මාලිමා බළල් අණ්ඩෙන් බුද්ධාගම බාවන සැලසුම

Last Updated on 3 days by admin

බලයට පත් වහාම උපරිම බලය බෙදීමකට සූදානම් බවත් පළාත් සභාවලට බලය පවාරදෙන බවත් පෙරේදා උතුරේ පැවැති රැස්වීමක දී සජිත් ප්‍රකාශ කළේය. ඊට සහභාගි වූ සුමන්තිරන්ගෙන් ඔවුන්ගේ පක්ෂයේ සහාය සජිත්ට ලබාදෙන බවට ප්‍රතිඥා ලැබුණි. සුමන්තිරන් සජිත්ට සහාය දැක්වීමට එක් හේතුවක් ක්‍රිස්තියානි බැඳීමයි. ප්‍රේමදාස ජනාධිපතිවරයා මිය ගිය පසුව එම පවුලට ක්‍රිස්තියානි බලය බලපෑම් කළ බව රහසක් නොවේ.

මාලිමාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බුදු දහමට ප්‍රමුඛස්ථානය දෙන බවට සඳහන් වන වගන්තිය ඉවත් කරනු ඇතැයි යන්න සැකයක්ම නොවේ. මාලිමාවේ නායක නායිකාවන් පසුගිය කාලයේ කළ බෞද්ධ විරෝධී කතා, පිරිත් නූල් කඩා විසිකිරීම වැනි සිද්ධි නිදසුනකි. මේ පිළිබඳව වේදිකාවක සඳහන් කළ පිදුරංගල ආනන්ද සාගර හිමියන්ගෙන් රු. බිලියන 10ක වන්දියක් ඉල්ලා ජවිපෙ නායක අනුර කුමාර දිසානායක එන්තරවාසියක් එවා ඇතැයි පැහැදිලි කරන වීඩියෝවක් දකින්නට පුළුවන.

මාලිමා හිතවත්තු මේ කිසිවක් නොපිළිගනිති. හරිනි අමරසූරිය, 2015-19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත් මණ්ඩලයේ සාමාජිකාවක පමණක් බවත් ආන්fදා්ලනයට ලක්ව තිබෙන, බුද්ධාගමට ඇති ප්‍රමුඛස්ථානය ඉවත් කිරීමේ යෝජනාව එම කමිටුවේ එකක් මිස හරිනි අමරසූරියගේ එකක් නොවන බවත් මාලිමා පාර්ශ්වයේ පිළිතුරයි.

අපට ලැබුණු ලේඛනයක, අදාළ කෙටුම්පතේ ඇතුළත් නිර්දේශ අතර, අංක iV යටතේ හරිනි අමරසූරිය, එස්.සී.සී. ඉළංකෝවන්, කුමුදු කුසුම් කුමාර, කාන්ති රණසිංහ, එස්. සෙල්වක්කුමාරන් යන අය විසින් ඉදිරිපත් කරන ලද, ‘ශ්‍රී ලංකාව අනාගමික රාජ්‍යයක් විය යුතුය’ යන නිර්දේශය තිබේ. එනිසා, මාලිමා පාර්ශ්වයේ පිළිතුර නිශේධනය වේ.

මාලිමාව නිකුත් කර ඇති, ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ නමින් යුතු ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 230 වැනි පිටුවෙහි, ‘2015 – 2019 කාලය තුළ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්දානය කිරීමට අනුගමනය කළ ක්‍රියාදාමය කඩිනමින් අවසන් කොට සමානාත්මතාව හා ප්‍රජාතන්ත්‍රවාදය මත පදනම්ව එක් රටක් තුළ සියලු ජනතාවට පාලනයට සම්බන්ධ විය හැකි වන සේ සෑම පළාත් පාලන ආයතනයකටම දිස්ත්‍රික්කයකටම සහ පළාතකටම දේශපාලනමය හා පරිපාලනමය වශයෙන් බලය බෙදා හැරෙන ආණ්ඩුකරණය සඳහා සියලු ජාතිකත්වයන්ගේ දේශපාලන හවුල්කාරිත්වය සහතික කරන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම’ යනුවෙන්, සඳහන්ය.

