Last Updated on 1 week by admin
කවුඩංගොල්ලේ මහ විදානේ

ඡායාරූපය මුහුණුපොතෙන් උපුටා ගන්නා ලද්දකි.
ලෝක රාජ්‍ය නායකයින්ගේ සමුළුවට ගිය අනුර ජනාධිපති සහෝදරයා දිවකුරු බඳින ලද්දෙකුගේ තත්වයට පත්වූ අයුරු රටම දැක්කේය. ලංකාවේදී නම් මයික් එකක් ඉස්සරහට ගිය විට ඔහු කතාකරන්නේ දිවේ හෙණරාජ තෛලය, නැතිනම් කහඹිලියා ගා ඇති පරිදිය.
උස් තැන් දැක හැකිළෙන්නේ
මිටි තැන් දැක පුප්පන්නේ
නිවටුන් බව හිතමින්නේ
මගේ පුතා නැළවෙන්නේ
කියා ටිබෙට් ජාතික ඇස්. මහින්ද හිමියන් කියා තිබේ.
කටබොරු කිව්වත් දිව බොරු කියන්නේ නැතැයි සිංහල ගැමියෝ කියති. ඒ කතාවේ තේරුම නොදන්නා අයට අනුර ජනාධිපති සහෝදරයාගේ කතා ආසාගෙන සිටීමෙන් අරුත වටහාගත හැකිය. ඊයේ පෙරේදා ජනාධිපති සහෝදරයා කන්තලේදී කියා ඇති කතාව ඊට අපූරු උදාහරණයකි.
“අපි නොවැම්බර් මාසෙදී යළි අයවැයක් ගේනවා. ජුනි මාසය වෙද්දී ඒකට යෝජනා ගන්නවා. එතකොට ප්‍රාදේශීය සභාව මොකද කරන්න ඕනා? මෙන්න කන්තලේ ප්‍රාදේශීය සභාවේ ආදායම, මෙන්න තියෙන වැඩ. බලපුවාම මොකද වෙන්නෙ? ආදායම මදි, කරන්න තියෙන වැඩ ගොඩක් තියෙනවා. එහෙනම් මොකද කරන්න ඕනෙ, මහ ආණ්ඩුවෙන් ඉල්ලනවා මේ වැඩ ටික කරන්න. අපි ඒක මහ ආණ්ඩුවෙන් දෙන්නම්.
අපි යෝජනාව අතට ගන්නවා. මුදල් අමාත්‍යාංශයනෙ. යෝජනාව අතට අරන් බලනවා, යෝජනාව ඇවිල්ලා තියෙන්නෙ කන්තලේ ප්‍රාදේශීය සභාවෙන්. ඊළඟට බලනවා එවලා තියෙන්නෙ කවුද? ආ… කන්තලේ ප්‍රාදේශීය සභාව තියෙන්නෙ ජාතික ජන බලවේගය අතේ, එහෙනම් ඇස් පියාගෙන යෝජනාව අනුමත කරලා සල්ලි ලබාදෙනවා. ඊළඟට අපි බලනවා, නෑ ප්‍රාදේශීය සභාව වෙන කාටදෝ ගිහිල්ලා. ඒගොල්ලො තමයි එවලා තියෙන්නෙ. මොකද කරන්නෙ? දහ සැරයක් බලනවා. ඇයි? දන්නවානෙ හිටපු කට්ටිය කොහොමද හැදුවෙ? පාරට කොන්ක්‍රීට් ටිකයි, වැඩිපුර සාක්කුවට ගියෙ නැද්ද?
එහෙම නම් සල්ලි දෙන්නෙ නෑ. හොරකම් කරන්න සල්ලි දෙන්න ඕනෙද ? එහෙම නම් නෑ.”
එක අතකින්, මේ කතාවෙන් ජනාධිපතිවරයා නොකියා කියන්නේ ආණ්ඩුවට කෙළවී ඇති බවයි. වෙනත් විදිහකට කියන්නේ නම්, ප්‍රාදේශීය සභා ගණනාවක බලය ආණ්ඩුවෙන් ගිළිහී යන බව ජනාධිපතිවරයාට ආරංචි වී ඇති බවයි.
අනික් අතින් ජනාධිපතිවරයා මේ පෙන්වන්නේ තමා ප්‍රජාතන්ත්‍රවාදයට, රටේ ව්‍යවස්ථාවට ගරු නොකරන ඒකාධිපතියකු බවයි. ප්‍රජාතන්ත්‍රවාදය යනු ජනතාවගේ පරමාධිපත්‍යයේ බලයට වටිනාකමක් දෙන පාලන ක්‍රමයක් බව පිළිගැනීමයි. ජනතාවගේ පරමාධිපත්‍යය සංකේතවත් කෙරෙනුයේ, තමන්ට කැමති කෙනෙකුට තම ඡන්දය පාවිච්චි කිරීමට ඇති අයිතිය මගිනි. ඒ අනුව මාලිමාවට හෝ වෙනත් පක්ෂයකට තම ඡන්දය පාවිච්චි කිරීමේ පරම අයිතිය රටේ ව්‍යවස්ථාව මගින් ජනතාව හෙවත් ඡන්දදායකයින්ට පවරා තිබේ. ජනාධිපති සහෝදරයාගේ මේ තර්ජනය, ජනතා පරමාධිපත්‍යයට පයින් ගැසීමකි. තම පක්ෂයට ඡන්දය දෙන මෙන් ඉල්ලීමට ජනාධිපතිවරයාට අයිතිය ඇත. එහෙත් ජනතාව වෙනත් පක්ෂයකට ඡන්දය දී තෝරා පත් කරන පාලනයකට මුදල් නොදී කොන් කරන බව පවසා ජනතාව බය කර ඔවුන්ගේ පරමාධිපත්‍යයට පයින් ගැසීමට ඔහුට අයිතියක් නැත.
