තෙල් කෑල්ලක් කාල ගම් කැල්ලක් ගියත් මොකද කිව්වලු

Last Updated on 1 week by admin

අපි ලෙනින් කියවමු – 07

කොලට් සේනානායක
නාරද කරුණාතිලක

මාක්ස්ගේ කොමියුනිස්ට් ප්‍රඥප්තියට අනුව, ඕනෑම රටක කම්කරුවන්ගේ නැගීසිටීම සිදු වන්නේ රටේ පවතින ධනවාදී සමාජ ක්‍රමය මෝරා ඉදීමෙන් අනතුරුවයි. මිනිස් ඉතිහාසය කේන්ද්‍ර කර ඉදිරිපත් කරන ලද ’පන්ති අරගලය’ නමින් හැඳින්වෙන මාක්ස්ගේ දාර්ශනික විවරණය පිළිබඳව ඇතැම් යුරෝපීය උගතුන් විවරණ ඉදිරිපත් කර තිබේ. රුසියානු විප්ලවය මෙහෙයවූ ලෙනින් එවැන්නෙකි. කම්කරුවන් විසින් සංවිධාන කරන කොමියුනිස්ට් පක්ෂයක් මගින් පමණක් රටක විප්ලවය සිදු කෙරෙන බව ඔහු කීවේය. විප්ලවය යනු ස්වභාවික ප්‍රසවය සිදු නොවී විළිරුදාවෙන් කෑගහන කාන්තාවකගේ කුසේ සිටින දරුවා එළියට ගන්නා සැත්කමක් යැයි හෙතෙම වරෙක සඳහන් කළේය.

කාල් මාක්ස් සහ පෙඩ්රිච් ඒංගල්ස් යන දෙදෙනාම බටහිර යුරෝපයේ බිහි වූ දාර්ශනිකයෝය. දර්ශනයක් තබා සරල දේශපාලන සිදුවීමක් වත් වටහා ගන්නට බොහෝ සිංහලයන්ට නොහැක. ඊට ප්‍රධානම හේතුවක් වන්නේ, ඌව කැරැල්ල නම් වූ නිදහස් සටන මර්දනය කරන බ්‍රිතාන්‍යයන් ශ්‍රේෂ්ඨ සිංහල ජාතිය වඳ කිරීමේ පරමාර්ථයෙන් කළ මනුෂ්‍ය සංහාරයයි. එය ජාන සංහාරයකි. උඩරට රාජ්‍යයේ සියලු සටන්කාමීහු බ්‍රිතාන්‍යයන්ගේ සංහාරයට ගොදුරු වූහ. බ්‍රිතාන්‍යයෝ පහත රට සිංහලයන්ගේ අදීනත්වය නැති කිරීම සඳහා ක්‍රිස්තියානි ආගම සහ අධ්‍යාපනය භාවිත කළහ. මෙය පරිසර ක්‍රියාවලියේ දේශීය බීජ වඳ කිරීම වැනි ක්‍රියාවකි.

එහි ප්‍රතිඵලය සරල දේශපාලන සිද්ධියක් පවා තේරුම් නොගෙන මෝඩකම් කරන සිංහල ජාතියක් බිහිවීමයි. සිරිමාවෝ බණ්ඩාරනායක පරදවා ජේ.ආර්. බලයට පත් කිරීම හොඳ නිදසුනකි. ලංකාවේ පැවති නොබැඳි ජාතීන්ගේ සමුළුව සිරිමා බණ්ඩාරනායක, ලංකාව ලෝකයේ බැබළ වූ එක් අවස්ථාවකි. කච්චතිව් ලංකාවේ උරුමයක් යයි ඉන්දියාවට පිළිගැන්වීම ඇයගේ හපන්කමකි. බ්‍රිතාන්‍යයන් ලංකාවේ වතු වගාවට ගෙනා දෙමළ කම්කරුවන්ගෙන් අඩක් ආපසු භාර ගැනීමට ඉන්දියාව එකඟ වූ සිරිමා-ශාස්ත්‍රී ගිවිසුමද ඇගේ හපන්කමකි. එකල ඇරඹුණු රාජ්‍ය කර්මාන්ත ඇය රටේ ආර්ථික සංවර්ධනයට කළ මහගු සේවාවට නිදසුනකි. සිංහලයන් විශාල පිරිසක් මේ කිසිවක් වටිනා දේවල් හැටියට සිතා නැත. ඔවුහු ජේ.ආර්. බලයට පත්කර ඒ මග විනාශ කර ගත්හ.

මාක්ස්ගේ තර්කය පරිදි දම්වැල් මිස නැති වන්නට වෙන කිසිම දෙයක් නැති කම්කරු පංතිය විසින් රටක විප්ලවය සිදු කරයි. එහෙත් සාර් පාලනය පැවති රුසියාව විශේෂ කම්කරු පංතියක් නොසිටි රටකි. විප්ලවය සිදු වූ රුසියාව කර්මාන්ත යුගයට සමීපව නොසිටි රටකි. එම නිසා මාක්ස් රුසියාවේ විප්ලයක් ගැන නොසිතුවේය. ඇමරිකාවේ කම්කරුවන් ඇමරිකාව තුළ විප්ලවය සිදු කරනු ඇතැයි ඔහු සිතුවේය. මාක්ස්ට වැරදුණි. දෙවන ලෝක යුද්ධය හටගෙන ඇමරිකාව ලෝක බලවතා විය. ගෙවල් දොරවල් වතු පිටි යාන වාහන දරු පවුල් ආදී වශයෙන් නැති වන්නට බොහෝ දේවල් තිබුණු ඇමරිකාවේ කම්කරුවන්ට විප්ලවයක් අවශ්‍ය නොවීය.