බලය ලදහොත්, 2015-19 යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත කඩිනමින් අවසන් කොට බලාත්මක කිරීම මාලිමාවේ අදහසයි.

මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශනය සුරංගනා කතා පිරුණු පිස්සාගේ පළාමල්ලක් වැනි එකකි. එසේ වී ඇත්තේ ජනතාව නොමග යැවීමට ප්‍රයෝගකාරී පාඨ රිංගවීමට යාමෙනි. මේ උදාහරණයකි:

‘බලය ලබාගැනීමේත් බලය පවත්වාගෙන යාමේත් පටු අවස්ථාවාදී දේශපාලන වුවමනාවන් වෙනුවෙන් ජාතිකත්ව හා ආගමික ජනකොටස් අතර අනෝන්‍ය සැකය හා අවිශ්වාසය අසමගිය ඇති කිරීමේ ප්‍රතිඵල ලෙස වසර 30ක ඛේදනීය යුද්ධයකට මුහුණ දෙන්නට අපිට සිදු විය.’ (229 පිටුව)

මෙම පාඨයේ පරමාර්ථය යුද්ධයේ වරද සිංහල බෞද්ධයන් පිට පැටවීමයි. එය බරපතල නොමග යැවීමකි. වසර 30ක යුද්ධය දෙමළ බෙදුම්වාදීන්ගේ නිර්මාණයකි. එහි ආගමික ස්වරූපයක් තිබුණේ නම්, ඒ උතුරේ ඊළාම් රාජ්‍යය පිහිටුවා එය කතෝලික රාජ්‍යයක් කිරීමේ පල්ලියේ අරමුණයි.

දැනට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 2 වැනි පරිච්ඡේදයේ 9 වැනි ව්‍යවස්ථාවේ II වගන්තියේ ‘ශ්‍රී ලංකා ජනරජය බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනමන්නේය. එහෙයින් 10 ව්‍යවස්ථාවෙන් සහ 14 (ඉ) ඡේදයෙන් සියලු ආගම්වලට පිරිනැමෙන අයිතිවාසිකම් ආරක්ෂා කර දෙන අතර බුද්ධාගම සුරක්ෂිත කොට පෝෂණය කරනු ලැබේ.’ යනුවෙන් සඳහන් වේ.

එකී, 10 ව්‍යවස්ථාව මෙසේය: ‘සෑම තැනැත්තෙකුටම තමන් අභිමත ආගමක් ඇදහීමේ හෝ වැළඳගැනීමේ නිදහසද ලබ්ධියක් හෝ විශ්වාසයක් දැරීමේ හෝ පිළිගැනීමේ නිදහසද ඇතුළුව සිතීමේ නිදහසට, හෘදය සාක්ෂියේ නිදහසට සහ ආගමික නිදහසට හිමිකම් ඇත්තේය.

එකී 14 (ඉ) ඡේදය මෙසේය: ‘එකලාව හෝ අන් අය හා සමග, ප්‍රසිද්ධියේ හෝ පෞද්ගලිකව තම ආගම, ලබ්ධිය හෝ විශ්වාසය ඇදහීමෙන්, පිළිපැදීමෙන්, ප්‍රගුණ කිරීමෙන් සහ ඉගැන්වීමෙන් ප්‍රකාශ කිරීමේ නිදහසට … හිමිකම ඇත්තේය.’

මෙයින් සියලු ආගම්, ඇදහිලි, ලබ්ධීන් සියල්ල ඇදහීමට ඕනෑම පුරවැසියෙකුට ඇති අයිතිය තහවුරු කර ඇත. මේ ආකාරයෙන් රට වැසියාට ආගමික නිදහස හා සමානාත්මතාව දෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් වෙනත් දකුණු ආසියානු රටක නැත.