එසේ වෙනත් පක්ෂයකට බලය පැවරුවහොත් මුදල් නොදීමට ඔහු ඉදිරිපත් කරන හේතුව ආණ්ඩුවේ තවත් දුර්වලකම් රැසක් හෙළිකරයි. ආණ්ඩුවක් පවත්වාගෙන යෑමට හොඳ දැනුමක් තීක්ෂණ නුවණක් ඇති පිරිසක් අවශ්‍යය. මාලිමාවෙන් එවන ව්‍යාපෘති යෝජනාවකට ඇස් පියාගෙන මුදල් දෙන්නට ජනාධිපතිවරයා පෙළඹෙන්නේ නම්, ‘රන්වල බලකායෙන්’ එල්ල වුන ප්‍රහාරය වටහාගෙන නැත. රන්වලගේ ජපන් ආචාර්ය උපාධිය පෙන්වන බව කියා දැන් මාස 4කි. විශේෂඥ වෛද්‍යවරයකු වශයෙන් මැතිවරණ ව්‍යාපාරයේ පෙනී සිටි නියෝජ්‍ය කතානායක රිස්වි පසුව විශේෂඥ කෑල්ලක් නැතැයි කෙඳිරිගාන්නට විය. අගමැති හරිනිගේ ආචාර්ය උපාධිය ගැන සැකයක් මතුව තිබේ. හොර ඔප්පු ලියා මිලියන ගණනක් වංචා කළ වසන්ත සමරසිංහ දැන් ඇමති කෙනෙකි. ඊට සම්බන්ධ මහින්ද ජයසිංහ නියෝජ්‍ය ඇමතිවරයෙකි. පොහොර සංස්ථාවේ සේවය කළ සමයේ මුල්‍ය වංචාවකට වැරදිකරුවූ පුද්ගලයකු කැබිනට් මණ්ඩලයේ සිටින බව හැන්සාඩ් ගත වී ඇත. අතීතයේ ජවිපෙට ප්‍රා.සභා බලය හිමිවූ තැන්වල සිදුවූ නෑදෑ ගජමිතුරු සෙල්ලම් ගැන වාර්තා තිබේ.
“අයර්ලන්ත ගමනේ ‘රස රහස’ මොකක්ද?”, “කොත්තු කෑවට විනය පරීක්ෂණ ‘බිස්නස් ක්ලාස්’ වියදමට සද්ද නැත” වැනි උදෘත සමග “අනියම් බිරියන් සහ කෝටි ගණන් මුදල් අතර පැටලුනු වාමාංශික දේශපාලනයේ අලුත්ම අභිරහස” හිසින් 2016 වසරේ මැයි මස 8 වැනිදා ‘ඉරිදා දිවයින’ පුවත්පතේ පළ වූ, මනෝජ් අබේදීරගේ ලිපිය ජනාධිපතිවරයාට සිහි එළවාගත හැකි වටිනා බේතකි.
තෘෂ්ණාව මිනිස් ගතියකි. අවසර ලද රහස් තැන හොරකමට පෙළඹීම වංචනික සිත් ඇත්තවුන්ගේ සිරිතයි. මේවා දැන දැනත් මාලිමාවේ ව්‍යාපෘති යෝජනාවලට ඇස් පියාගෙන සල්ලි දෙන්නේ අමු ගොබ්බයකු පමණි.
ව්‍යාපෘති යෝජනාවක සත්‍යඅසත්‍යභාවය හොයාගන්නට යෝජනාවලිය දහ සැරයක් බලන්නට සිදුවන්නේ වැඩබැරි ටාසන්ලාටයි. වැඩකාරයාට යෝජනාවලියක් කියවූ සැණින් හොරබොරු අල්ලා ගන්නට පුළුවන. දෙවරක් පරීක්ෂා කිරීමේ වරදක් නැතත් දහ සැරයක් බලන්නා මැට්ටෙකි. නැත්තම් මැට්ටන් රැලකි. දැඩි පරීක්ෂාවට ලක් කිරීම හා දස වරක් බැලීම අතර වෙනසක් තිබේ.
