතුව පාවහන් 3000 කට වඩා තිබුණු බවත් එරටේ වැසියන් පවා දැනගත්තේ ඔවුන් බලයෙන් පහවුණු පසුවයි.

ආරියරත්න ගැන ලියන කතාවේ පිලිපීනයේ දේශපාලනය පිළිබඳව සඳහන් කළේ ඒ.ටී.ආරියරත්න සහ ෆර්ඩ්නන්ඩ් මාර්කෝස් අතර තිබුණු කිට්ටු සම්බන්ධය ශ්‍රී ලංකාවේ පාඨකයින්ට පහදාදීම සඳහායි.

1958 දී පිලිපීනයේ ආරම්භ කරන ලද Ramon Magsaysay Award මගින් ආත්මාර්ථයෙන් තොරව දුක් විඳින ජනතාවට යම් සේවයක් කර ඇති නැතිනම් කරමින් සිටින ආසියානු කලාපයේ සමාජ ක්‍රියාකාරකයින්ට සම්මාන දීම Marcos පාලනයට පැවරී තිබුණු විශේෂ රාජකාරියක් වී තිබුණා.

ශ්‍රී ලංකාවේ ප්‍රථමයෙන්ම Magsaysay සම්මානය 1969 වසරේදී ලබා ගන්නේ සර්වෝදයයේ නිර්මාතෘ අපේ කතා නායක ඒ. ටී. ආරියරත්න වීරයායි. ඇමරිකානු ඩොලර් 50,000ක් හා රන් පදක්කමක් ඊට අයත් වෙනවා.

මෙම සම්මානය ලැබීමට ආරියරත්න සුදුසුකම් ලබන්නේ ශ්‍රී ලංකාවේ විප්ලවවාදී වාමාංශික ව්‍යාපාරය විනාශ කර දැමීම සඳහා ඔහු එවකට ග්‍රාමීය මට්ටමේ දියත් කර තිබුණු වැඩපිළිවෙළ නිසයි.

ජවිපෙ අරගලයේ ක්‍රියාකාරිකයින්ට මරණය ළඟා කරදීමේ ඔත්තු සැපයීම්ද සර්වෝදය මගින් සිදුවුණු බව දැන සිටියේ බටහිර බලවත් රටක බුද්ධි අංශ හා ලංකාවේ බුද්ධි අංශවල සාමාජිකයින් පමණයි.

මුල් කාලවලදී ආර්. ප්‍රේමදාස සමග කිට්ටු සබඳතාවක් පවත්වාගෙන ගිය ආරියරත්න ශ්‍රී ලංකාවේ වාමාංශික ව්‍යාපාරය විනාශ කර දැමීමේ බටහිර රටවල්වල කුමන්ත්‍රණය දියත් කිරීමේ කොන්ත්‍රාත්තු ඉටුකරමින් බොහෝ සේ මුදල් ඉපයූවා.

1988-89 තරුණ ඝාතන වලට බටහිර ධනේෂ්වර රටක් ඇමෙරිකානු ඩොලර් මිලියන් වලින් වියදම් කළ බව තතු දන්නෝ දන්නවා.

ඒ යුගයේ සර්වෝදයට පැවරී තිබුණු එක් රාජකාරියක් වූයේ ගම්බද තරුණ තරුණියන්ව සර්වෝදය මධ්‍යස්ථානවලට රැස්කර උදේ සිට හවස් වනතුරු කාලය ගෙවා දමන්නට සැලැස්වීමයි. ඒ අවට වගා කරන අල බතල මඤ්ඤොක්කා වැනි දේ පිසගෙන දිවා ආහාරය පිළියෙල කරගත යුතුව තිබුණා. මධ්‍යස්ථානයට පැමිණ කාලය ගත කරනවාට එක් අයෙකුට රුපි. 2.50 බැගින් ගෙවනු ලැබුවා. ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ අයගේ නම් ගම් හෙළි කරනවාටත් අමතර ගාණක් සමහරවිට තව රුපියලක් දෙකක් එකතු කරන විට මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන සර්වෝදයට මුදල් ගලා ආවේ ඩොලර් ලක්ෂවලින්.

මෙය මා සමග නාවල විවෘත විශ්වවිද්‍යාලයේ සේවය කළ තරුණ කථිකාචාර්යවරයෙක් විසින් හෙළිකළ තොරතුරක් මත පදනම් වුන සත්‍යයක්. ඔහුගේ ආරක්ෂාව පිණිස නම මෙහි සඳහන් නොකර එය බෝධි සභාව වෙබ් අඩවි සංස්කාරකට යොමු කළා විශ්වාසය තහවුරු කිරීමට.

මෙම කථිකාචාර්යවරයා ආචාර්ය උපාධිය සඳහා අධ්‍යාපනය ලැබුවේ සෝවියට් දේශයේ. සෝවියට් දේශයේ ඉගෙන ගන්නා කාලයේදී, ඔහු අමතර ආදායමක් ඉපයූවේ ලෝකයේ බලවත් ධනවාදී රටකට සෝවියට් දේශයට විරුද්ධව ඔත්තු සැපයීමෙන්.
88-89 ජවිපෙ ඊනියා කැරැල්ලට කලින් ඊට සූදානම් වන පුද්ගලයින්ගේ නම් හා වතගොත සැපයීමද මෙම ඔත්තුකරුවා විසින් කළ බව ඔහුගේ පාපොච්චාරණවල අඩංගු වුනා.

මුල් යුගයේදී ජර්මනියට හා ඕලන්දයට තොරොම්බල් මනිබඩු විකුණා මුදල් ඉපයූ ආරියරත්න දශක දෙකක පමණ කාලයකදී මහා පරිමාණයේ ව්‍යාපාර හා බැංකු හිමි මෙන්ම කොටස් වෙළඳපොළටද ඇතුළු වී ශ්‍රී ලංකාවේ විශාල ආර්ථික බලයකට හිමිකම් කිව හැකි පුද්ගලයෙකු බවට පත් වුනා.

(මතු සම්බන්ධයි)

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link