2015-19 ආ.ව්‍ය. ප්‍රතිසංස්කරණ එළිදැක්වුණු පසු, ඊට විරෝධය පළ කරමින්, පූජ්‍ය දිවියාගහ යසස්සි නාහිමියන්ගේ සභාපතිත්වයෙන් යුතු බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය නිවේදනයක් නිකුත් කළේය. පූජ්‍ය ත්‍රිකුණාමලයේ ආනන්ද, කොටුගොඩ ධම්මාවාස, ඉත්තෑපාන ධම්මාලංකාර සහ දොඩම්පහළ චන්ද්‍රසිරි යන මහ නාහිමිවරුන් හා බෙල්ලන්විල විමලරතන අනු නාහිමිවරුන්, වැලමිටියාවේ කුසලධම්ම, බළංගොඩ සෝභිත, අකුරටියේ නන්ද, මාතලේ ධම්මකුසල සහ කොටපොල අමරකිත්ති යන නාහිමිවරුන්, මහාචාර්ය අගලකඩ සිරිසුමන සහ සිරි වජිරාරාමයේ ඤාණසීහ යන හිමිවරු බු.ශා.කා. මණ්ඩලයේ සෙසු සාමාජිකයෝ වූහ. එහිදී ඉතා වැදගත් කරුණු කීපයක් අවධානයට බඳුන් කෙරිණි.

“මෙම අතුරු වාර්තාවෙන් වර්තමාන 09 වැනි වගන්තිය වෙනුවට විකල්ප විධිවිධාන දෙකක් යෝජනා කර තිබේ. ඉහත කී විකල්ප විධිවිධාන දෙකෙන් පළමුවැන්න වර්තමාන 09 වැනි වගන්තියට බොහෝ සෙයින් සමාන නමුත්, වර්තමාන ව්‍යවස්ථාවේ 09 වැනි වගන්තියේ ‘ශ්‍රී ලංකා ජනරජය’, ‘ශ්‍රී ලංකාව’ යනුවෙන් වෙනස් කර ඇත. මෙම සංශෝධනය කර ඇත්තේ යටි අරමුණ ඇතිව බව පැහැදිලිය. බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දීම ශ්‍රී ලංකා ජනරජයේ වගකීමක් ලෙස වර්තමාන 09 වැනි වගන්තියේ දැක්වෙන්නේ ඒ සඳහා අවශ්‍ය රාජ්‍ය අනුග්‍රහය ලබාදීම සඳහාය.

‘ජනරජය’ යන වචනය මෙම විධිවිධානයෙන් ඉවත් කර ඇත්තේ එම රාජ්‍ය අනුග්‍රහය ඉවත්කර ගැනීමට බව පෙනේ. දෙවැනි විකල්ප විධිවිධානයෙන් යෝජනා කර ඇත්තේ අනෙකුත් ආගම් වෙනස් ලෙස නොසැලකිය යුතු බව සහතික වීමටය. අනෙක් ආගම්වලට වෙනස් ලෙස බුද්ධාගමට නොසලකා බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබාදිය නොහැකිය.

මෙය බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දෙන 09 වැනි වගන්තිය අර්ථ ශුන්‍ය කිරීමට ගත් උත්සාහයක් බව පැහැදිලිය. එහෙයින් වර්තමාන ව්‍යවස්ථාවේ බුද්ධාගමට හා අනෙකුත් ආගම්වලට අදාළ වන වගන්ති කිසිදු අයුරකින් වෙනස් නොකරන ලෙස අපි දන්වා සිටිමු.”

මෙයින් පැහැදිලි වන්නේ, බුද්ධාගමට ඇති තැන ඉතා කූට අයුරින් පහළ දැමීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක බවයි. මාලිමාවේ අදහස මේ යෝජනා ඇතුළත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කඩිනමින් බලාත්මක කිරීමයි.

