දුප්පතාගෙන් අරන් පෝසතාට බෙදන අනුර සහෝදරයාගේ අපූරු සමාජවාදය

Last Updated on 3 days by admin

ජනාධිපතිවරණයට පෙර මාලිමාව ප්‍රකාශයට පත් කළ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ මෙසේ සඳහන් වේ.

“ආදායම් බෙදීයාමේ විෂමතාවයද වර්ධනය වෙමින් පවතී. ශ්‍රී ලංකාවේ පවුල් සංඛ්‍යාවෙන් පහළම සිටින 20%ට ජාතික ආදායමෙන් හිමිවන්නේ 4.6% පමණක් වන අතර ඉහළම සිටින පවුල් 20%ට ජාතික ආදායමෙන් 51.4%ක් භුක්ති විඳියි.” (පි.101)

ප්‍රතිපත්ති ප්‍රකාශයේ පරිදි මාලිමා ආණ්ඩුවක් යටතේ ආදායම් බෙදීයාමේ විෂමතාව නැති විය යුතුයි. ඊට මුල පිරිමක් බව පෙන්වමින්, මාලිමා ආණ්ඩුව පසුගියදා කළ විශ්‍රාම වැටුප් වැඩි කිරීමෙන් සිදුවන්නේ පවතින විෂමතාව ඉදිරියට ඇදගෙන යාමයි. එම නිසා ආණ්ඩුවේ විශ්‍රාම වැටුප් වැඩි කිරීම හුදෙක් චන්ද ගුණ්ඩුවක් යයි සමහරු කියති. සමහර දේශපාලන පක්ෂ චන්ද ආසන්නයේ අවුල් සහගත හදිස්සි වැඩ කරති. හදිසියේ කළ බව පෙනෙන විශ්‍රාම වැටුප් වැඩි කිරීම සමහරුන් දකින්නේ කුට්ටම ඇනීමට සමාන ක්‍රියාවක් ලෙසටය. කාඩ් ගැසීමේදී කවුරු ඇනුවත් අනන්නේ එකම කුට්ටමයි. පසුගිය ජනාධිපතිවරණයේදී ඇතැම් විශ්‍රාමිකයන් තම වැටුප පිළිබඳව කනුකුනු ගෑ බවට තොරතුරු තිබේ.

සියලු විශ්‍රාමිකයන්ගේ වැටුප් රු. 3000කින් වැඩි කළ විට සිදුවන්නේ, ඒ සඳහා වෙන් කළ බදු මුදල් බෙදීයාමේ විෂමතාවක් ඇති වීමයි. වැඩි කළ විශ්‍රාම වැටුප් සඳහා වෙන් කළ මුදලින් අඩක්ම යන්නේ, ඉහළ විශ්‍රාම වැටුප් ලබන 20%ක් වන විශ්‍රාමිකයන්ටය. අවම විශ්‍රාම වැටුපක් ලබන 40%ක විශ්‍රාමිකයන් පිරිස අතරට යන්නේ, වෙන් කළ මුදලෙන් 11%කි. (මූලාශ්‍රය මෙතනින්)

මේ ආකාරයෙන් විශ්‍රාම වැටුප් වැඩිකිරීමෙන් පහළ ආදායම් ලබන විශ්‍රාමිකයන්ට ඇති වන සෙතක් නැත. එයත් හරියට, ඉන්ධන මිල පහළ දැමීම වැනි ක්‍රියාවකි. ඉන්ධන මිල පහළ දැමීමේ වාසිය යන්නේ රටේ යමක් කමක් ඇති අයට මිස අඩු ආදායම්ලාභීන්ට නොවේ. නමුත් ඉන්ධන මිල අඩුකිරීම යනු ප්‍රවෘත්ති මවන වැඩකි. කොහොම වුනත්, කටකියවූ විදියට තෙල් මිල අඩු නොකළ එකට ජනතාව ඉන්නේ මාලිමා ආණ්ඩුව සමග තරහිනි.

මාලිමාව කරන්නේත්, ඇති තැනටම බෙදීමයි. ආදායම් බෙදීමේ විෂමතාව දුරු කරන්නට මේ ආකාරයෙන් නම් නොහැකිය.

ලක්ෂ 7ක් පමණ වන විශ්‍රාමිකයන් සඳහා වැඩිපුර රු.කෝටි 200ක පමණ මුදලක් මාසිකව ගෙවන්නට සිදු වේ. ඒ සඳහා මුදල් සොයාගත යුත්තේ ණය ගැනීමෙන් හා බදු වැඩි කිරීමෙන් බව ස්ථිරය.

‘අලුත් ණය ගන්නෙ නැතිව කොරන හැටි අපි දන්නවා’ යැයි කී අනුර සහෝදරයා දැන් ණය පිට ණය ගනිමින් සිටියි.

