බෞද්ධාලෝක පදනමේ කිරි කළයට ගොම තලියක් දැම්මේ කවුද

Last Updated on 3 weeks by admin

‘ආර්ය’ න්‍යාය, බ්‍රිතාන්‍ය යටත් විජිතයට සේවය කළ මැක්ස් ම්‍යුලර් ප්‍රධාන බටහිර උගතුන් පිරිසකගේ දක්ෂ නිර්මාණයකි. එය තහවුරු කිරීමට බ්‍රිතාන්‍ය ඉන්දියාවේ උගතුන් කිහිප දෙනෙක්ම පෙළ ගැසුනහ. මේ සාවද්‍ය න්‍යාය පාසල් පොත්වලට පවා ඇතුළු කිරීමට ඔවුන්ට හැකි විය.

ආර්ය න්‍යාය හේතුවෙන් ඉන්දියාවට විශාල හානියක් සිදු විය. ස්වදේශිකයින් යුරෝපීන් හා සමාන සංක්‍රමණිකයෝ බවට පත් වූහ. ඉස්ලාම් ආක්‍රමණ, ආක්‍රමණ ලෙස හැ’දින්විය නොහැකි විය. ආර්ය න්‍යායෙන් පැවසෙන්නේ, මධ්‍ය ආසියාවේ සිට පැමිණ එඩේරුන් හින්දු ශිෂ්ටාචාරයේ ආරම්භකයින් බවයි. සංස්කෘත ඔවුන්ගේ භාෂාව බවයි. වේද, ඔවුන්ගේ ආගමික ගීත බවයි. යුරෝපීය භාෂා හා සංස්කෘත අතර පවතින යම් යම් සමානතා ඉදිරිපත් කරමින් මෙම න්‍යාය නිර්මාණය කර ඇත.

ඉන්දියාවේ උතුරු හා දකුණු ප්‍රදේශ අතර බෙදීමක් හට ගැනීම ආර්ය න්‍යායේ ප්‍රතිඵලයකි. රටේ දකුණේ මිෂනාරි කටයුතුවලට පැමිණි ක්‍රිස්තියානි දේවගැතිවරු, ආර්ය නොවන්නන් (අනාර්යයන්) නමින් දෙමළ හා දකුණේ භාෂා කතාකරන පවුලක් ඉදිරිපත් කළහ. ඉන්දියාව සහ ඉන්දියානුවන් බෙදීමට ලක් කෙරුණු ආර්ය න්‍යාය ප්‍රතික්ෂේප කරන ඉන්දීය උගතුන් විශාල පිරිසක් වර්තමානයේ සිටිති. නරේන්ද්‍ර මෝදිගේ නායකත්වයෙන් යුතු භාරතීය ජනතා පක්ෂය බලයට පත්වීමෙන් පසු ඔවුන්ගේ ඉදිරිපත් කිරීම් රටේ තහවුරු වෙමින් පවතී. බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වන ආදි බුදුවරුන්ගේ කතා පවා සැබෑ සිදුවීම් බව පැහැදිලි කිරීමට නව ගවේෂකයින්ට හැකිවී තිබේ.

මොවුන් පෙන්වන ලෙසට ඉන්දියාවට ආර්ය ආක්‍රමණයක් එල්ල වූයේය යන කතාව අසත්‍යයකි. එහෙත් ආර්ය න්‍යායේ බොරුව හඳුනාගෙන වෙනස් වූ ඉතිහාසකරුවන් ලංකාවේ සිටින බවක් නොපෙනේ. මෙහි උගතුන්ගේ පොදු සිරිත, සාවද්‍ය මතවාදය ඇත්තක් යැයි ඔප්පු කිරීමට වෙහෙසීමයි. සිංහලයන් ආර්යන් බව ඔවුන්ගේ දැනුමයි. ඵෙතිහාසික දිඹුලාගල සෙල්ලිපිය කියවුවන් ‘පූර්ව බ්‍රාහ්මී අක්ෂර’ කතාවෙන් ඉදිරිපත් කරන්නේ ද එයයි.

