ආණ්ඩුවේ අනාගතය ගැන පණිවිඩයක් අරගෙන ආ තැපැල් කෝළම

Last Updated on 1 day by admin

‘සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝධයා’ යනු, පෘතුගීසි පාලන කාලයේ ප්‍රචාරය කරන ලද කතාවකි. මෙවැනි කතාවක් ඇති වීමට ප්‍රධාන හේතුව සිංහලයන්ගේ දේශප්‍රේමයයි. පෘතුගීසි පූජකයින් සැදූ ඉස්කෝලය මගින් මේ කතාව මුහුදුබඩ පළාත්වල ජනප්‍රිය කිරීමට ඉස්කෝල ගුරුවරුන්ට හැකි විය. පෘතුගීසි සංස්කෘතියට ගොදුරු වූ සිංහලයෝ ඊට ගොදුරු නොවූ සිංහලයන්ට ‘මෝඩයෝ’ යැයි කියන්නට ගත්හ. ඒ අපහාස කාගෙන රට රැකැනීමට සිංහලයින්ට හැකි විය.

ඉංග්‍රීසි වෙළෙඳ සමාගමේ පාලකයින්ට පෟතුගීසින්ට වඩා අත්දැකීම් තිබුණි. ඔවුන්ට උපදෙස් සැපයූ විද්වත් නිලධාරි පැලැන්තිය ඊට උදාහරණයකි. බ්‍රිතාන්‍ය අධ්‍යාපන ක්‍රමයට රට ගොදුරු කිරීමට ඒ නිලධාරීන්ට හැකි විය. රනිල් වික්‍රමසිංහ බ්‍රිතාන්‍ය අධ්‍යාපන ක්‍රමය විසින් නිර්මාණය කළ දේශීය දේශපාලකයෙකි.

මහින්ද රාජපක්ෂගේ නාමයෙන් පොහොට්ටුව ලකුණින් රාජ්‍ය සභාවට පැමිණි දේශපාලකයින් බොහෝ දෙනෙකු රනිල් පස්සෙන් ගියේ බයට හා උද්ධච්චකමට මිස මෝඩකමට යයි අප නොසිතිය යුතුය. දේශපාලනය නිසා නිලතල බලතල හා වස්තුව රැස් කරගෙන සිටි ඔවුන් බොහෝම දෙනෙකුට ‘අප තමයි කෙරුමෝ’ යන සිතුවිල්ල ඇති විය. ඔවුන් රනිල්ගේ දැලට පැටලෙද්දී, අවංක දේශපාලනඥයෝ ද දැල තුළට රිංගූහ.

ජාතිකත්වය නැති කරගත් පුද්ගලයාට ජාතික උරුමය කුමක් දැයි නොවැටහේ. ඉතිහාසයේ සඳහන් වන ලෙසට දොන් ජුවන් ධර්මපාල රජු කෝට්ටේ රාජධානියට තෑගි ඔප්පුවක් හදා පෘතුගාලයේ රජුට පරිත්‍යාග කළේය. එපරිද්දෙන් රනිල් වික්‍රමසිංහ රටේ උරුමය විදේශිකයන්ට අලෙවි කරතැයි බියක් බොහෝ සිංහලයන්ට ඇති විය. මෙය ඔවුන්ගේ ජාතිකත්වය නිසා ඇති වූ හැඟීමකි.

රනිල් නුවරළිය තැපැල් කාර්යාලය සංචාරක හෝටලයකට විකිණීමට සැරසෙන්නේ යැයි ප්‍රචාරය වූයේ ඒ අතරය. ජවිපෙ දේශපාලකයින් සහ තැපැල් වෘත්තීය සමිති විසින් ඒ ප්‍රචාරක කටයුත්ත ඉහළින්ම සිදු කරන ලදි.

තැපැල් දෙපාර්තමේන්තුව යනු රටේ ඇති අංක එකේ හොර ගුහාවක්ය යයි පිළිගැනීමක් තිබේ. සමහරුන්ගේ අදහස එහි ඉහළ නිලධාරීන්ගේ සිට තැපැල් පියුන් දක්වා වැඩි පිරිසක් හොරුන් බවයි.