මාලිමාවේ නායකයන්ගෙන් දිගින් දිගටම එල්ල වන බෞද්ධ විරෝධී ප්‍රකාශ හා ක්‍රියාවන් මගින් තහවුරු කෙරෙන්නේ, ඔවුන් තුළ බුදු සසුන කෙරෙහි ඇති වෛරයයි. ඔවුන් වෙනත් කිසිම ආගමකට එලෙස නින්දා කරන්නේ නැත. ගුරා හිටගෙන හුජ්ජ කරන විට ගෝලයින් දුව දුව හුජ්ජ කරනවා යැයි කියන්නා සේ දැන් මාලිමාවේ හිතවත්තුද බෞද්ධ වත්පිළිවෙත්වලට ගරහමින් බෞද්ධයින්ට පාච්චල් කරන්නට පටන්ගෙන තිබේ.

සියලු ආගම් ඇදහීමේ නිදහස සහතික කිරීම මාලිමාවේ ප්‍රතිපත්තිය නම්, ඔවුන්ගේ නායකයින් හා පාක්ෂිකයන්, බෞද්ධ වත්පිළිවෙත්වලට පමණක් ගරහන්නේ ඇයි දැයි ප්‍රශ්න කළ යුතුව තිබේ.

බුද්ධාගම ආරක්ෂා කිරීමට, උඩරට ගිවිසුම යටතේ බි්‍රතාන්‍ය පාලකයන්ද පොරොන්දු වී තිබුණි. ඊට හේතුව වූයේ, එය ඔවුන්ගේද සම්ප්‍රදාය බැවිනි. බි්‍රතාන්‍යයේ රජු හෝ රුජින, එංගලන්ත සභාව නමැති ආගමේ ආරක්ෂකයාය.

මෙය බොහෝ රටවල දැකිය හැකි තත්වයකි. නෝර්වේ ව්‍යවස්ථාවෙහි, එය ලූතර් ක්‍රිස්තියානි රටක් වශයෙන් සඳහන්ය. සවුදි අරාබියේ රජු, මක්කම, ධීරා යන ඔවුන්ගේ ප්‍රධාන මස්ජිඩ දෙකේ භාරකාරයාය. ලෝකයේ හැම රටක්ම පාහේ නීති මගින් හෝ සම්ප්‍රදායයන් මගින් රටේ ප්‍රධාන ආගම ආරක්ෂා කිරීමට කටයුතු කරයි. නිරාගමික රාජ්‍ය යනුවෙන් දෙයක් ලෝකයේ කොහේවත් නැත.

ශ්‍රී ලංකා ජනරජය බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දී පෝෂණය කළ යුතු වන්නේ, මෙය ථෙරවාදී බුදුසසුනේ කේන්ද්‍රස්ථානය බැවිනි. දළදා වහන්සේ, ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩ ඉන්නේ මෙහිය. මේ බිම පැරණි රජදරුවන් හත් වාරයක් බුදුන්ට පූජා කර තිබේ. යේසුස් වහන්සේ උපත ලැබූ බෙහෙත්ලෙහෙම කිතුනු බැතිමතුන්ට වටින්නේ යම් සේද, සවුදි අරාබියේ මක්කම හා ධීරා නගර පිහිටි සවුදි අරාබිය ඉස්ලාමිකයන්ට වැදගත් වන්නේ යම් සේද, සකල ලෝකවාසී බෞද්ධයන්ට මේ රට වටින්නේය.

