සංසාරගත දැනුම සහ ‘අධ්‍යාපනය’

Last Updated on 4 hours by admin

කොලට් සේනානායක
නාරද කරුණාතිලක

ශකුන්තලා දේවි Pic. Credit: Indian television academy

මිය ගිය පුද්ගලයාට විප්ලවීය ආචාරය දැක්වීම හෝ සුබ ගමන් පැතීම බටහිර සිරිතකි. සිංහල බෞද්ධ සම්ප්‍රදාය නිවන් සුව ප්‍රාර්ථනා කිරීමයි. අකුසල් කිරීම මෙන්ම දැනුම රැස්කිරීමද පුද්ගලයකුගේ සංසාර ගමන දික්කරන්නට හේතු වේ.

ඕනෑම ළමයෙකු උපතින් දැනුමක් හිමි කරගෙන සිටින බව, පැරණි පෙරදිග අධ්‍යාපනයේ පිළිගැනීම විණි. බ්‍රාහ්මණ, ජෛන සහ බුදු දහම පුද්ගලයා උපතින් හිමිකරගන්නා දැනුම පැහැදිලි කිරීමට පූර්ව ජන්ම හා සංසාරගත තොරතුරු ඉදිරිපත්කර තිබේ. සිංහල රජවරු රටපුරා විහාරස්ථාන ගොඩනැඟීමට සහ සඟ පරපුර වර්ධනය කරනු පිණිස වෙහෙසීමට ප්‍රධාන හේතුව පුද්ගලයාගේ සංසාර ගමන නැවැත්වීමේ අරමුණයි.

මරණින් පසු උපතක් නැතැයි පිළිගත් ක්‍රිස්තියානි සහ ඉස්ලාම් ආගම් ආසියාවේ රාජ්‍ය බලය හිමිකර ගැනීම හේතුවෙන් පෙරදිග අධ්‍යාපන ක්‍රමයේ අභාවය සිදු විය. නාලන්දා, වික්‍රමශිලා, උජ්ජයිනි, තක්ෂිලා වැනි අධ්‍යාපන මධ්‍යස්ථානයන්හි නටබුන් මේ විනාශය සිදුවූ ආකාරය පැහැදිලි කරන සාක්කි කිහිපයකි.

මිහිඳු හිමියන්ගේ නිජබිම වූ උජ්ජයිනි, ජම්බුද්වීපයේ ප්‍රසිද්ධම ගණිත අධ්‍යාපන පීඨය තිබූ භුමියයි. උන්වහන්සේ උජ්ජයිනියේ ඉගෙනුම ලැබූහයි අනුමාන කිරීමට සාධක තිබේ. පෙරදිග අධ්‍යාපනයට අත්වූ ඉරණම උන්වහන්සේ පිහිටුවූ සිංහල බෞද්ධ අධ්‍යාපනයටත් අත් විය.

සංසාර උරුමයක් ලෙස දැනුම ලැබෙන බව ඔප්පු කිරීමට බැංගලෝරයේ උපන් ශකුන්තලා දේවි හොඳ සාක්කියකි. ඉතාම දිළිදු බ්‍රාහ්මණ පවුලක සාමාජිකාවක වූ ඇය පදික වේදිකාවේ ‘මැජික්’ පෙන්නූ පියාගේ උදව්වට යන විට වයස අවුරුදු පහක් බව කියැවේ. රබානක් වයා සුළු පිරිසක් රැස්කර ගන්නා මැජික්කාරයා , ඕනෑම අසීරු අංක ගණිත ගැටලුවක් දියණියගෙන් අසන්නැයි පිරිසට කියයි. කුඩා ගැහැණු දරුවා සභාවෙන් ඉදිරිපත වන ඕනෑම ගණනක් සිතෙන් එකතුකර නිවැරදි පිළිතුර කියයි. නරඹන්නෝ විමතියට පත්වෙති. ළදරු පාසලක හෝ රජයේ පාසලක හෝ ඉගෙනුම ලැබුවා නම් ඒ මැජික් එක කරන්නට තමන්ට නොලැබෙනු ඇතැයි වරක් ඇය අප හා කීවාය.

