Last Updated on 1 week by admin
ඩේවිඩ් ඇන්තනි

Pic. credit: lankadeepa.lk
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයන් වූ ඇමරිකාව, රුසියාව, ඉන්දියාව, චීනය වැනි සුවිශාල රටවල් හා සමාන කිරීමේදී ලංකාව ප්‍රමාණයෙන් මහාසාගරයේ තල්මසුන් තෝරුන් මෝරුන් අතර සිටින හාල්මැස්සෙකුට සමානය. එහෙත් සංස්කෘතික උරුමය සැලකිල්ලට ගත් විට, ලංකාව දැවැන්තයෙකි. ලෝකයේ පැරණිම භාෂාවක් ආගමක් ඉතිහාසයක් රැකගන්නා රටවැසියන් පිරිසක් ලංකාවෙහි වාසය කරති. ඒ උරුමය රකින්නේ ලක්ෂ සංඛ්‍යාත මුතුන් මිත්තන් පිරිසකගේ ජීවිත පරිත්‍යාගය නිසා බව ඔවුන්ගෙන් සෑහෙන පිරිසක් දනිති. චිරාත් කාලයක් මුළුල්ලේ ළමයින් හා දෙමව්පියන් අතර සම්බන්ධය පවතින සංස්කෘතික සාරධර්ම විනාශ කිරීමට යම් පිරිසක් වෙහෙසෙන්නේ අනාගත පරපුරෙන් ඒ සම්ප්‍රදායික දැනුම නැති කිරීමටයි. එවිට බිහි වන රටවැසියන් පරඬැල් වැනිය.
කැනඩාව, ඕස්ටේරලියාව වැනි රටවල් ඇල්ලූ යුරෝපීහු, ඔවුන්ගේ ආගම හා පූජක ආයතන හරහා ළමයින් දෙම්ව්පියන්ගෙන් ඈත් කිරීමෙන් ස්වදේශිකයන් විනාශ කළහ. මේ බව පැහැදිලි කෙරෙන තොරතුරු රාශියක් අනාවරණය වී පවතී. ජාතීන්ගේ හා ජනවර්ගවල සුරක්ෂිතතාව ආරක්ෂා කිරීම මැයෙන් LGBTQ+ ප්‍රවර්ධනය, ළමා හිංසනය වැළැක්වීමේ මුවාවෙන් කාන්තා හා ළමා කටයුතු ඇමතිනී සරෝජා සාවිත්‍රී පෝල්රාජ් ගෙනෙන යෝජනා ආදියෙන් සිදුවන්නේත් ඊට සමාන දෙයකි. මේවායේ එක් ප්‍රතිඵලයක් වන්නේ සිංහල ළමයින් හා දෙමව්පියන් අතර පවතින බැඳීම කඩා දැමීම සහ දෙපර්ශ්වයේම සහජ ගතිගුණ වෙනස් වීමයි. නව ලිබරල්වාදය නමින් මේ අපාරාධය බටහිර ලෝකයේ මීට කලකට පෙර සිදු විය.
ඉතිහාසයේ ලංකාව යටත් විජිතයක් කිරීමට පැමිණි හැම ආක්‍රමණිකයෙකුටම මූලික බාධකය වූයේ සිංහල බෞද්ධ සංස්කෘතියයි. පෘතුගීසි පූජකවරුන් නිසා ඇරඹුණු ලංකා කතෝලික සභාව ආරම්භයේ සිටම බෞද්ධ සංස්කෘතිය වෙනස් කිරීමට උත්සාහ දැරූ සංවිධානයකි. එහි නූතන නායකයෙකු වූ කාදිනල් මැල්කම් රංජිත්ගේ යම් යම් හැසිරීම් මාලිමාවට බලය ලැබීමට ආධාර විය. මාලිමා නායක අනුර දිසානායක ලංකාවේ ජනාධිපතිවරයා වශයෙන් කොලයක් බලාගෙන හෝ එජා සංවිධානය හමුවේ සිංහලෙන් කතා කිරීම රටට ආඩම්බරයක් විය යුතුයි. එහෙත් එය අවමානයක් වූයේ ඉංග්‍රීසි හෝ වෙනත් ප්‍රධාන යුරෝපීය භාෂාවක් නොදැන යුරෝපීන්ගේ ෆුල් සූට් ඇඳුමින් සැරසී පෙනී සිටීමෙනි. 29 දින හිරු සලකුණට සහභාගි වූ විමල් විරවංශ, එජා සංවිධානය හමුවේ අනුර පැවැත්වු කතාව රටේ කුණු එකතු කර ලෝකයා හමුවේ හෙළීමක් බව පැහැදිලි කළේය. අනුර ජාතියේ සම්ප්රදාය පරිදි ලෝක වාසීන්ට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් කතාව අවසන් නොකිරීමද රටට කළ අපකීර්තියකි.
