ගාලට කොටු කළ ජවිපෙ

Last Updated on 5 months by admin

ජවිපෙ දේශපාලන සිරුරකට උපමා කළොත් ඉන්දියානු ව්‍යාප්තවාදය එහි ප‍්‍රධාන ලේ නහරයකි. මෙම පංතියෙන් ප‍්‍රකාශ වූයේ, ඉන්දියාව ලංකාවට සිය ආර්ථික දේශපාලන හා සංස්කෘතික බලය පතුරුවන පිළිවෙළයි. ලංකාවේ සම්පත් හා උරුමය පාගා පොඩි කරගෙන ටෙන්ඩර් ක‍්‍රමයට හෝ වෙනත් ක‍්‍රමවලට ඉන්දියාවේ බලය හා අයිතිය පැතිරෙන හැටි කී එහි නායකයෝ පංති පවත්වමින් ඉන්දියානු ව්‍යාප්තවාදයෙන් රට බේරාගැනීමට ප‍්‍රතිඥා දුන්හ.

ඉන්දියාව ජවිපෙ වර්තමාන නායක අනුර දිසානායකව එහි කැඳවා ගැනීම පැරණි ජවිපෙ සාමාජිකත්වය හාස්‍යයට ලක් කිරීමකි. මේ නිසා පක්ෂයේ පැරැන්නන් හා ඒ පවුල්වල සාමාජිකයන් අතර ඉදිරි ගමන ගැන කැළඹුමක් ඇති විය. ජාජබයට ගහන්නෝ එය අවියක් කරගත්හ. එනිසා ජාජබ විධායක සභික විජිත හේරත්ට හදිසි මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීමට සිදු විය. එතැනදී ඔහු අනාගත්තේය. පෙබරවාරි 15 රාත‍්‍රී ‘සිරස මුහුණට මුහුණ’ වැඩසටහන විජිත හේරත් කළ කතාව නිවැරදි කිරීමට අනුර දිසානායකට ඉදිකර දුන් වේදිකාවකි.

මාධ්‍ය සාකච්ඡුවේ දී විජිත හේරත් මෙසේ කීවේය:
‘‘මේ වනවිට බොහෝ රාජ්‍ය ආයතන විකුණන්න ආණ්ඩුව කටයුතු කළත් ඉන්දියාවට අප අවධාරණය කළේ කිසිදු ටෙන්ඩර් පටිපාටියකින් තොරව කරන විකුණා දැමීම් අප අනුමත නොකරන බවයි’’ (පෙබරවාරි 12, දිවයින)

විජේවීරගේ ජවිපෙ කීවේම රාජ්‍ය සම්පත් පිටරැටියන්ට විකිණීම වැළැක්විය යුතු බවයි. විජිත හේරත් කීවේ ටෙන්ඩර් පටිපාටියකින් තොරව විකුණීම නොකරන බවයි. නිවැරදි ටෙන්ඩර් ක‍්‍රමයකට ඉන්දියාවට සම්පත් විකිණීමට ජාජබය එකඟ බව එහි අරුතයි.

අධිරාජ්‍යයක් ගොඩනංවන ඕනෑම රටක ස්වභාවය තම බලය අනිත් රටවලට පැතිරවීමයි. බි‍්‍රතාන්‍යය නිදසුනකට ගතහොත්, ඉංග‍්‍රීසි භාෂා ආධිපත්‍යය පැතිරවීම ඔවුන්ගේ අධිරාජ්‍යයේ උපායකි. යටත්භාවයෙන් පසුවූ රටවල් බොහෝමයකට ටයි කෝට් ඇන්දවීමත් ඔවුන්ගේ ආධිපත්‍යයේ ලක්ෂණයකි. අනුර කුමාර, විජිත හේරත් වැන්නන් සාමාන්‍ය පවුල්වලින් බිහි වූ, ‘කපටි සූට්’ බාග අඳින දේශපාලනඥයන් වුවත් දැන් ඔවුන් ලෝකය හමුවට යන්නේ කළුසුද්දන්ගේ වේශයෙනි.

ඇත්ගාල් පැවැති අතීත කාලයේ අලි ඇතුන් ඇල්ලීමට යෙදවූ මිනිස්සුන්ට ඒ සඳහා රැලට නායකත්වය දෙන අලියා හෝ ඇතා මරා දැමීමට සිදු විය. පනාමුරේ ඇත්රාජාගේ කතාව උදාහරණයකි. නායකයා මරා ගාලට කොටුකරගන්නා අලි ඇත්තු මදුවලට සිර කර විලංගු දමනු ලැබේ. වැඩට ගත්තේ එයින් පසුවයි.

ජවිපෙ ගාල් කර මදු ගසා හිර කර විලංගු දමා හිර කරන ලද පක්ෂයකි. එහි වර්තමාන නායකයා ඇතුළු පිරිස ඉන්දියාවට ගියේ හීලෑ වූ පුද්ගලයින් වශයෙනි. හීලෑ අලි ඇතුන් කොට අදින්නට යොදවන පරිද්දෙන්, මේ නායකයින් යොදවා තමන්ට වුවමනා දේ ඉටුකර ගැනීමට ඉන්දියාවට පුළුවන.

ඇතැම් සිංහලයෝ පිට රටක පදිංචිට ගියත් අදීනව සිතන්නට නොවෙහෙසෙති. උණ පුරුකේ දැමූ බලූ වලිගය සේ හැසිරෙති.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link