බ්‍රිටිෂ් කවුන්සිලයේ අන්තර්ජාල අඩවිය පැහැදිලි කරන පරිදි එහි රාජ්‍යාගම ක්‍රිස්තියානියයි. The UK’s official religion is Christianity, and churches of all denominations can be found throughout the UK, such as Catholic, Protestant, Baptist and Methodist. ශ්‍රී ලංකාව නිරාගමික රාජ්‍යයක් විය යුතු බව යෝජනා කරන්නේ එහි සිට මෙහි පාත්වූ හරිනි අමරසූරිය වීම අපූරු විහිළුවක්ම නොවේ. ඒ යට සැඟවුණු රහස් තිබේ.

වර්තමාන ව්‍යවස්ථාවෙහි 9 වැනි ව්‍යවස්ථාව ‘බුද්ධාගම’ යනුවෙන් නම්කර ඇත්තේ, බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දෙන බව අවධාරණය කිරීමටය. මාලිමාව ක්‍රියාත්මක කරන බව කියන, 2015-19 ප්‍රතිසංස්කරණ මගින් 9 වැනි ව්‍යවස්ථාව ‘ආගම්’ යනුවෙන් වෙනස් කිරීමට යෝජනා කර තිබේ. එසේ බුද්ධාගම, ආගම් යනුවෙන් වෙනස් කිරීමේ අරමුණ, බුද්ධාගමට ඇති ප්‍රමුඛස්ථානය අහිමි කිරීමයි.

මේ කූට ප්‍රයෝගය එළිදරව් කෙරෙන තවත් ලේඛනයක් පසුගියදා කතෝලික බිෂොප්වරුන්ගේ සමුළුව මගින් එළියට දැම්මේය. එහි මෙවැනි වගන්ති ඇතුළත්ය.

“….. දිගු කලක් බලාසිටි, දූෂණය සහ ඒ ආශ්‍රිත දුර්ගුණ මුලිනුපුටා දැමීමට අවශ්‍ය ක්‍රම-වෙනස සිදු කිරීම සඳහා බුද්ධිමත් සහ නිර්භීත නායකයෙකු ශ්‍රී ලාංකීය ජාතියට අවශ්‍යය.

…. දිවයිනේ ප්‍රධාන ආගම් හතරේ සාරධර්ම මත පදනම් වූ…”

මෙයද මාලිමාවේ උපක්‍රමය අනුගමනය කරමින් සූක්ෂ්ම අයුරින් රචනා කරන ලද ලේඛනයකි. ‘දූෂණය නැති කිරීම සඳහා ක්‍රම-වෙනස සිදු කිරීමට බුද්ධිමත් නිර්භීත නායකයකු පත් කරගත යුතුය යන්නෙන් බිෂොප් සම්මේලනය සිය බැතිමතුන්ට ව්‍යංගයෙන් ඉඟි කරන්නේ, මාලිමාවේ අපේක්ෂකයාට ඡන්දය දිය යුතු බවයි. මෙහි ඇති ඉතා වැදගත්ම ප්‍රකාශය එය නොවේ. ඊට යටින් ඇති ඡේදයේ සඳහන්, ‘දිවයිනේ ප්‍රධාන ආගම් හතරේ…’ යන වචන හතරයි.

මේ මගින් කතෝලික බිෂොප් පැහැදිලිවම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් බුද්ධාගමට දී ඇති ප්‍රමුඛස්ථානය නොසලකා හැර තිබේ. එය රටේ මූලික නීතියට විරුද්ධව කටයුතු කිරීමකි.

කිසියම් ප්‍රධානියකු සිටින තැන, ඒ තැනැත්තාට ඊට නිසි ගෞරවය ලබාදීම ඕනෑම ශිෂ්ට සම්පන්න සමාජයක සිරිතයි. උදාහරණයක් දක්වන්නේ නම්, කාදිනල්තුමා සහ ඊට පහළ පූජකවරුන් සිටින සභාවක, පූජකවරුන්ගෙන් අවසරයි යනුවෙන් කිසිවකු කියන්නේ නැත. පළමුව කෙරෙන්නේ කාදිනල්තුමන් ගැන සඳහන් කිරීමයි.

