කජු පේර වරකා ජම්බු ජම්බල නරකා

Last Updated on 1 month by admin

නොයෙක් රටවලින් පැමිණ පදිංචි වූ ජනයා ඇමරිකාවේ වෙසෙති. අප්‍රිකාවේ සිට ගෙනා කළු වහලුන්ගෙන් පැවතෙන්නන් හැඳින්වෙන්නේ අප්‍රිකානු ඇමරිකානුවන් නමිනි. දකුණු ඇමරිකානු රටවලින් පැමිණ පදිංචි වූවන් ‘ලැටිනෝස්’ නමින් හඳුන්වති. මේ සියලු දෙනා ඇමරිකානුවෝ වෙති. ඇමරිකාව පෞද්ගලික ව්‍යවාසයක ආර්ථික ක්‍රමය පිළිගන්නා රටකි. මාක්ස්වාදයෙන් කෙරෙන්නේ රටක වැසියන් ධනපති හා නිර්ධන වශයෙන් කොටස් දෙකකට බෙදා ඔවුන් අතර ගැටුමක් ඇති කිරීමයි. (සාදුකින් පෙලෙනවුන් දැන් ඉතින් නැගිටියව් අන්තිම සටනට සැරසියව්. අන්තිම සටනට, අන්තිම සටනට, අන්තිම සටනට සැරසියව්)

මාක්ස්වාදය වැඩවසම් යුරෝපයේ බිහි වූ දර්ශනයකි. එය වැළඳගෙන මාලිමා ආණ්ඩුව නිර්ධන පංතියේ ආණ්ඩුවක් යයි සිතීම බුද්ධි හීන ක්‍රියාවකි. මාක්ස්වාදය සිය රටට පැමිණීම වළක්වා රටවැසියන්ගේ බුද්ධි මට්ටම රැක ගැනීමට ඇමරිකාව සමත් විය. බොරුවට මාක්ස්වාදයට විරුද්ධත්වය පෙන්වා ඊට මහජනයා ගොදුරු කිරීම, බි්‍රතාන්‍ය පාලකයන්ගේ ප්‍රතිපත්තිය වූයේය. ලංකාවේ මාක්ස්වාදයේ ආදි කර්තෘන් සියලු දෙනාම එංගලන්තයේ සිට පැමිණි අය වෙති. ඔවුන් අතර කාන්තාවන් පිරිසක් ද සිටියි. එස්. ඒ. වික්‍රමසිංහගේ බිරිය නිදසුනකි.

එක්සත් ජාතික පක්ෂය පිහිටුවීම බෙදුම්වාදී ක්‍රියාවකි. ‘එක්සක් ජාතික’ කී සැණින් රටේ ජාතිවාදයක් ඇති බව ප්‍රකාශ වේ. එජාප තිබියදීම ‘දෙමළ රාජ්‍ය පක්ෂය’ නමින් බෙදුම්වාදී පක්ෂයක් රටේ බිහි විය. මුස්ලිම් කොංග්‍රසය ජාතිවාදී ලේබලයක් ඇති තවත් පක්ෂයකි. සිංහල යනු එවැනි ජාතිවාදයක් නොවේ. කුමන කාරණයක් නිසා හෝ කවර කලක හෝ පැමිණ රටේ පදිංචි වූවන් සිංහලයන් සේ සැලකීම සිංහල දේශයේ සම්ප්‍රදාය වූයේය. පොළොන්නරු රාජධානි සමයේ විසූ කාලිංග වංශිකයෙකු වූ කීර්ති ශ්‍රී නිශ්ශංකමල්ල සිංහලයන්ගේ රජු වූයේය. දකුණු ඉන්දියාවෙන් පැමිණ පදිංචි වූ නායක්කර් වංශිකයින්ගෙන් මහනුවර රාජසිංහ පරම්පරාව හැදුණි. බි්‍රතාන්‍ය ලේඛනවල සඳහන් වන ලෙසට ඔවුන් අල්ලා ගත් ශ්‍රී වික්‍රම රාජසිංහ සිංහල රජුය.