මාලිමාවෙන් පාර්ලිමේන්තුවට ආ වැඩි බැරි ටාසන්ලා රොත්තක් සිටින බව ජනාධිපතිවරයාම පිළිගෙන තිබේ. ‘අපි පස් හය දෙනයි වැඩක් කරන්න පුළුවන් අය ඉන්නෙ’ යැයි පසුගිය කාලයේ ඔහු මෙන්ම මාලිමාව් ඉදිරි පෙළ නායකයින්ද පවසා තිබුණි. පසුගිය දිනවල මාලිමාවේ ප්‍රාදේශීය නායකයින් ගම් ගානේ කරක්ගසමින් ප්‍රාදේශීය සභා අපේක්ෂකයින් ඇහින්ද හැටි කියමින් ගම්වල ජනයා මේ දිනවල හිනා පලති. ඒ අනුව, ප්‍රාදේශීය සභාවලට පත්වන මාලිමා නියෝජිතයින් සහ ඔවුන්ගේ ව්‍යාපෘති ගැන යම් තක්සේරැවකට එළඹෙන්නට පුළුවන. එවැනි ව්‍යාපෘතිවලට ඇස් පියාගෙන සල්ලි දෙන අය ගැනත් හිතා ගත හැකිය.
‘ජනතා විමුක්ති පෙරමුණ යනු දේශපාලන දැක්ම, දැනුම සහ චින්තනමය වශයෙන් ඉතාම දුප්පත් ව්‍යාපාරයක්. ඔවුන්ගේ ජනරැලිවලට එන්නේ බුද්ධි හීනයෝ…’ යැයි මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි ඊයේ පෙරේදා කියා තිබේ.
මේ අතර සිංහල අවුරුදු උළෙල කඩාකප්පල් කරන්නට මාලිමාව ගත් උත්සාහයේ සැඟවුන රහස හා එහි ප්‍රතිඵල පෙනෙන්නට තිබේ. බොහෝ දෙනා කියන්නේ ජනපති අගමැති ඇතුළු ඉහළ නායකයින්ගේ පුද්ගලික ජීවිතයට සම්බන්ධ කාරණා ඊට හේතු වූ බව වුවත් සැබෑ හේතුව සිරිල් ගාමිණී පියතුමා අනාවරණය කර තිබේ. එතුමා පෙන්වා දෙන පරිදි, ජනාධිපතිවරයා සිංහල අවුරුද්ද නොසැමරීමට හා එය විකාශය නොකිරීමට හේතුව, කතෝලිකයින්ගේ ශුද්ධ වූ සතිය තුළ උත්සව සැණකෙළි පැවැත්වීම නුසුදුසු වීමයි.
පියතුමා කෙලින්නේ අලි කෙබරයකි. කතෝලික ශුද්ධ සතිය තුළ උත්සව නොපවත්වන රට කුමක්දැයි එතුමාට කීමට නොපුළුවන. එසේ නම් මෙතරම් වගකිවයුතු තනතුරක් දරන පියතුමෙකු මෙවැනි කෙබරයක් කෙලින්නේ ඇයි? යන ප්‍රශ්නය මතුවේ . ඊට පිළිතුර සරලය. පළාත් පාලන මැතිවරණයේදී කතෝලිකයන්ගේ යහපත සඳහා වැඩ කරන මාලිමාවට ඡන්දය දෙන්නැයි වහෙන් ඔරෝ භාෂාවෙන් කියා කතෝලික බැතිමතුන් ඇන්දවීමට එතුමා වෙහෙසේ. කතෝලික සභාව දේශපාලනය කරන සාමාන්‍ය ක්‍රමය එයයි. පල්ලියේ දේශපාලනය තමා දන්නේ යැයි, හිටපු ජනපති රනිල්, ‘අල් ජසීරා’ සමග පැවති සාකච්ඡාවේදී කීවේද මෙවැනි වැඩ සම්බන්ධයෙනි. ‘නූල් සූත්තරයෙන් වැඩේ කරනවා’ කියා සිංහලයින් ඇත්තේ රෑකඩ නටවනවාටය. පියතුමා කතෝලික බැතිමතුන් රෑකඩ ලෙසින් නටවන්නට සැරසේ.

ආණ්ඩුව සිංහල අවුරුදු නිවාඩුව කෙටි කිරීමට හේතුව සිංහල බෞද්ධයින්ට රිදවීම බව පැහැදිලිය. මේ ඇත්ත වටහා ගත් ජනතාව ඊට අපූරු පිළිතුරක් දුන්හ. ඒ මෙවර සිංහල අවුරුද්ද මහ ඉහළින් සැමරීම හා සමාජ මාධ්‍ය ආදියේ සිංහල අවුරුද්ද ඉස්මතු කරමින් සුබපැතුම් හුවමාරු කිරීමයි.
ආණ්ඩුව නුදුරේදීම පවත්වන්නට යන ‘ශ්‍රී ලාංකේය දිනයේ’ අරමුණ අවබෝධ කරගන්නට සිංහල බෞද්ධයින්ට නුවණ පෑදේවා…
ගසට කෙටුම ගස මුල පෑයුමෙන් දැනේ
හානා හීය පානා අඬහැරෙන් දැනේ