ඔන්න බබෝ බිල්ලෝ එනවා සංස්කෘතිය පල්ලම් යනවා

Last Updated on 4 months by admin

සංචාරකයින් ගැන කතා කරන විට ගෞරවනීය සංචාරකයින් මෙන්ම පාදඩ සංචාරකයින් කියා පිරිසක්ද ඒ අතර සිටින බව පැහැදිලියි.

වැදගත් සංචාරකයින් තම සංචාරවලදී ගණිකාවන් සොයමින් යන්නේ නැහැ. කැසිනෝ සූදුවලට යන්නේත් නැහැ.

ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් කඩා වැටුණා කියා මොන තරම් කීවත්, යහමින් මුදල් අතපත ගාන ලංකාවේ ඉහළ පන්තියේ අය ජර්මනිය, ප්‍රංශය හා ස්කැන්ඩිනේරියානු රටවල්වල සංචාරය සඳහා පැමිණි විට, ඔවුන්ගේ බිරින්දෑවරුන් හෝටල් කාමරවල තබා ගණිකාවන් සොයමින් කාලය ගත කරන ආකාරය මම අත්විඳ තියෙනවා. එසේ යුරෝපයට සංචාරයක් සඳහා එන පවුල්වල බිරින්දෑවරුන්ටත් විවිධත්වයක් සඳහා ආශාවක් ඇතිවී ඊට උත්සාහයක් දරා “සීලවන්ත” ස්වාමිපුරුෂයින්ට හසු වූයේ නම්, ශ්‍රී ලංකාවට ආපසු යන්නේ පණ පිටින් ආ පුද්ගලයා නොව මළකඳ විය හැකියි.

ශ්‍රී ලංකාව තුළදී කාන්තා විමුක්තිය ගැන බෙරිහන් දෙන්නෙත් එවන් කුහක ස්වාමිපුරුෂයන්මයි.

වැදගත් සංචාරකයා ලෝකය දැකීමෙන් තමන්ගේ නිම් වළලු පුළුල් කරගන්න උත්සාහ කරනවා.

 ආසියානු, අප්‍රිකානු හා ලතින් ඇමෙරිකානු රටවල සංචාරවලදී අතීත ශිෂ්ඨාචාර විසින් අනාගත පරම්පරාවලට ඉතිරි කර ඇති දේ දැකීමෙන් මවිතයට පත්වෙනවා.

දැනට අවුරුදු හැත්තෑ පහකට පමණ ඉහතදී ශ්‍රී ලංකාවේ ගමක හොරෙන් ගණිකා නිවාසයක් පවත්වාගෙන ගොස් එය ගම් වැසියන්ගේ කණෙහි වැකුණේ නම්, රාත්‍රී කාලයක ඒ නිවසට අසූචි මුට්ටි ප්‍රහාරයක් එල්ල වීමට බොහෝ දුරට ඉඩකඩ තිබුණා.

ලද දෙයින් තෘප්තිමත්ව සරල ජීවිතයක් ගත කළ ගැමියන්ට තමන්ගේ මව්වරුන් සහෝදරියන් ගණිකා වෘත්තීයෙහි යොදා මුදල් හම්බු කර ගන්න අවශ්‍යතාවයක් තිබුණේ නැහැ.

කොළඹ සිට හොරණ පාරේ අටවෙනි සැතපුම් කණුව පසු කරන ගමේ මීටර් 100ක දුර ප්‍රමාණයක් ඇතුළත නූතන ගණිකා නිවාස (SPA) 4 ක්ම තිබෙන බව කීවේ ගමේම අයමයි. එය පැවසුවේත් බලවත් වේදනාවකින්.

සංචාරක ව්‍යාපාර තුළින් වැටුණු ආර්ථිකය ගොඩගන්න පුරසාරම් දොඩන දේශපාලකයින් මෙන්ම ව්‍යාපාරිකයින් රටේ සදාචාරය බල්ලට යන හැටි දකින්නේ නැහැ. දකින්න උවමනාවක් ද නැහැ.

ශ්‍රී ලංකාව ථේරවාදී බුදුදහමෙන් දැනටමත් පෝෂණය වන රටක් බව රහසක් නොවෙයි.

එම හේතුව නිසාම ශ්‍රී ලංකාවෙන් බුදුදහම අකාමකා දමන්න පල්ලියට තනිවම කළ නොහැකි නිසා, දෙවතාවක්ම අසාර්ථක ලෙස විප්ලව කරන්න ගිය ග්‍රාමීය තරුණ පිරිස් නොමග යවා බළලුන් ලවා කොස් ඇට බාවන ක්‍රමයට සිංහල කම හා බෞද්ධකම හෑල්ලුවට ලක් කරන අදහස් ඇතුළත් පොතපත හා පුවත්පත් ලිපි පළවීම දිනෙන් දිනම වර්ධනය වෙමින් පවතිනවා.

අටුව කඩා පුටුව හදන්නාක් මෙන් දේශීය ඉල්ලුම්කරුවන් සඳහා මෙන්ම විදේශීය සංචාරකයින්ගේ මන දොළ සංසිඳුවාලන්නට හතු පිපෙන්නාක් මෙන් පැතිරී යන SPA දිවා රෑ සූදානමින් සිටිනවා.

ඉඟුරු දී ගම්මිරිස් ලබාගෙන කට දනවා කියමින් කෑ ගසන්නේත් රටට වෙනසක් අවශ්‍යයි කියන මිනිසුන්මයි.

රට පාවා දෙන සියලුම ද්‍රෝහිකම් අන්තර්ගත වූ ක්‍රියාකාරකම් සමාජ මුහුණුවරින් කවදාවත් නැති අන්දමින් දේශපාලන පක්ෂ ලෙස කරළියට ඇවිත්.

වසර දහස් ගණනක් තිස්සේ ඕස්ට්‍රේලියාවේ ඇබොරිජින්ස් ගෝත්‍රිකයින් වසරකට එක් දිනක් පමණක් “ව්‍යාභිචාර තහංචිය ” (incest taboo) කඩ කිරීමට ගෝත්‍රිකයින්ට ඉඩදී තිබුණා. එදා ඔවුන් වනචාරී වුණත් “වනචර” වුණේ නැහැ.

ඇතැම් පන්සල් කෝවිල් පල්ලි, විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතන එකතු වී අක්මුල් සිඳගත් තරුණ පරපුරක් විමුක්තිකාමීන් ලෙස හඳුන්වා දෙමින් රට බේරාගත හැක්කේ ඔවුන්ට පමණක් යයි කියන මිත්‍යාවට පොහොර දමමින් සිටිනවා.

මේ මහ පොළවෙහි තණකොළ ගසත් ඇතුළුව සියලුම ගස් වැනසී කාන්තාරයක් බවට පත්වුණහොත්, පොහොර කියන වචනය පොහොර මෙන්ම දිරා යනු ඇත. මන්ද එහි අවශ්‍යතාවයක් නැතිවන නිසයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link