පසුගිය 9 වැනිදා 150 වැනි සංවත්සරය පැවති විශ්ව තැපැල් සංගමයේ (Universal Postal Union) 2023 වාර්තාවට අනුව ලෝකයේ බොහෝ රටවල තැපැල් සේවාවන් අර්බුදවලට මුහුණපා ඇත. ලිපි බෙදීමේ සේවාවන් දිගින් දිගටම පාඩු ලබමින් සිටී. තැපැල් සේවාවන් ලාබ ලබන්නේ, පාර්සල් බෙදීම හා මුල්‍ය සේවා සැපයීමෙනි. තැපැල් සේවයේ අනාගතය රඳා පවතින්නේ, නූතන තාක්ෂණික ක්‍රමවේද වැඩිවැඩියෙන් භාවිත කිරීම මත බව එම වාර්තාව පෙන්වා දෙයි. මේ අනුව බලන විට ශ්‍රී ලංකාවේ තැපැල් සේවය ලාබ ලැබිය හැකි තත්වයට පත් කිරීම යනු අති දැවැන්ත අභියෝගයකි. එවන් වැඩපිළිවෙළක් පිළිබඳ සේයාවක් වත් තැපැල් දෙපාර්තමේන්තුවේ බලධාරීන්ට නොතිබුණි.

ලංකාවේ පාර්සල් සේවාව පුද්ගලික අංශය මගින් නතු කරගෙන අවසන්ය. කබල් පරිගණකවලින් යැපෙන සීමිත තැපැල් කාර්යාල සංඛ්‍යාවක් ඇති තැපැල් දෙපාර්තමේන්තුවට නූතන සමාජයට ගැලපෙන පරිදි මුල්‍ය සේවා සැපයීමට හැකියාවක් නැත. කලක් ලියුම් කවර, ලිපි ද්‍රව්‍ය ආදිය අලෙවිකර ආදායම් ඉපැයීමට තැපැල් දෙපාර්තමේන්තුව ගත් උත්සාහය අසාර්ථක විය.

2012 වසරේ රු. බිලියන 3.3ක් වූ තැපැල් දෙපාර්තමේන්තුවේ පාඩුව 2021 වන විට බිලියන 7.2 දක්වා ඉහළ නැග තිබුණි. ඇතැම් තැපැල් ස්ථානයන්හි දිනක් තුළ රුපියල් ලක්ෂ තිහ හතළිහ අතුරුදහන් විය. පරීක්ෂණවලදී අනාවරණය වී තිබුණේ නිලධාරීන් ඒවා පොලියට දී මුදල් උපයා ඇති බවයි. විදේශවලට යවන පාර්සල් සඳහා නියමිත මුද්දර ගාස්තුවෙන් කොටසක් පමණක් බිල්පතට දමා කොටසක් නිලධාරීන් ගසා කන බව අනාවරණය විණි. මෙසේ හොරකම් කරන ලද මුදල රුපියල් කෝටි ගණනකි.

තැපැල් දෙපාර්තුමේන්තුවේ මොන තරම් වැරදි ඇතත්, නුවරඑළිය තැපැල් කාර්යාලය සංචාරක හෝටලයකට විකිණීම බොහෝ දේශප්‍රේමීන්ට නරක ආරංචියකි. ජවිපෙ ඔවුන්ගේ වේදනාවේ වාසිය ලබාගත්තේය. අනුර කුමාර ජනාධිපති වූ පසු තැපැල් ඇමතිකම හිමි වූ විජිත හේරත්, ‘නුවරඑළියේ ගොඩනැගිල්ල තැපැල් දෙපාර්තමේන්තුවේ කටයුතුවලට මිස වෙනත් කිසිම කටයුත්තක් සඳහා පාවිච්චි නොකිරීමට රජය තීරණය කර ඇතැ’යි නිවේදනය කළේය. තැපැල් මූලස්ථානයට ගිය හරිනි අගමැතිවරියට හා ඇමති විජිතට ඔවුන්ගේ මුහුණු දැමූ සමරු මුද්දර දෙකක් තැපැල්පතිවරයා පිළිගැන්වූයේය. ඔහුගේ එම ක්‍රියාවෙන් කියවෙන්නේ රටට අහිමිවීමට ගිය නුවරඑළිය ඵෙතිහාසික තැපැල් කාර්යාලය මාලිමාව පැමිණ බේරාගත් බවයි.