ඇමරිකාව, බි්‍රතාන්‍යය වැනි රටක පවතින සිරිතක් ඉවක් බවක් නැතිව බදාගෙන ලංකාවට එබීම ඒ රටවලට ගොස් උගත්කම ලැබූ සමහර ලාංකිකයන්, උගත්කම පෙන්වීමක් ලෙස කරන්නකි. වැද්දන්, ආදිවාසීන් වශයෙන් හැඳින්වීම නිදසුනකි. ඇතැමුන් එසේ කීවේ ඇමරිකාවේ පැරැන්නන් ‘නේටිව් ඇමරිකන්ස්’ බැවිනි. ලංකාවේ වැද්දන් ආදිවාසීන් නොවේ. වංශකතා, රටේ ඉතිහාසය පෙන්වා තිබේ. ඒවාට අනුව යක්ෂ, නාග රාජධානි ලංකාවේ පැවතිණි. ‘වැද්දා’ මෙවැනි ගෝත්‍රයකින් පැවතෙන ජන කණ්ඩායමක් නොවේ.

මෙවර නිදහස් උත්සවයට පොරෝ කෙටි කරේ ගසාගත් වැද්දන් කිහිප දෙනෙකු පැමිණෙන අයුරු රූපවාහිනී නාළිකාවලින් ප්‍රදර්ශනය විය. ඔවුන්ගේ නායකයා විශේෂ භාෂාවකින් කතා කරයි. නිදහස් උත්සවය දිනයේ සිංහල ජාතික ගීය දෙමළට පෙරළා ගායනා කරවීමෙන් ලෝකයට කියන්නේ රටේ ජාතීන් දෙකක් සිටින බවයි. එම නිසා, වැද්දන් යනු තවත් ජාතියක් නොවේ දැයි ප්‍රශ්නයක් නරඹන්නාට මතු වේ. නිදහස් උළෙලේ සංවිධාකයින් ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන පිරිසක් නම්, ජාතික ගීය වැද්දන්ගේ හඬින් ඉදිරිපත් නොකිරීම වරදකි.

සිංහලයින් දෙමළ කතාකරන මිනිසුන් පෙළන්නේය යන්න, කොටි ඩයස්පෝරාව ලෝකයේ පතුරුවා ඇති මුසාවකි. නිදහස් දිනයේ දෙමළ බසින් ජාතික ගීය කියැවීමෙන් පෙන්වන්නේ, දැන් ලංකාව පාලනය කරන්නේ ලංකාවේ ජාතිවාදය පවතින බව පිළිගන්නා පාලකයින් පිරිසක් බවයි. කොටි ඩයස්පෝරාව ලෝකයට කියන කතාව ඇත්තක් බව ඔවුන් පිළිගන්නා බවත් එම ක්‍රියාවෙන් ප්‍රකාශ වේ.

බ්‍රිතාන්‍ය ආණ්ඩුව පැවති කාලයේ ආණ්ඩුවේ පාසල් පොත්වල ජාතික උරුමය වනසා දමන නොයෙක් දේ තිබුණි. ‘කජු පේර වරකා ජම්බු ජම්බල නරකා’ කවිය නිදසුනකි. වේවැල් කෝටු ගත් ඉස්කෝල ගුරුවරුන් පාසල් ළමයින්ට මෙවැනි කවි වනපොත් කරවූයේ මහා දැනුමැත්තන් ලෙසයි. මෙවැනි පළතුරු කෑම පණු අමාරු හැදෙන්නට හේතුව බවට මතයක් සමාජගත කරන්නට ඔවුන්ට හැකි විය. උඩරට කැරැල්ල නිසා විනාශ නොවුන බොහෝමයක් ගම් හඩු වූයේ මෙවැනි වැරදි අදහස් දුන් අධ්‍යාපනය නිසාය.

