සිංහල බෞද්ධයාගේ මිනීපෙට්ටියට ගහන්න යන අන්තිම ඇණය

Last Updated on 4 months by admin

මාලිමා ආණ්ඩුවක් යටතේ ගැමියන්ට ගම් පාලන බලතල ලබාදිය යුතුයැයි ලාල් කාන්ත ඉදිරිපත් කරන මතය ගැන බිය පළ කරන්නෝ සිටිති. ඔවුන් ඉතිහාසයෙන් පාඩම් උගත් බුද්ධිමතුන් සේ සැලකිය යුතුය. නීතිය හා බලය අතට ගත් ජවිපෙ සාමාජිකයන් ඇඳිරි නීතිය ප‍්‍රකාශ කරමින් ගම් හා නගර පාලනය කළ පිළිවෙළ හා ද්‍රෝහීන් යැයි හඳුන්වමින් මිනිස්සුන්ට කුරිරු ශාරීරික ද`ඩුවම් දෙමින්, අමානුෂික අයුරින් ඝාතනය කරමින් රට භීම කලාපයක් බවට පත් කළ ආකාරය මෙන්ම ත‍්‍රස්තවාදය මැඞීමට රට තුළ හමුදා සහ පැරා මිලිටරි හමුදා ක‍්‍රියාත්මක වූ අයුර ද ඔවුන්ගේ මතකයේ තිබේ.

ආචාර්ය හරිනි අමරසූරියට ලාල් කාන්තට නැති ආයතනික උගත්කමක් තිබේ. එංගලන්තයේ අධ්‍යාපනය ලැබූ ඇය බටහිර රටවල් හැසිරෙන පිළිවෙළ දන්නීය. ඇමරිකාව සහ බටහිර රටවල්, ලොව කොතැනක වුව නීතියට ගරු නොකරන, මානව හිමිකම් උල්ලංඝණය කරන දේශපාලනඥයින්ට සහාය නොදෙති. ඔවුන් එවැන්නන් මර්දනයට ඍජුව මෙන්ම වක‍්‍රවද කටයුතු කරති. මාලිමා ආණ්ඩුවක් යටතේ ලාල් කාන්ත කියන ආකාරයේ දෙයක් (නීතියේ ආධිපත්‍යය කැඞීමක්) සිදු නොවන බව ඇය කියන්නේ ඒ දැනුමෙනි.

මහාචාර්ය එඞ්වඞ් පෙරේරා, පාලනය ‘රීසෙට්’ කරන බවට ආචාර්ය හරිනි පළ කළ අදහස ගැන ලිපියක් ලියා තිබුණි. හරිනි ‘රීසෙට් කිරීම’ යනුවෙන් කියන්නේ අදහස් කරන්නේ කුමක්දැයි සිහිබුද්ධියෙන් අවබෝධ කරගත යුත්තකි. බි‍්‍රතාන්‍ය පාලන සමයේ රටේ නීතිය හා සාමය පැවති බව කියන්නෝ සිටිති. ‘සුද්දා හිටියා නම් හොඳයි’ කීමේ අර්ථය එයයි. හරිනි, සුද්දා හොඳ බව කියයි. ලාල් කාන්ත පැරණි සිංහල ගම්සභා ක‍්‍රමයේ වටිනාකම දකියි. ලාල් කාන්තගේ සහ හරිනිගේ අදහස් පරස්පරය. මාලිමාවේ මත ගැටුමක් පවතී.

ජවිපෙ මත ගැටුම් මැද ගොඩනැගුන පක්ෂයකි. 71 අප‍්‍රියෙල් පහරදීමේ තීන්දුව ගැන හිරේ සිටි වීජේවීර නොදත්තේය. විද්‍යෝදය සංඝාරාමයේදී ඒ තීන්දුව ගත් නායකයින් වැඩි දෙනා පහරදීම්වලට සහභාගි නොවී ජිවිතය රැුකගැනීමට සැඟවී සිටියහ. දේවස්ථානය හරහා ජර්මනියට ගිය බර්ටි රංජිත් (ලොක්බීල්), විජේවීර මුදවාගන්නා මුවාවෙන්, යාපනේ හිරගෙදර සිටි ඔහු ඝාතනය පිණිස ගිය අයෙකු බව කියැවේ. කැරැල්ල නිසා සිංහල බෞද්ධ රටට විශාල විපතක් සිදු විය. සිරගත වූ ජවිපෙ සාමාජිකයින්ගේ පවුල් විශාල සංඛ්‍යාවක් යාච්ඤා කල්ලිවලට ගොදුරු විය.