මේ උගත්තු මහින්ද හිමියන් පැමිණීමට පෙර කාලයේ රටේ භාවිත කළ අක්ෂර පූර්ව බ්‍රහ්මී යයි කියති. ඒ අක්ෂර සහ ඉන්දු නිම්න අක්ෂර අතර සමානකම් මහාචාර්ය සෙනරත් පරණවිතාන පෙන්වා දී ඇත. මෙම අක්ෂර භාවිතා කළේ යයි අනුමාන කළ යුතු යක්ෂ සහ නාග ජනාවාස ඉන්දියාවෙහි ද පැවතුණි. සාංචි ප්‍රදේශය එක් නිදසුනකි. මණිමේඛලෛ සහ සිලප්පාදිකාරම් දෙමළ බෞද්ධ කාව්‍යන්හි නාග රාජධානි ගැන සඳහන් වේ.

බෞද්ධාලෝක පදනම, විද්වත් මණ්ඩලයක් යොදවා අවුරුදු තුනක කාලයක් වෙහෙසී, ‘ලක්දිව උතුරුකරයේ ආර්ය රාජධානිය’ මැයෙන් ග්‍රන්ථයක් සම්පාදනය කර තිබේ. එය දොරට වැඩීමේ උත්සවය අද (සැප්තැම්බර් 24) දින පැවැත්වීමට නියමිතය. මේ ග්‍රන්ථ නාමය, කිරි කළයක් දොවා ඊට ගොම තැම්බක් දැමීමක් හා සමාන ක්‍රියාවකි.

ආර්ය න්‍යාය පිළිගත් තමිල්නාඩුවේ ජාතිවාදී ඉතිහාසකරුවෝ, යුරෝපීන් පෙන්නූ ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ හිමිකරුවන් ද්‍රවිඩයන් යයි තර්ක කරන්ට ගත්හ. ඔවුන්ගේ මතය පිළිගත් ලංකාවේ දෙමළ ජාතිවාදී ඉතිහාසකරුවෝ ආර්ය සංක්‍රමණයට පෙර ද්‍රවිඩ රාජධානි ලංකාවේ පැවති බව කියන්නට ගත්හ. එනිසා කවුරුන් කෙසේ කීවත් උතුරේ ආර්ය රාජධානි කතාව බෙදුම්වාදීන්ට සේවය කරන්නකි.

ලංකාවේ ප්‍රධානතම බෞද්ධ සංවිධානය වන බෞද්ධ මහා සම්මේලනය නොගැලපෙන පුද්ගලයන්ට වගකීම් පැවරීම නිසා බෞද්ධයන්ට අහිතකර දේ සිදු වූ අවස්ථා තිබේ. ’යුරෝපීය චින්තනය බෞද්ධ පුනරුදය හා ඕල්කොට්’ පොතට සම්මාන පිරිනැමීම එක් නිදසුනකි. එහි කර්තෘ බන්දුපාල ගුරුගේ මෙම පොතෙන් කරන්නේ අනගාරික ධර්මපාලතුමා, මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමියන් වැනි ජාතික විරුවන්ට මඩ ගැසීමයි. (පානදුරාවාදයේ ජයග්‍රහණය මිෂනාරින්ට පවරා දුන් ඕල්කොට් මෙහෙයුම කෘතිය බලන්න.)

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය රට දැය සමය වෙනුවෙන් යම් සේවයක් කිරීමට උත්සාහ ගන්නා ආයතනයකි. ජනාධිපතිවරණයට පෙර, බෞද්ධ මහා සම්මේලනය, යෝජිත 2015-19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනවල අහිතකර භාවය පැහැදිලි කිරීමට අවස්ථාව සැලසෙන සේ ජනාධිපති ධුර අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති පැහැදිලි කෙරෙන සම්මන්ත්‍රණයක් පවා සංවිධානය කළාය.

බෞද්ධාලෝක පදනමද රටට හා බුදු දහමට සේවය කිරීමේ උනන්දුවක් ඇති ආයතනයක් බව ඔවුන්ගේ ශාස්ත්‍රීය සේවාවන්ගෙන් පැහැදිලි වේ. එසේ නම් මොවුන්ගේ කටයුතු කිරි කළයක් දොවා ඊට ගොම ටිකක් මිශ්‍රකිරීමක් බවට පත් වන්නේ කෙසේද?

රටට ජාතියට බුදුසසුනට සේවය කිරීමට ඉදිරිපත් වන නායකයින් හා සංවිධාන, ඊට විරුද්ධ අදහස් ඇති පුද්ගලයින් විසින් වට කරගැනීම කාලයක සිට සිදුවන්නකි. ඔවුන් කරන්නේ දෑ හිතකාමීන් ලෙසින් පෙනී සිටිමින් ඊට විරුද්ධ අදහස් ඉදිරිපත් කර ජාතික නායකයින් හා සංවිධාන විනාශ කිරීමයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link