ඔක්. 15 වැනිදා රු. බිලියන 87ක බැඳුම්කර වෙන්දේසියක් පැවැත්විණි. ඊට පෙර ඔක්. 9 වැනිදා බිලියන 85ක, ඔක්. 2 වැනිදා බිලියන 142ක හා සැප්. 25 වැනිදා බිලියන 120ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කෙරිණි. ආණ්ඩුව, ඔක්. 8 වැනිදා ලෝක බැංකුවෙන් ඇ.ඩො. මිලියන 200ක ණයක්ද ලබාගත්තාය.

ණය අරගෙන මිස රට කරන්නට බැරි බව මාලිමාවේ ආර්ථික විශේෂඥයින් මෙන්ම අමාත්‍ය විජිත හේරත් සහෝදරයාද ඊයේ පෙරේදා කියා තිබුණි. විජිත සහෝදරයා කවදත් ඔවැනි කතා කියන්නට සූරයෙකි. ජවිපෙ, චන්ද්‍රිකා සමඟ හවුලේ ආණ්ඩු කළ කාලයේ, තෝර මාළු කිලෝව රු. 1000 පැන්නේය. මේ ගැන ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යවේදියෙක් විජිත හේරත්ගෙන් ප්‍රශ්න කළේය. ‘ඉතිං තෝර මාළුම කන්න ඕනැද’ විජිත පෙරළා ඇසුවේය.

අනුර සහෝදරයා දිගින් දිගටම කිව්වේ බදු අඩු කර සහන සලසන බවයි. ‘ජනතාව කන පරිප්පු ඇටේටත් බදු ගහනවා. මොනවද මේ ආණ්ඩු?’ යැයි ඔහු ඒ කාලේ කිව්වේය. ජනතාව බලා සිටියේ අනුර සහෝදරයා ජනාධිපති වූ පසු පරිප්පු බද්ද ඉවත් කරනු ඇති කියාය. නමුත් ඊයේ පෙරේදා ඔහු පරිප්පු ඇටේට ගසා ඇති ශත 25ක බද්ද තව දුරටත් දීර්ඝ කළේය. මේ පරිප්පු බද්ද විශ්‍රාමිකයන්ගේ පඩිපතට එකතු වනු ඇති. මේ නම්, දුප්පතාගෙන් අරන් පෝසතාට දෙන අපූරු සමාජවාදයකි.

‘ධෛර්යවන්ත මිනිසුන්ට නොකළ හැකි දෙයක් නැති බවත් තමන් හමුවේ තිබුණු ප්‍රබලම අභියෝගය වූ ආර්ථිකය ස්ථාවර කිරීම ඉතා කෙටි කලකින් ජාත්‍යන්තර සංවිධාන සමග රටට හිතකර පරිදි ගනුදෙනු කරමින් සිදුකර අවසන් බවත්“ ජනාධිපති අනුර සහෝදරයා තංගල්ලේ පැවති මාලිමාවේ මහමැතිවරණ ආරම්භක රැලිය අමතමින් කියා තිබේ. ඔහු එහිදී රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීම, පාසල් දරුවන්ට දීමනා, දිළින්දන්ට හා ආබාධිතයන්ට වැඩිවැඩියෙන් සහන ආදි මැතිවරණ ඩ්‍රෝන කීපයක්ද ගුවනට යවා තිබේ.

ගල් පැලෙන බොරු කීම, එකක් කියා එකක් කිරීම, ණය පිට ණය ගැනීම ආර්ථිකය ස්ථාවර කිරීමක් යැයි සිතීම ආදිය ධෛර්යයවන්ත බව පෙන්වන දේ නම් අනුර සහෝදරයා කියන්නේ ඇත්තකි.

ආර්ථිකය ස්ථාවර කිරීම යනු රටේ නිෂ්පාදන ආදායම් වැඩිකිරීමයි. ඊයේ පෙරේදා විජිත සහෝදරයා කීවේ නම් තවමත් එවැනි තත්වයක් නැති නිසා ආණ්ඩුව ණයෙන්ම දිවිය යුතුව ඇති බවයි.

මාලිමාව ආවේ රට හදන්නට, නිසි මාර්ගයට ගන්නටය. එසේ නැතිව අනික් ආණ්ඩු කළ ජනප්‍රිය වැඩ කර ජනතාව රවටන්නට නොවේ. එසේ නම් මාලිමා ආණ්ඩුව වැඩ පටන් ගත යුත්තේ නිවැරදි වැඩ කරමිනි. නමුත් අපට පෙනෙන හැටියට නම්, මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම් හා බස්නාහිර ආණ්ඩුකාරයා වශයෙන් චෝදනා සහිත පුද්ගලයන් පත්කරමින් වැඩවරද්දා ගත් ආණ්ඩුව දිගින් දිගටම කරන්නේ වැරදි වැඩය.

මේවා ඉදිරියේ එන මැතිවරණය දෙස බලාගෙන කරන වැඩ බවට සැක නැත. නමුත් මෙයින් අමාරුවේ වැටෙන්නේ ජනතාවය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link