තැපැල් දෙපාර්තමේන්තුවේ වටිනා ගොඩනැගිලි රජයට මුදල් මවන යන්ත්‍ර බවට පරිවර්තනය කළ හැකිය. ඒවා තැපෑලේ කටයුතු සඳහා පමණක් පාවිච්චි කරන බව කියා වෘත්තීය සමිති චූන් කිරීමෙන් ජනතාවට සෙතක් නොවේ. නුවරඑළිය තැපැල් කාර්යාලය සම්බන්ධයෙන් අමාත්‍ය විජිත හේරත් කී කතාවෙන් පෙනෙන්නේ මේ ආණ්ඩුවට මුදල් ඉපැයීමේ අලුත් අදහස් නැති බවයි. තැපැල් දෙපාර්තමේන්තුවේ ගොඩනැගිලි පාවිච්චි කරන්නේ එම දෙපාර්තමේන්තුවේ කටයුතු සඳහා පමණක් නම්, ඒ දේපළවලින් ලැබිය හැකි ලාබයක් නැත. සොකරි නාඩගම ඇරඹෙන්නේ ‘තැපැලා’ සභාවට කැඳවමිනි. සමහරු තැපැලාට ‘තැපැල් කෝළම’ කියාද කියති. තැපැලා පැමිණ ඉදිරියේදී සභාවේ සිදුවන්නට යන දේ පිළිබඳව පැහැදිලි කරයි.

සිංහලයන් ජාතික හැඟීමෙන් පිරි ජාතියක් බව රට බෙදීමට වෙහෙසෙන බලවේග දනිති. ඔවුන්ගේ අලුත් උපාය මාලිමාව හරහා ඒ ජාතිකත්වය විනාශය කිරීමයි. ඊට සාක්ෂි පෙන්විය හැක. ‘මෝඩාභිමානය’ නමැති ප්‍රහසන කණ්ඩායමේ නිළියක වූ නතාෂා එදිරිසූරිය කලාවේ නාමයෙන් සිංහල බෞද්ධ උරුමයට පහර ගැසූ බව බොහෝ දෙනා දනිති. බි්‍රතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය ඇයට එම්.ඒ. උපාධිය සඳහා ශිෂ්‍යත්වයක් පිරිනමා ඇත. බි්‍රතාන්‍යයට යන ඇය තව අවුරුදු කිහිපයකින් ආචාර්ය පදවියක්ද ලැබ ලංකාවට පැමිණීමට ඇති ඉඩකඩ බොහෝය. ආචාර්ය උපාධි ලැබූවන්ට ලංකා සමාජයේ විශාල පිළිගැනීමක් ඇත. ලංකාවේ සම්ප්‍රදායික ශිල්පීන් නැතිවෙන්නට එක් හේතුවක් උගතුන් පිදීමේ පිස්සුවයි. පිටරට ගොස් ආචාර්ය උපාධි ලැබූවන්ට ඇති පිළිගැනීම ඉතාම ඉහළය.

හරිනි අමරසුරරිය ආචාර්ය උපාධියක් ඇතිව බි්‍රතාන්‍යයේ සිට පැමිණි කාන්තාවකි. උගත් කාන්තාවක යැයි ඇය සිංහල සමාජයේ ගෞරවයට පත් වූවාය. මාලිමාවේ ක්‍රියාකාරිනියක වූ හරිනි, අගමැති ධුරයට පත් වූවාය. ජනාධිපති ධුරය අහෝසි කර පාර්ලිමේන්තුවට විධායක බලය ලබාදීමෙන් පසු, හරිනි, ලංකාව පාලනය කරන හස්තය වීමට ඉඩකඩ ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link