පවුල වෙනුවෙන් සුළු මුදලක් සෙවීමට වෙහෙසුන ශකුන්තලා දේවී සතුවූ උපන්ගෙයි හැකියාව නිසා ඇයට එංගලන්තයට යාමට මග පෑදුණි. එහිදී ඉතා ප්‍රසිද්ධ මානව විද්‍යාඥයෝ හා මානසික වෛද්‍යවරු ඇය සොයා පැමිණියහ. ඒ කිසිවකුට ශකුන්තලා ගණිත ගැටලු විසඳන්නේ කෙසේදැයි නිවැරදිව පැහැදිලි කිරීමට නොහැකි විය.

පරිගණකවලට වඩා වේගයෙන් සංකීර්ණ ගණිත ගැටළු විසඳූ ඇය, “මානව පරිගණකය” (Human computer) නමින් හැඳුනුම් ලැබුවාය. මේ අසාමාන්‍ය හැකියාව නිසා 1982 දී ඇගේ නම ගිනස් වාර්තා පොතට ඇතුළත් කරන ලදි.

ශකුන්තලා දේවිගේ ගණිත හපන්කම් අන්තර්ජාලයෙන් දැනගත හැකිය. ඉන්දියාවේ සමලිංගිකයන් ගැන පළමු වරට පර්යේෂණාත්මක නිබන්ධනයක් (The world of Homosexuals; 1977) ලියා ඇත්තේද ඇයයි.

බොහෝ විදේශිකයන්ට ඉන්දියානුවන් සහ සිංහලයන් අතර වෙනස වටහා ගැනීමට නොපුළුවන. සිංහලයන් තමාගේ කරගැනීමට ඉන්දියානුවන් කැමැතිය. එහෙතු බොහෝ සිංහලයන්ට ඉන්දියානුවන් හා සම වීම අසීරුය. ඊට ප්‍රධාන හේතුව ඔවුන්ට අනන්‍යතාවක් නැතිකමයි. ඒ සඳහා නිවැරදි සිංහල ඉතිහාස දැනුම අත්‍යවශ්‍යය.

කලක් අපි ශකුන්තලා දේවි කිට්ටුවෙන් ඇසුරු කළෙමු. අප, සිංහලයන්ගේ ඉන්දියානු සම්බන්ධතා ගැන තොරතුරු කියනු අසන ඇය අප අතර ජාන සම්බන්ධතා ඇතැයි කීවාය.

මාලිමා ආණ්ඩුව වර්තමානයේ රටට කරන ලොකුම හානිය සිංහලයන්ගේ ජාතිකත්වය නැති කිරීමට රාජ්‍ය බලය යොදාගැනීමයි. ඔවුන්ට අවශ්‍යව ඇත්තේ දේශපාලනඥයාගේ ඕනෑම අනුවණකමක්, ඥානවන්ත දෙයක් වශයෙන් බාරගන්නා සිංහලයන් පිරිසකි. ඒ සඳහා ලංකාවේ භාවිත වන යල් පැනගිය අධ්‍යාපන ක්‍රමය යොදාගන්නට සැරසෙන්නේ කාගේ හෝ උපදේශයකට විය යුතුය.

හරිනි අමරසූරියගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා භයානක යයි දැනුමැත්තන් කියන්නේ එයින් මතු පරපුර මහා සංස්කෘතික විනාශයකට ලක්වන බව තේරුම් ගැනීමෙනි. ඉස්ලාම් සහ ක්‍රිස්තියානි අධ්‍යාපන ක්‍රම ලෝකය ජයගෙන ඇති බව ඇත්තකි. මේ ක්‍රම දෙකටම වෙනස් ජාතික අධ්‍යාපන ක්‍රමයක් බිහි කිරීමට චීන අධ්‍යාපනඥයින් සමත්ව තිබේ. ඉන්දියාවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල පදනමද සිය උරුමය ප්‍රකාශ කිරීමයි.

අස්ගිරි පාර්ශ්වයේ මහානායක අති පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමියෝ මුතියංගන විහාරයේ පැවති ආගමික උත්සවයකදී අනුශාසනයක් කරමින්, රටේ සභ්‍යත්වය හා සංස්කෘතිය විනාශ කිරීමේ කුමන්ත්‍රණයක් ඇතැයි කීහ. ජනාධිපති අනුර කුමාර දිසානායක යාපනේදී කළ කතාව ඊට එක් නිදසුනකි. හරිනිගේ ප්‍රතිසංස්කරණ නිවැරදි යයි කියමින් මහපාරේ කෑ ගසන අනුවණයින් තවත් නිදසුනකි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top