එපරිද්දෙන්, උක්ත වාක්‍යය ‘බුද්ධාගම ප්‍රධාන කොට ඇති’ ආදි වශයෙන් බුද්ධාගමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් දී ඇති ප්‍රමුඛස්ථානයට ගරු කරමින් ආරම්භ කිරීම ඕනෑම ශිෂ්ට සම්පන්න පුද්ගලයකුගේ හෝ සංවිධානයක වගකීමයි.

කතෝලික බිෂොප්වරුන්ගේ සම්මේලනය හිතාමතාම බුද්ධාගමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් දී ඇති ප්‍රමුඛස්ථානය නොසලකා හැර ඇත.

කතෝලික පල්ලිය අපේක්ෂා කරන සැබෑම ක්‍රම-වෙනස එයයි. ඔවුන්ට අවශ්‍යව ඇත්තේ බුද්ධාගමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් දී ඇත් ආරක්ෂාව ඉවත් කිරීමටය.

කතෝලික ආගම ලෝකයේ බලවත්ම ආගමයි. බුද්ධාගම යනු කුඩා ආගමකි. එය වසර දෙදහස් පන්සීයකට අධික කාලයක් මුළුල්ලේ, හින්දු, කතෝලික, ඉස්ලාම් යන ආගම්වලින් පහර කමින් දුර්වලවෙමින් සිටින ආගමකි.

බුද්ධාගම සෙසු ආගම් මෙන්, අන්‍යාගම් යටපත් කොට ඉස්මතු වීමට උත්සාහ ගන්නා ආගමක් නොවේ. කරුණාම මෛත්‍රිය පදනම් කොටගත් අවිහිංසාවාදී ආගමකි. එවන් ආගමක් ආරක්ෂා කිරීමට රජයක් මැදිහත්වීම අසාධාරණ නැත. එය ඕනෑම රජයක වගකීමකි, යුතුමකි. බුදු සසුන ආරක්ෂා වන තාක් මේ රට සියලු ආගමිකයන්ටම ආරක්ෂිත එකක් වනු ඇත.

ලංකාවේ කතෝලික සභාව හිතාමතාම බෞද්ධ සංස්කෘතිකාංග අත්පත් කරගනිමින් සිටියි. පූජකවරුන් ‘හිමි’ නමින් හැඳින්වීම මෙයට දිය හැකි සරලම උදාහරණයයි. මෙය ශිෂ්ට ලෝකය විසින් ප්‍රතික්ෂේප කරනු ලබන ක්‍රියාවකි. Cultural Appropriation යනුවෙන් ඉංග්‍රීසියෙන් හැඳින්වෙන මෙවැනි කටයුතු පිළිබඳව විශාල කථිකාවක් ලෝකයේ පවතී. මේ ඒ ගැන පැහැදිලි කිරීමට අවස්ථාව නොවේ. එවැනි සංස්කෘතික ආක්‍රමණ මගින් පැහැදිලි වන්නේ, කතෝලික සභාව බුදුදහම ආක්‍රමණය කරමින්, යටපත් කරමින් සිටින බවයි. මෙය සිංහල බෞද්ධයින් මෙන්ම කතෝලික ජනතාවද අවබෝධ කරගත යුතු වැදගත් කරුණකි.

මෛත්‍රි-රනිල් හවුලේ යහපාලන සමයේදී උක්ත 2015-19 ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ සම්මත කරගැනීමට නොහැකි වූයේ, මහා සංඝරත්නයේත් බෞද්ධ මහා සම්මේලනය ප්‍රධාන බෞද්ධ සංවිධානවල හා වෙනත් බෞද්ධ පාර්ශ්වයන්ගේ විරෝධය නිසාය. එම ප්‍රතිසංස්කරණ අතර බුද්ධාගමට ඇති ප්‍රමුඛස්ථානය ඉවත් කිරීමට අමතරව රට බෙදීමට, රණවිරු දඩයමට පාර කපන අහිතකර යෝජනාද තිබේ.

