නොදන්නා දෙමළට ගොස් වරිගෙ නසා ගැනීම

Last Updated on 5 months by admin

Credit: Internet Archive

‘බුදුන් උපන් රට අප ජීවත් වන ශ‍්‍රී ලංකාවයි’ කියමින් ථෙරවාදී බෞද්ධ ඉතිහාසය හා මහාවංශය පච කිරීමට වෙහෙසෙන කණ්ඩායමක් සිටින බව බොහෝ පිරිසක් දනිති. ‘සිවුහෙළය’ පොත රචනා කළ සුභාෂිනී කුමාරි කිඳෙල්පිටිය එම කණ්ඩායමේ ප‍්‍රධාන ලේඛිකාවක විය යුතුයි. ඒ පොතේ පෙරවදන අප මිත‍්‍ර දිවංගත සූරිය ගුණසේකර විසින් ලියන ලද්දකි.

රටේ ඉතිහාසය ලෙසින් නොයෙක් සාවද්‍ය කතා කියන්නට පුරුදු වී සිටි සූරිය ගුණසේකරයන්ට ජයරත්න පතිරආරච්චි එකතු වීම නිසා, ‘බුදුන්ගේ සිරිපා පිහිටි මක්කම පුත්තලම ප‍්‍රදේශයේ පිහිටි ස්ථානයකැ’යි කියැවෙන්ට විය. පැරණි කෘතියක වැරදි සංස්කරණයක් කියවා ඉදිරිපත් කළ ඒ සාවද්‍ය කතාව සවුදි අරාබියේ මක්කම බෞද්ධ ඉතිහාසය ඉදිරිපත් කරමින් සිටි බෞද්ධයින්ට එල්ල කළ ප‍්‍රහාරයකි. ලංකාවේ බෞද්ධ සංගමයක නායකත්වය දැරූ සූරිය ගුණසේකර වැන්නෙකු එවැනි කතාවක් කීමට පෙළඹුණේ ඇයි දැයි සිතා ගැනීමට නොහැකිය.

සූරිය ගුණසේකර, සිව්හෙළය පොතේ පෙරවදන අරඹන්නේ ඉංග‍්‍රීසි ජාතිකයින්ට දැවැන්ත කම්මුල් පහරක් එල්ල කරමිනි. ‘ඉංග‍්‍රීසිකාරයෝ ලංකාවේ සම්පත් මෙන්ම අප ඉතිහාසය ඇතුළ සියලු උරුමයන් සූරා කෑහ’යි ඔහු ලියයි. මෙය වැරදි අදහසකි. ජර්මනියේ නාසිවාදය පැතිරෙද්දී, ඇතැම් ජර්මන් ජාතිකයෝ, යුදෙව්වන් රැක ගැනීමට ජීවිත පරදුවට තබා ඉදිරිපත් වූහ. ඉංග‍්‍රීසි ජාතිය ගැනත් කිව යුත්තේ මීට සමාන කතාවකි.

කිඳෙල්පිටිය, ගුණසේකරට සාක්ෂ්‍ය සපයයි. සිව්හෙළය, ඊට නිදසුනයි. ‘බුදුන් විසූ රට ඉන්දියාවයි’ යන්න ඉංග‍්‍රීසින්ගේ ප‍්‍රබන්ධයක් යැයි ඇය ලියයි.

ඇය සිව්හෙළය පොතට ‘හියුං ත්සියන්ග් තෙරුන් දුටු බුදුන් උපන් දිවයින’ යනුවෙන් තවත් නමක් භාවිත කර ඇත. ඊට හේතුව, ඇය, බුදුන් උපන් රට ලංකාව යැයි කීමට චීන තෙරුන්ගේ වාර්තාව සාධකයක් කරගැනීමට උත්සාහ ගැනීමයි.

‘‘හියුං ත්සියන්ග් තෙරුන්ගේ වාර්තාව අපට වැදගත් වෙන්නේ උන්වහන්සේ බුදුන්ගේ දේශයට වැඩමකර සියැසින් දුටු දෑ සහ එහි වැසියාගේ ජනප‍්‍රවාදයන් විස්තර කර දී තිබීම නිසාය. යටත් විජිත යුගයේදී සුද්දන් විසින් හියුං ත්සියන්ග් තෙරුන් වැඩම කළේ ඉන්දියාවට ලෙස අනුමාන කර බුදුන් සම්බන්ධ සියලු ස්ථාන තෙරුන්ගේ වාර්තාවට අනුව ඉන්දියාවේ නම් කළේය. එහෙත් වාසනාවට මේ වාර්තාවේ ඇති විහාර සහ ධාතු විස්තර විකෘතිකර නොමැති බැවින් සිදුවූ වරද නිවැරදි කර ගැනීමට අපට හැකිය.’’ (සිව්හෙළය, කතුවදන)

හියුංත් සියන්ග් හිමියන් ලියූ වාර්තාවක් පිළිබඳ කිසිදු සාක්ෂ්‍යයක් නැත. උන්වහන්සේගේ චාරිකා අළලා, උන්වහන්සේගේ ගෝල භික්ෂුවක, කාණ්ඩ 12 කින් සමන්විත චාරිකා සංග‍්‍රහයක් ලියා තිබේ. ඒ සොයාගෙන චීන බසින් ඉංග‍්‍රීසියට පරිවර්තනය කරන්නේ, කලක් බි‍්‍රතාන්‍ය පෙරදිග ඉන්දියා වෙළෙඳ සමාගමට සේවය කළ, යටත් විජිත සමයේ චීන බෞද්ධ ඉතිහාසය පිළිබඳ තොරතුරු සෙවූ, සැමුවෙල් බීල් නමැති ඉංග‍්‍රීසි ජාතික දේවගැතිවරයා විසිනි. ඔහුගේ වාර්තාව පළ වී ඇත්තේ, ‘ සි-යු-කි: බුඩිස්ට් රෙකෝඞ්ස් ඔෆ් ද වෙස්ටර්න් වර්ල්ඞ්’ (Si-Yu-Ki: Buddhist Records of the Western World) නමිනි.

දේශාටන වාර්තාවට යොදා ඇති නම, හියුංත් සියන්ග් තෙරුන් හෝ තෙරුන්ගේ ශිෂ්‍ය භික්ෂුව හෝ විසින් තබන ලද නමකි. මෙහි, ‘වෙස්ටර්න් වර්ල්්ඞ්’ (බටහිර රටවල්) යනු, හියුංත් සියන්ග් තෙරුන් වැඩම කළ, චීනයට බටහිර රටවල් සමූහයයි. ඊට සිංහල දිවයින හෝ ලංකාව අයත් නොවේ. බුදුසසුන බැබළුන වර්තමාන ඉන්දියාවේ කේරළයට අයත් පැරණි මාලකුට බෞද්ධ විහාර සංකිර්ණය ගැන තොරතුරු එහි අඩංගුය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link