නිදහස් උත්සවය පැවැත්වෙන අතර සිංහල ජාතියට හා බුද්ධාගමට බැට දෙන්නකු වශයෙන් ප්‍රසිද්ධ අශෝක හඳගමගේ ‘රාණි’ සිංහල චිත්‍රපටියට විශාල ප්‍රචාරයක් ලැබුණි. දේශප්‍රේමීන් වශයෙන් ප්‍රසිද්ධ ඇතැම් පුද්ගලයෝ පවා, ‘රාණි නැරඹිය යුතු චිත්‍රපටියක් බව’ සඳහන් කරමින් ලිපි ලියා ප්‍රසිද්ධ කළහ. රාණි චිත්‍රපටිය මගින් විස්තර කෙරෙන්නේ ජවිපෙ භීෂණය පැවති සමයේ මරාදැමුණු රිචඩ් ද සොයිසාගේ චරිතය බව ඔවුන් සමහරකුගේ අදහසයි. චිත්‍රපටියෙන්, රිචඩ්ගේ නොව ඔහුගේ මව මනෝරාණි සරවනමුත්තුගේ චරිතය කියැවෙන බව තවත් පිරිසකගේ අදහසයි.

‘රාණි’ චිත්‍රපටිය මේ ආකාරයට නරඹන්නන්ට සැකයක් මතු කිරීම අරමුණක් ඇතිව සිදු වූ දෙයකි. කවියක් මගින් ‘කජු පේර වරකා කෑම නරකයි’ යන සිතුවිල්ල සිංහල මනසට දැමීම ඉහතින් සඳහන් කෙරිණි. මේත්, ඊට සමාන ක්‍රියාවකි. මෙවැනි කටයුතුවල යෙදෙන කලාකරුවන් සිතන්නේ සිංහලයා මෝඩයෙකු බවයි.

රිචඩ් ද සොයිසා කලාකරුවෙකි. ඔහු ජවිපෙ සමග සම්බන්ධකම් පැවැත්වූ බවට පැතිරෙන කතාන්දරවල ඇත්තක් නැති බව, රිචඩ් ඇසුරු කළ, ඔහු ගැන හොඳින් දන්නා අය දනිති. මනෝරාණි සරවනමුත්තු දෙමළ වෛද්‍යවරියකි. ඇය ලලිත් ඇතුලත්මුදලි ඇමතිවරයාගේ පෞද්ගලික වෛද්‍යවරියක වශයෙන් කටයුතු කළාය. සොයිසා පවුල කතෝලිකයෝ වූහ. රිචඩ් ද සොයිසාගේ මරණය ඝාතනයකි. දේශපාලනයට ඍජුව සම්බන්ධ නොවූ මෙවැනි පුද්ගලයන් ගණනාවක් මේ කාලයේ ඝාතනයට ලක් වූහ. ගාමිණි දිසානායකගේ අඹ යහළුවෙකු වූ කොළඹ නොරිස් කැනල් පාරේ පදිංචිව සිටි ලීලානන්ද බණ්ඩාර නිදසුනකි. රාණි චිත්‍රපටියෙන් ව්‍යංගයෙන් කියැවෙන්නේ ලංකාවේ දෙමළ ජනතාවට සිංහලයින්ගෙන් විශාල අසාධාරණයක් සිදු වූ බවයි.

‘කෝටා ක්‍රමයට මන්ත්‍රීවරියන් පත් කරන්නට රනිල් උනන්දු වන්නේ ඇයි?’ මැයෙන් පසුගියදා බෝධි සභාවේ පළ කර තිබූ ලිපියේ ‘වෝක්වාදය’ නමින් ඇමරිකාවෙන් බිහි වූ සමාජ දර්ශනයක් ගැන සඳහන්ව තිබුණි. මෙය ඇමරිකාවේ සරසවි උගතුන් කිහිප දෙනෙකු ඉදිරිපත් කළ බෙදුම්වාදයකි. ඕනෑම රටක ජීවත් වන වැසියන් පංති, ජාතීන්, ආගම්, කුල ඈ ක්‍රමවලට බෙදා අවුස්සා ගැටුම් නිර්මාණය කිරීම එම දර්ශනය නිසා සිදු වේ. ඉන්දියාවේ දලිතයන්, ක්‍රිස්තු භක්තිකයන්, රැඩිකල් ඉස්ලාමිකයන්, හින්දුන්ට විරුද්ධව අවුස්සන්නට ඇමරිකාවේ විශ්වවිද්‍යාල කිහිපයක් මුල් වී ඇති අයුරු ඉන්දියාවේ උගත්තු කලක සිට පැහැදිලි කරති.