2015-19 ප්‍රතිසංස්කරණ යෝජනා අකුලා ගැනීමට සිදුවීම නිසා, රනිල්, සජිත් දෙදෙනා මගින් බුද්ධාගමට ඇති ප්‍රමුඛස්ථානය ඉවත් කරගැනීම අපහසු බව ඒ වුවමනාව ඇති පාර්ශ්ව දනී. ඒ සඳහා අතිශය පැසිස්ට්වාදී, මුරණ්ඩු, බුදු සසුනට වෛර කරන පාලනයක් අවශ්‍ය බව ඔවුන් වටහාගෙන තිබේ.

ඒ සඳහා අවශ්‍ය සියලු සුදුසුකම් තමන්ට ඇති බව මාලිමාවේ ගාමක බලවේගය වන ජවිපෙ ඔප්පු කර ඇත. 87-89 සමයේ දෙපැත්තේම මිනිමරුවෝ එහි වේදිකාවල ප්‍රසිද්ධියේ පෙනී සිටිති. විජේවීර පණපිටින් ආදාහනාගාරයට විසි කළ හසමුදා නිලධාරියා මාලිමා වේදිකාවේ සිටි බවට, එම අවස්ථාවේ ඡායාරූප ශිල්පියකු වශයෙන් සිටි, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ඉන්ද්‍රානන්ද ද සිල්වා මෑතකදී හෙළි කළේය. අරගලය අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු හා ආරක්ෂකයකු මහපාරේ ඝාතනය කර, නිවාස හා දේපොළ ගිනිතැබූ අළු තවමත් අහසේ පාවෙයි. පාර්ලිමේන්තුව විනාශ කිරීමේ ඔවුන්ගේ උත්සාහය වැළකුණේ යාන්තමිනි. මේ දිනවල ජවිපෙ නායකයින්ගේ අංග චලනයන් හා කතා විලාසය එනපොට හොඳ නැති බවට ඉඟියකි.

මෑතකදී, මාලිමාව, දේශප්‍රේමී ලේඛකයකු වන එරික් ගාමිණී ජිනප්‍රියගේ පොතක් එළිදක්වීමේ උළෙලට විරෝධය පළකර එය අත්හිටුවීමට කටයුතු කර ඇති බවට ලිපියක් බෝධි සබාවේ පළව ඇත. එහි සඳහන් පරිදි මාලිමාව දිවයින පුවත්පතට තර්ජනය කර මාධ්‍යවේදියාගේ වැඩ අත්හිටුවීමටද කටයුතු කර තිබේ. මෙය පැහිදිලිවම මානසික මැර ප්‍රහාරයකි. අදහස් පළ කිරීමේ අයිතියට බැට දීමකි. එම අවස්ථාවේ වැඩම කර සිටි බෙංගමුවේ නාලක හිමියන්ට හා ඕමාරේ කස්සප හිමියන්ට දේශන පැවැත්වීමට අවසර දී නැත.

මාලිමාව කාලයක සිට සිය ප්‍රතිවාදීන්ට මානසික මැර ප්‍රහාර එල්ල කරමින් සිටී. මාලිමාවේ යූටියුබ්කාරයෙකු, ‘යූරියා සමන්ත, මිහින්තලේ ධර්මෙ, මහමෙවුනාවේ ඥානේ වගේ අය අපිත් එක්ක හැප්පෙන්න ආවොත් සිවුරු ගලවලා ගහන්නේ යැයි කියමින් මහා සංඝරත්නයට නිද්දා කරමින් බියවද්දන වීඩියෝවක් නිකුත් කර ඇත්තේ ඡන්දය කටේ තිබියදීය.