ලංකාව පවත්වන මැයි දින සංදර්ශනය ඇමරිකානුවන් පිරිසකගේ කෝලහාලයක් මුල්කොට ආරම්භ වූවකි. එය බදාගෙන ලංකාවේ වාමාංශිකයන් පිස්සු නටනු නිරීක්ෂණය කළ ජේ.ආර්., ජාතික සේවක සංගමය නිර්මාණය කර ඔවුන් යොදවා මැයි දින සංදර්ශනයක් පවත්වන්නට වූයේය. බොහෝ මැයි දින සංදර්ශනවලට කෝටි ගණන් මුදල් යෙදවිය යුතුයි. මෙවර මාලිමාවේ හැම මැයි රැලියකටම ධම්මික පෙරේරා රු. ලක්ෂ 60 බැගින් මුදල් යොදවා ඇතැයි සමාජ මාධ්‍යවල වාර්තා වී තිබුණි. ජනාධිපති අනුරගේ මැයි දින හෙලිකොප්ටර් ගමන්වලටම මොන වියදමක් යන්නට ඇත්ද?

ඇමරිකාව හා සමාන කරන විට ඉන්දියාව නිර්ධනයින් වැඩිම සංඛ්‍යාවක් සිටි රටයි. එහි විසු හිසට වහලක් නැති පවුල් කොතරම් දැයි කිව නොහැක. ඔවුහු විප්ලව කරන්නට නොසිතූහ. ඊට හේතුව ඔවුන්ගේ සංස්කෘතියයි.
දඹදිව යනු ශාස්තෘන් වහන්සේ සහ දාර්ශනිකයන් බිහි කළ භූමි කලාපයකි. ඒ හැම ශාස්තෘවරයෙක්ම ජීවිතයේ වටිනාකම පරිත්‍යාගය බව දේශනා කර ඇත්තාහ. සියලු වස්තුව දුගියන්ට දන් දුන් මහාවීර, රජ කුමාරයෙකි. තපසට වල්වදින එතුමාගේ ඉණ දවටාගෙන සිටි වස්ත්‍රය කටු අත්තක පැටලුණි. එය කටු පඳුරට පරිත්‍යාග කළ එතුමා නිරුවතින් වනගත විය. බෞද්ධයන්ගේ වෙස්සන්තර වැනි ජාතක කතාවලින් පැහැදිලි කෙරෙන්නේ දානයේ වටිනාකමයි. ඉංග්‍රීසි පාලනය හා ඔවුන්ගේ අධ්‍යාපන ක්‍රමය විසින් ඉන්දියාවේ ප්‍රභූ චින්තනය වෙනස් කළ බව ඇත්තකි. එහෙත් මහත්මා ගාන්ධි ටයි කෝට් ඉවත ලා කදාර් රෙද්දකින් මහජන සේවයට පැමිණියේය.

බටහිරට නතු වූ නේරු පරපුර ඉන්දියාව පාලනය කරන විට ඇමරිකානුවෙකු ඉදිරිපත් කළ ධනාත්මක චින්තනය එහි පැතිරුණි. ඉන්දියානුවන් ක්‍රිස්තියානි කිරීමට යොදවා සිටි රුමේනියානු ජාතික ‘මදර් තෙරේසා’ එය පිළිගත් සහෝදරියකි. ‘බෝපාල් ඛෙදවාචකය යහපත් සිදුවීමක් බව සිතන්නැ’යි ඇය ඉන්දියානුවන්ට කීවාය. අනතුරුව විපතින් අනාථ වූ පවුල්වල දරුවන් එකතු කරන්නට වූවාය. තෙරේසා මවුතුමියගේ දරුවන් එකතු කිරීම ජාවාරවමක් බව දැන් හෙළිවී තිබේ.

1971 කැරැල්ලට නායකත්වය දුන්නේ ඉතා අඩු උගත්කමකින් යුතු, තමන් උගත් යයි සිතූ තරුණයින් අතළොස්සකි. මොවුන්ගේ නායකයින් යොදවා සිංහල බෞද්ධ සංස්කෘතියට පහරදීමට විජාතික බලවේගවලට හැකි විය. මාලිමා ආණ්ඩුව ඒ විජාතික බලවේගයේම නිර්මාණයකි. එය ඇදගෙන යන්නේ මාක්ස්වාදීන් හා විදේශවලින් හැදූ සිංහල අධ්‍යාත්මය නැති උගතුන් පිරිසකි. ඔවුන්ගේ අලුත් ක්‍රිකට් පාලන මණ්ඩලය ‘බෝන් එගේන්’ පිල්ලියක් බව තේරුම් ගන්නට ලොකු බුද්ධියක් වුවමනා නැත.

නරේන්ද්‍ර මෝදි ඉන්දියාව ලෝකයේ බලවත්ම රාජ්‍යයක් බවට පත් කරමින් සිටියි. ඒ ඉන්දියාවේ සංස්කෘතික හරය වටහා ගැනීමෙනි. මෝදිගේ නායකත්වය වෙනුවට එංගලන්තයේ නිර්මාණයක් වන අරුන්දතී රෝයි පත්කර ගතහොත් ඉන්දියාවට කුමක් සිදු වනු ඇත්ද? මෑතක් වෙනතුරු වෙන්නප්පුව කටුනේරිය මුදුකටුව ප්‍රදේශවල විසූ පැරැන්නන් ඌරු මස් කෑවේ, ‘තෙල් කෑල්ලක් කාල ගම් කැල්ලක් ගියත් මොකද?’ කියමිනි. එය ‘ගිණුම්වලට සල්ලි වැටෙනව නම් රටෙන් කැලි ගියත් අපට මොකද?’ යනුවෙන් කාලානුරූපී විය යුතුය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top