ඇමරිකාවෙ නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ජනතාව බෙදන වෝක්වාදයට පමණන් නොව ඇමරිකානු ආධාරයෙන් ලෝකයේ විවිධ රටවල ක්‍රියාත්මක බෙදුම්වාදී සංවිධානවලටත් විරුද්ධව කටයුතු කරයි. ඔහුගේ ආණ්ඩුවේ ප්‍රබලයෙකු වූ ඊලොන් මස්ක්, ‘ඇමරිකානු ආධාර වැඩපිළිවෙළ’ සාපාරාධි කටයුතුවල යෙදෙන සංවිධානයක් හැටියට හඳුන්වමින්, එය මිය යා යුතු බව කියයි.

ලංකාවේ රාජ්‍ය නොවන සංවිධානවලින් සියයට අනූවකට වැඩි සංඛ්‍යාවක් නඩත්තු වන්නේ ඇමරිකානු ආධාරවලිනි. බෞද්ධයන් බිලී බාන ක්‍රිස්තියානි සංවිධාන සියයට අනූනවයක් නඩත්තු වන්නේ ඇමරිකානු ආධාර මුදල්වලිනි. ‘යුඑස්ඒඩ්’ නැවතුන විට ලංකාවේ ජාතික සංස්කෘතිය වෙනස් කිරීමේ කටයුත්තට විශාල පාඩුවක් සිදු වන බව ස්ථිරවම කීමට පුළුවන.

නිදහස් උත්සවයට සහභාගි වූ මාලිමාවේ මැති ඇමතින් පිරිසක් හාස්‍යයට ලක් කෙරෙන නොයෙක් ලිපි හා ඡායාරූප මේ දිනවල මැටාහි දක්නා ලැබේ. ඔවුන් කජු හපන හැටි දකින සමහරුන්ට රිළවුන්ගේ හැසිරීම සිහි වේ. කජු කෑම ඔවුන්ට නම් නරකට හිටි සැටියකි. එහි සිටින එක් අයෙක් කිහිල්ල අතගා ශරීරයේ සුවඳ පරීක්ෂා කරති. මොවුන්ගේ හැසිරීම ‘සිංහල ගතිය’ වශයෙන් ලෝකයට පෙන්වීමට දෙමළ ඩයස්පෝරාවට හැකියාව ලැබේ. දෙමළ ඩයස්පෝරාව ගත වූ කාලය පුරාම සිංහලයන්ව ලෝකයට හඳුන්වා දුන්නේ ‘වල් සිරිත් ඇති ජාතියක්’ ලෙසටයි.

පසුගිය කාලයේ මහජනයාගේ දැඩි අප්‍රසාදයට ලක් වූ මාලිමා ආණ්ඩුවේ ඇමති මන්ත්‍රීවරු කිහිප දෙනෙක් සිටිති. ඔවුන් උසස් සභාවකට නොගැලපෙන අයුරින් කජු කන පිරිස අතර කැපී පෙනෙන්නෝ වෙති. ඔවුන් හෑල්ලුවට ලක්වෙද්දී අගමැති හරිනි අමරසූරිය ප්‍රධාන උගතුන් වැනි අය ගැන ප්‍රසාදයක් රටවැසියාට ඇති වේ. ඔවුන් හැම තැනකම හැසිරෙන්නේ උගතුන් ලෙසිනි. ජනාධිපති අනුර කුමාර දිසානායක මඩේ සිටවූ ඉන්නක් ලෙසින් දෝලනය වෙමින් සිටී.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link