මහා සංඝරත්නය හා උගතුන් නිහඬව සිටින්නේ මේ මානසික මැර ප්‍රහාරයන්ට ඇති බිය නිසාය. අද මුළු මහත් සමාජයේම මාලිමා හිතවතුන් නොවන පිරිස සිටින්නේ භීතියෙනි. මෙය ඉතා පැහැදිලිව අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය බලහත්කාරය යොදා අහුරාලීමකි.

ආණ්ඩුක්‍රම වෙනසක් මගින් තම අපේක්ෂාවන් ඉටුකර ගැනීමට බලා සිටින බෞද්ධ විරෝධී, බෙදුම්වාදී කණ්ඩායම්වලට මාලිමාව බලයට ගෙන ඒමට අවශ්‍යතාව ඇත්තේ මේ නිසාය. බලය ලැබුණොත් බලහත්කාරය පාවිච්චි කර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒම මාලිමාවට ඒ තරම් කජ්ජක් නොවේ.

මේ රට බංකොළොත් වූයේ දැන් සිටින මාලිමාවේ නොවන දේශපාලකයන් පමණක් නිසා නොවේ. සුද්දාගේ කාලයේත් මේ රට පාඩුවට දුවා තිබේ. 1910 – 1950 වසර 40න් වසර 20ක් තිබී ඇත්තේ අයවැය හිගයකි. සුද්දා අපට බාරදී යන්නේ සූප්පු කර ඉස්ම මිරිකා බිව් කජුපුහුමකි. රට ණයබරින් මිරිකීම තදින් ඇරඹුණේ 1977 ආර්ථික ප්‍රතිපත්ති හා 87-89 ජවිපෙ භීෂණය අවස්ථාවේ පටන්ය. කොටි ත්‍රස්තවාදය නිසා එය තවත් උග්‍ර විය. ජවිපෙ සිදු කළ දේපොළ විනාශය හා වැඩවර්ජනද ආර්ථිකය කඩාවැටීමට හේතු විය. මේවා නොතකා රටේ ආර්තිකය ගැන කතාකිරීම විහිළුවකි.

ජවිපෙ හෝ මාලිමාවේ මාර්ගඵලලාභීන් නැත. එවැනි උතුමෝ කබල් දේශපාලනයට නොඑති. ඒ නිසා මාලිමාවට බලය දුන්නොත් රටේ දූෂණ වංචා නැතිවනු ඇතැයි සිතීම මෝඩකමකි. පසුගිය කාලයේ ඔවුන්ට සුළු බලයක් ලැබුණු අවස්ථාවල කළ දූෂණ ඕනෑ තරම් තිබේ. කලකට පෙර මහනුවර දිස්ත්‍රික්කයෙන් පත්වූ ජවිපෙ මන්ත්‍රීවරයා මහනුවර දිස්ත්‍රික්කයට කළ එකම සේවය සිය ඥාතියකුගේ නිවසට යන පාර හැදීමයි. මාතර දිස්ත්‍රික්කයේ ජවිපෙ බලය ලැබූ පළාත් පාලන ආයතන බල ප්‍රදේශවලින්ද මෙවැනි උදාහරණ පෙන්වා දිය හැකිය.

2009න් පසු මේ රටේ මිනිසුන්ගේ හිත්වලින් මර බිය ඉවත් විය. එය නැවත දැනෙන්නට පටන්ගත්තේ අරගලය අවස්ථාවේය. මාලිමාවට බලය දුන්නහොත් එය නිතර නිතර අලුත් කරගන්නට පුළුවන්කම ලැබෙනු ඇත. මාලිමාවට ඡන්දය දෙන බෞද්ධ සැදැහැවතුන් වෙතොත්, තමන් පත් කරගන්නා ආණ්ඩුව යටතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බුද්ධාගමට ඇති ආරක්ෂාව නැති වුන පසුව, ‘අනේ අපොයි සංසාරේ අපිත් කරගත්ත ගොන්කමක්’ කියමින් කම්මුලේ අත ගසාගෙන ඉන්නට පුළුවන් වනු ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link