කෝටා ක්‍රමයට මන්ත්‍රීවරියන් පත් කරන්න රනිල් උනන්දු ඇයි

Last Updated on 2 days by admin

දඹදෙණි රාජධානි සමයේ ලියන ලද සිදත් සඟරාවේ, ‘සකුසත් අනුසරෙන් ඇතද සදනට ලිගුබේ නොපැනේ වහර වෙසෙසෙක් පුම ඉතිරි ලිඟු දෙක විනා’ යැයි සඳහන් වේ. ‘සංස්කෘත ව්‍යාකරණ ශාස්ත්‍රයට අනුකූලව සිංහල බසෙහි ලිංග භේදයක් පෙනෙතත් සිංහල ව්‍යවහාරයෙහි ඇත්තේ පුරුෂ සහ ස්ත්‍රී ලිංග පමණකි’ යන්න එහි අර්ථයයි.

දෙවැනි වරට ජනාධිපති ධුරයට පත් ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළ ආකාරයට, ඇමරිකානු සමාජයේ සිටින්නේ ස්ත්‍රීන් හා පුරුෂයින් පමණකි. තම ඉතිහාසය ගැන දන්නා සිංහලයන්ට ට්‍රම්ප්ගේ තීරණය අසා ආඩම්බර වීමට පුළුවන. සිදත් සඟරාවේ ලියැවී ඇත්තේ දීර්ඝ කාලයක සිටි සිංහලයන් සතුව පැවති දැනුමයි. එය නොසලකන පුද්ගලයින්ට ට්‍රම්ප්ගේ කතාව පෙනෙන්නේත් ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනි ප්‍රතිගාමී අදහසක් ලෙසිනි.

එක්තරා යුගයක සුද්දන් හා කල්ලන් ඇමරිකාවේ විසූ ප්‍රධාන මිනිස් කණ්ඩායම් දෙක වූහ. කල්ලන් සුදු පාලකයින්ගේ වහල්ලු වූහ. ඒබ්‍රහම් ලින්කන් ජනාධිපතිගේ කාලයේ වහලුන්ට නිදහස ලැබූණි. ඉක්බිති, කල්ලන්ට සමාජ සාධාරණත්වය හා සමානත්වය ලබා දීම සඳහා නොයෙක් සංවිධාන බිහි විය. රජයේ දඩයමට ලක් වූ ‘බ්ලැක් පැන්තර්’ දේශපාලන සංවිධානයකි. ක්‍රිස්තියානි දේවගැති මාටින් ලූතර් කිං සාමකාමී ක්‍රමයක් ඉදිරිපත් කළේය.

වහල් යුගයේ ඇමරිකාවේ වහල්ලුන්ට ස්වකීය භාෂාව භාවිතය තහනම් වී තිබුණි. ඔවුහු හාම්පුතුන්ගේ ඉංග්‍රීසියෙන් අදහස් ප්‍රකාශ කළහ. සුද්දෝ, ‘වේක්’ (අවදි වෙන්න) යැයි කීහ. කල්ලාට එය කියැවුනේ, ‘වෝක්’ යනුවෙනි. ඇමරිකාවේ වෝක්වාදයේ (උදනැසිප* ඇරඹුම එයයි. වෝක්වාදය දර්ශනයක් වශයෙන් සකස් වූයේ හාවඩ් විශ්වවිද්‍යාලයෙන් බව සමහරු කියති. වෝක්වාදයේ පදනම කල්ලන්ට සමාජ සාධාරණත්වය හා සමානත්වය සැලසීමයි. එය වර්ධනය වූයේ වර්ගවාදය, කුලවාදය, ජාතිවාදය, ලිංග භේදය ඈ කිසිත් නොසලකා ‘අවදිවෙන්න’ යන අර්ථය දෙමිනි. ලිබරල් අදහස් දැරූ කාටර්, ක්ලින්ටන්, ඔබාමා, බයිඩන් වැනි ඩිමොක්‍රටික් ජනාධිපතිවරුන්ගේ පාලන කාලයන්හි එය ලොවේ පැතිරුණි.