වැලි කාන්තාර, විෂඝෝර සර්පයින්, සොර කණ්ඩායම් හා ප්රචණ්ඩ සභ්‍යත්වයකට හිමිකම් කියන මනුෂ්‍යයන් වෙසෙන තමන්ගේ ජාත භූමිය වූ සුනාපරන්තයට යාමට සැරසෙන පුණ්ණ ථෙරනුවන් හා සංවාදයක යෙදුන බුදුන් වහන්සේ, එහි ගොස් ජීවත් වන්නට හැකි දැයි එතුමාගෙන් විමසූහයි බෞද්ධ ඉතිහාසයේ සඳහන් වේ. සුනාපරන්තය අරාබිය බව බොහෝ විද්වතුන්ගේ අදහසයි. එහි වැසියෝ ඉස්ලාම් ආගම යටතේ අතිශයින් රණකාමී සංස්කෘතියක් බිහි කරගත්හ. තුර්කිය, පර්සියාව හා භාරතයේ බෞද්ධ හා හින්දු රටවල් සියල්ලම යටත් කරගැනීමට ඒ සංස්කෘතියට හැකි විය. රෝමයේ ක්‍රිස්තියානි ආගමත් එවැනිම රණකාමී සංස්කෘතියක් ගොඩනගා ගෙන රටවල් යටත් කළේය.
මේ කණ්ඩායම් දෙකම ලංකාව යටත් කරගන්නට වෙහෙසුනහ. ලෝක ආධිපත්‍යය උදෙසා සටන් කළහ. ඒ සටන් ‘කෘසේඩ්ස්’ (කුරුස යුද්ධ) නම් වේ. කුරුස යුද්ධ නිම වූයේ ඉස්ලාම් හමුදාව පරාජයට පත් වීමෙනි. පාප් නායකත්වය දැරූ ක්‍රිස්තියානි හමුදාව ජයග්‍රහණය කෙළේය. මෙයින් පසුව ඉස්ලාම් පාර්ශ්වය ඔවුන්ගේ රණකාමී සංස්කෘතිය වෙනස් කළේය. සාමය සහ සහජීවනය ගැන කියමින් ඉස්ලාම් ජනගහණය වැඩිකිරීම හා ව්‍යාප්ත කිරීම එහි අංග දෙකකි. බටහිර යුරෝපය ඔවුන්ගේ වැඩපිළිවෙළ කොතරම් සාර්ථක දැයි යන්න පෙන්වන ස්ථානයකි.
සුදු ජාතිකයන්ගේ රටවල ජාතික ව්‍යාපාර ජනප්‍රිය වන්නේ මතු වී ඇති ඉස්ලාම් අභියෝගයට මුහුණ දීමටයි. ඒ හැම ජාතික ව්‍යාපාරයකින්ම කියැවෙන්නේ සංක්‍රමණිකයන් ඔවුන්ට ඇති ලොකුම ගැටලුව බවයි. පසුගියදා බ්‍රිතාන්‍යයේ සංචාරයක යෙදුන ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ලන්ඩනයේ නගරාධිපති සිද්ධික් හුසේන් කෙරෙහි අප්‍රසාදය ප්‍රකාශ කරමින් ලන්ඩන් නගරයේ කොටසක ෂාරියාර් නීතිය ක්‍රියාත්මක වන බව කීවේය. අතීතයේ ජෙරුසලම බේරා ගැනීමට ගිය කඩුගත් ක්‍රිස්තියානි සොල්දාදුවන් සිහිගන්වමින්, වතිකානුවට හා ජෙරුසලමට ‘ටෙම්ප්ලර් නයිට්වරුන්’ යන්නට පටන් ගෙන ඇත. (Reimagined Templer Knights provide assistance to 2005 jubilee pilgrims –EWTN Vatican) මෙය භයානක අනාගතයක පෙරනිමිත්තකි.
හින්දු ජාතික නායකයෙකු වූ නරේන්ද්‍ර මෝදි, ‘වික්සිත් ඉන්දියාව’ බිහි කරයි. ප්‍රබල ජාතික නායකයෙකු වන ෂී යටතේ චීනය ලෝකයේ මහා බලවතෙකු වෙමින් සිටියි. රුසියාවේ පුටින් හා ඇමරිකාවේ ට්‍රම්ප් අතිශයින් ප්‍රබල ජාතික නායකයින් දෙදෙනෙකි. ශ්‍රී ලංකාව ඔවුන්ට නොදෙවෙනි නායකයින් බිහි කළ රටකි. එය දැනගන්නට ඈත අතීතයට යා යුතු නැත. සිරිමාවෝ බණ්ඩාරනායක අගමැවරිය මුලු ලෝකයේම ගෞරවය දිනා ගත්තාය. මේ හැකියාව වටහා නොගන්නා රටවැසියෝ රට විනාශයට පත් කරති. ලංකාවේ දෙම්ව්පියන් දරුවන් හදන්නේ පිටරටවලින් එන කාමාතුරයින්ට සැප දීම සඳහා නොවේ. එහෙත් මුල් සිඳගත් හා රට ගැන නොසිතන පුද්ගලයින්ට දරුවන් මොන විනාශයක් කර ගත්තත් කමක් නැත.