අප‍්‍රියෙල් කැරැල්ලෙන් පසු විජේවීරගේ නායකත්වය යටතේ යළි ගොඩනැගුණු ජවිපෙ මත ගැටුම නිසා බෙදුණි. කෝට්ටේ ජවිපෙ සංවිධායක ප‍්‍රධාන පිරිසක් පක්ෂයෙන් ඉවත්වීම නිදසුනකි. ඔවුන් මධ්‍ය කාරක සභාවේ සිටි බුද්ධිමතුන් පිරිස හැටියට සැලකේ. එයින් පසු ලෝක දේශපාලනය නොදත් පන්දම්කාරයෝ විජේවීර වටකර ගත්හ. ප‍්‍රතිඵලය අතිවිශාල සිංහල බෞද්ධ තරුණ පිරිසක් ඝාතනය වීමයි. පැරා මිලිටරි හමුදා අතින් 600 කට අධික තරුණ භික්ෂූන් පිරිසක් අපවත් වූ බව ප‍්‍රසිද්ධ පුවතකි. චන්ද්‍රිකා සමඟ හවුලේ ආණ්ඩු කළ ජවිපෙ ඇමතිවරු ඒ ගැන සොයා නොබැලූහ.

ලාල් කාන්ත, ටිල්වින් සිල්වා, විජිත හේරත් වැන්නෝ, පක්ෂයට සම්බන්ධ ඉංග‍්‍රීසි බස හොඳින් නොදන්නා සාමන්‍ය සිංහලයින්ට නායකත්වය සපයති. ආචාර්ය හරිනි අමරසූරිය යනු පක්ෂයේ ඉංග‍්‍රීසි කතාකරන උගත් පංතියේ සංකේතයයි. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, විශ‍්‍රාමික හමුදා නායකයින්, විශ‍්‍රාමික පොලිස් නිලධාරීන් යම් පිරිසක් එක්වීමෙන් පසුව මාලිමාව තුළ මෙම පංතියේ බලය වර්ධනය වී තිබේ.

අනුර දිසානායක, ලන්ඩන් නුවරදී මහත් පිළිගැනීමකට ලක් විය. ඊට හේතුව පෙඩරල් ක‍්‍රමයට විරුද්ධ සිංහල නායකයෙකු ලන්ඩන් එන බව ඇසූ සැණින් පරල වන ලන්ඩන්හි වෙසෙන දෙමළ ඩයස්පෝරාව මාලිමාවට දැක්වූ හිතෛශීකමයි. නමුත් ඔවුන්ගේ රට බෙදීමේ අදහස අබමල් රේණුවකින්වත් වෙනස් වී නැත. ඔවුහු, පෙර ලෙසම බටහිර රටවල ආධාර හා අනුග‍්‍රහය ලබමින් සිටිති. මාලිමාව මගින් රටේ දේශපාලන අරගලයක් ඇති කර ඒ ආධාරයෙන් බෙදුම්වාදී බෝම්බය පිපිරවීම ඔවුන්ගේ අරමුණයි.

මැතිවරණය ජයග‍්‍රහණය කළහොත් මාලිමාව තුළ සිටින බටහිරට අතිශයින්ම ගැති ඉංග‍්‍රීසිය පුදන බෞද්ධ විරෝධී බලවේගය සහ සමාජවාදී උමතුවෙන් පෙළෙන සිංහලෙන් කතාකරන නූගතුන්ගේ බලවේගය අතර පාලන බලය සඳහා අරගලයක් සිදු වන බව ඩයස්පෝරාවේ විශ්වාසයයි. එවිට ඔවුන්ගේ සහ බටහිර රටවල ආධාරයෙන් හරිනි අමරසූරියලාගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාර්ශ්වයේ බලය තහවුරු කිරීම සිදු වේ. ඒ ජයගැනීම සිදුවන්නේ විශාල ලේ වැගිරීමකින් ලාල් කාන්තලාගේ මාක්ස්වාදී බලවේගය චප්ප කිරීමෙනි. ඒ විනාශය හේතුවෙන් රටේ සිංහල ජාතිය සුළු ජන කණ්ඩායමක් වී ථෙරවාදී බුදුසසුන නැත්තටම නැති වී යන තැනට වැඩ සැලසෙනු ඇති.

සිදු වන්නට යන මේ විපතට විසඳුමක් ඇත. ඒ, රට හා සම්පත් විදේශීන්ට විකිණීම හා උතුර ඊළාම්වාදීන්ටත් නැගෙනහිර ඉස්ලාම් අන්තවාදීන්ටත් ඔප්පු මගින් බෙදාදෙමින් සිංහලයන්ට ඒ බිම් අහිමි කිරීම දේශපාලන දර්ශනය කරගත් රනිල් වික‍්‍රමසිංහ තව කාලයක් බලයේ රඳවා ගැනීම නොවේ. දකුණේ මිනිසුන් මොනවා කිව්වත් 13 දෙනවා යයි උතුරට කියන සජිත් පේ‍්‍රමදාස වැනි ළාමකයෙකු බලයට පත්කිරීමත් නොවේ. කළ යුතුව ඇත්තේ, කල්ලි කල්ලි හැදී හා හුදකලා වී ජාතිකත්වය රැකීමට වෙහෙසෙන සියලූ බලවේග ඒකාරාශි වීමයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link