වෝක්වාදය නිසා ඇමරිකාවේ ජනවාර්ගික භේදයක් ඇති විණි. සුද්දන්, කල්ලන්ප මණක් නොව ස්පාඤ්ඤ භාෂා කතා කරන්නන් හා ආසියානුවන් (ඉන්දියානුවන්) පවා වෙන් වෙමින්, කණ්ඩායම් ගැසෙමින් රිපබ්ලිකන් පක්ෂය වහල් හිමියන් නියෝජණය කරන දක්ෂිණාංශක පක්ෂයක් සේ සලකන්නට ගත්හ. ඊට එරෙහි වූ ට්‍රම්ප් ඝාතනය කිරීමට පවා සමහරුන්ට වුවමනා විය.

වෝක්වාදියෝ, ස්ත්‍රී පුරුෂ භේදය පවා සමාජ අසාධාරණත්වයක් වශයෙන් හැඳින්වූහ. බයිබලයේ මැවීමේ කතාවට අලුත් අර්ථයක් දුන් ඔවුහු, ‘ස්ත්‍රිය මවා ඇත්තේ පුරුෂ ශරීරයේ කොටසකින් නිසා ස්ත්‍රී ශරීරයේ පුරුෂයාත්, පුරුෂ ශරීරයේ ස්ත්‍රියත් සිටින බවට’ තර්ක කළහ. උපතින් මොන ලිංගයක් ලබා සිටියත් ශරීරය හිමිකරුට ලිංගය වෙනස් කර ගැනීමට අයිතිය ඇති බව ඔවුන්ගෙන් ප්‍රකාශ විය. මෙවැන්නන්ට ලිංගය වෙනස් කරගැනීම සඳහා ඩොලර් ලක්ෂ ගණන් ඇමරිකානු ආණ්ඩුවෙන් ලැබේ. එබැවින් ලිංගය වෙනස් කිරීම අපූරු ඉල්ලමක්ද වූයේය.

රටක ජනතාව බෙදා රට පාලනය කිරීම බ්‍රිතාන්‍යයන්ගේ පාලන උපක්‍රමයකි. ඔවුහු, සිංහලයන් කුලවලට මෙන්ම උඩ රට, පහත රට යනුවෙන්ද බෙදූහ. සිංහල නොවන වෙනත් භාෂා කතා කරන පිරිස් සුළු ජන කණ්ඩායම් බවට පත් කරන ලද්දේ, මානව හා සමාජ විද්‍යාඥයින්ගේ ආධාරයෙනි.

මෙසේ වෙන් කෙරෙන සුළුජන කොටස්වලට කෝටා ක්‍රමයට බලතල දීම වෝක්වාදීන්ගේ ක්‍රියාවකි. ශ්‍රී ලංකාවේ නායකයා වූ රනිල් වික්‍රසිංහ, ‘පාර්ලිමේන්තුවේ සහ පළාත් සභාවල කෝටා ක්‍රමයට කාන්තා නියෝජණයක් තිබිය යුතු යැ’යි පෙන්වූයේ මන්දැයි බොහෝ දෙනෙකුට නොවැටහුණි. එය කාන්තාවන්ට සැලකීමක් නොවේ. ස්ත්‍රිය සහ පුරුෂයා බෙදීමයි. එවිට පවුල් අවුල් ඇති වේ. දරුවෝ විනාශ වෙති. මංගල සමරවීර ඇමති සංක්‍රාන්තික ලිංගිකයන් බිහි කිරීමට වෙහෙස ගත්තේය. වෝක්වාදීන්ගේ කෝටා ක්‍රමය යටතේ ඕනෑම කටයුත්තක දී සමනළයින්ටත් කෝටාවක් හිමි වේ.

කෝටා ක්‍රමය යනු රටක ජාතිකත්වය හා එක්සත්කම බිඳ හෙලීමකි. එහෙත් බටහිරට ගැති පාලකයෝ තම රටවල ජාතිකත්වය බිඳ හෙලන නීති හා ව්‍යවස්ථා ඇති කරගනිති. කෝටාව එවැන්නකි. හමුදාවකට සෙබළුන් බඳවා ගැනිීමේ දී හෝ රජයේ සේවයට සේවකයින් බඳවා ගැනීමේ දී හෝ කෝටා ක්‍රමය අනුගමනය කරන්නට යාමෙන් සිදු වන්නේ අන්තිම නුසුදුස්සන් තනතුරු ලබා ගැනීමයි. කෝටා ක්‍රමය ලංකාවේ පැවතුනේ නම් කොටි ත්‍රස්තයන් හා කළ යුද්ධයේ දී රජයේ හමුදාවට සිදු වන දේ සිතා ගැනීමට අපහසු නැත.

දේශපාලනඥයින්, ජනමාධ්‍ය, අධ්‍යාපනය, කලාව, සාහිත්‍යය, ලංකාවේ වෝක්වාදය පැතිරුණු ක්‍රම කිහිපයකි. ඊට උදව් කරන්නෝ, ජාතික හැඟීම ජාතිවාදයක් සේ පෙන්වති. පසුගිය දිනක කාන්තාවන් පිරිසක් ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට, ට්‍රම්ප් ඇමරිකාවේ වෙසෙන්නේ ස්ත්‍රීන් හා පුරුෂයන් පමණක් යැයි පිළිගැනීම අගයමින් දැන්වීම් ප්‍රදර්ශනය කළ අවස්ථාව නිදසුනකි. මෙය මහජනතාවට පෙන්වීමට රූපවාහිනී නාළිකා හෝ පුවත්පත් කිසිම උනන්දුක් නොදැක්වීය. ඔවුන්ට, තායිලන්තයේ පැවති සාමූහික සමලිංගික විවාහ උත්සවයක් මහජනයාට පෙන්වීමට තරම් වැදගත් සිදුවීමක් විය.

අගමැති ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රසිද්ධව සිටින්නේ සිංහල බෞද්ධ සම්මතයන්ට විරුද්ධව කටයුතු කරන්නියක වශයෙනි. අධ්‍යාපන ඇමතිකම දරන ඇය, පසුගිය දිනක අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරීන් රැස්කර ඔවුන්ට උපදෙස් දෙමින් අධ්‍යාපනයේ වෙනසක් ඇති කළ යුතු බව කීවාය. ආණ්ඩුව, ‘ක්ලීන් ශ්‍රී ලංකා’ නමින් කරන්නේ රටවැසියන්ගේ ආකල්ප වෙනස් කිරීම බවත් ඇය කියා තිබේ. ඇය පාසලේ හා රටේ කරන්නට හදන බව කියන ආකල්පමය වෙනස, බාල පරපුරේ මනස වෙනස් කරමින් වෝක්වාදය බින්න බැස්සවීම දැයි විමසිලිමත් වීම සියලු දෙමව්පියන්ගේ වගකීමකි. වෝක්වාදයේ ඉලක්කය දරුවන් හා තරුණ තරුණියන් මිස වැඩිහිටියන්ම නොවේ. අධ්‍යාපනය මගින් දරුවන්ගේ මනස වෙනස් කිරීම ඉතා පහසු ක්‍රියාවකි.

අනුර කුමාර ජනාධිපති සහෝදරයා යාපනයට ගොස් වැල්විටිතුරේදී, ‘රටේ සියලුම ජනතාවට පිළිගත හැකි ජාතික උත්සවයක් ඔක්තෝබරයේදී පවත්වන බව’ කීවේය. දීර්ඝ ඉතිහාසයක් මුළුල්ලේ සිංහල අවුරුද්ද නමැති ජාතික උත්සවය පවත්වන රටකට මෙය අමුතු කතාවකි. ඔහු සිංහල අලුත් අවුරුද්ද ඇමරිකාවේ සුද්දන්ගේ උත්සවයකට සමාන අධිපතිවාදී උත්සවයක් ලෙසින් සලකනවාදැයි සැකයක් මතු වේ.

රුසියානු විප්ලවය, ඔක්තෝබර් විප්ලවය නමින්ද හැඳින්වේ. ජනාධිපති සහෝදරයා සියල්ලන්ටම පිළිගත හැකි ජාතික උත්සවයක් ඔක්තෝබර් මාසයේ පවත්වන බව කී විට, ඔහු රුසියාවේ මෙන් කොමියුනිස්ට් උත්සවයකට සැරසෙන මාක්ස්වාදියෙකු යැයි යමෙකුට සිතෙන්නට පුලුවන. එයද වැරදි අදහසකි. ඇමරිකාව රුසියාවේ කොමියුනිස්ට් ආණ්ඩුව පෙරළා දමා බොහෝ කලකි. දැන් මාක්ස්වාදීන් වෙසෙන්නේ ඇමරිකාව, එංගලන්තය වැනි රටවල මිස රුසියාවේ නොවේ. ඔවුන් මාක්ස්වාදය නමින් අපගේ රටවලට එවන්නේ වෝක්වාදයයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link