භීෂණ සමයේ ලියවුන ‘සුනිල් ආරියරත්නට නෝබෙල් තෑග්ග?’

Last Updated on 5 months by admin

නෝබල් තෑග්ග යනු ලෝකයේ වඩාත්ම කීර්තිමත් ජාත්‍යන්තර සම්මානයයි. මෙතෙක් කිසිම ශ‍්‍රී ලාංකිකයෙකු මෙම තෑග්ග හිමි කරගෙන නැත. ‘බර්ලින් ශ‍්‍රී ලංකා මානව හිමිකම් සුරැකීමේ සංවිධානය’, 1991 නොවැම්බර් 01 දින, ‘සුනිල් ආරියරත්නට නෝබෙල් තෑග්ග?’ මැයෙන් විචාර ග‍්‍රන්ථයක් ප‍්‍රකාශයට පත් කළාය.

සමහර ගීතවලට මිනිස් සිතට පුදුමාකාර ලෙස බලපෑම් කිරීමට පුළුවන. ගීතයක් ඇසීමෙන් පුද්ගලයෙකු මාර්ගඵල අවබෝධ කරගත් කතාවක් බෞද්ධ සාහිත්‍යයේ ඇත.

ගීතයෙන් යුද මානසිකත්වය ඇති කර පුද්ගලයින් යුද පිටියට යැවීමට හැකි බව ලෝකය වටහාගත්තේ ඉරාන-ඉරාක යුද්ධයෙනි. රණ බිමට යන ඉරාන සෙබළුන්ට ගීත ඇසීමට සලස්වා ඇති හැටි රූපවාහිනී නාළිකාවලින් ප‍්‍රදර්ශනය විය.

ලංකාවේ පැරණිම වමේ ව්‍යාපාරය වූ සමසමාජය, ‘සාදුකින් පෙළෙනවුන් දැන් ඉතින් නැගිටියව්’ යනුවෙන් කම්කරු ගීයක් භාවිත කළේය. මැයි දිනය දා මෙම ගීය ගැයූ සමසමාජකාරයෝ කොළඹ අහස දෙදරවූහ.

ජවිපෙ, මහජනයා ආකර්ශණය කිරීමට ‘විමුක්ති ගී’ ප‍්‍රසංග පැවැත්වූ පක්ෂයකි. ඇමරිකාවේ සිට පැමිණි සුනිලා අබේසේකර ඔවුන්ගේ විමුක්ති ගී වැඩසටහනේ නායිකාව වූවාය. නන්දා මාලිනි ‘පවන’ ගී ප‍්‍රසංගය ඇරඹූ පසු ජවිපෙ විමුක්ති ගී ප‍්‍රසංගය වාෂ්ප විය. ජවිපෙ, පවන ප‍්‍රසංගවල නිල නොවන අනුග‍්‍රාහකයා බවට පත් විය.

‘සුනිල් ආරියරත්නට නෝබෙල් තෑග්ග?’ පෙන්වා දෙන ලෙසට පවන ගී බොහෝමයකින් වෛරය ප‍්‍රකාශ විය. ඒවා ඇසූ තරුණ තරුණියෝ වෛර කිරීමටත් සතුරන් සමඟ සටනටත් පෙළඹුණහ.

‘‘සිහසුන ඉන්ට රට දැය පාවා නොදෙනු
පාවා දෙන එවුන් මූණට කෙළ ගසනු
කසයෙන් තලා හිස පළඳා කටු ඔටුනු
ජනයා අබිමුවේ උන් නිරුවත් කරනු’’

පන්තිය වෙනුවෙන් සටන් කරන තරුණයින්ට ආරක්ෂක අංශවල සෙබළුන්ගේ සහාය ලැබෙනු ඇතැයි බලාපොරොත්තු ඇති කිරීම ‘නෝබෙල් තෑග්ග’ පෙන්වා දෙන තවත් කරුණකි.

‘‘රණ දෙරණේ ගිනි අවිගත් යුද සෙබළුනි අසනු මැනව
වෙඩි උණ්ඩය වැයකොට නුඹ සුරැුකිය යුතු ජන පිරිසය
යුක්තිය උදෙසා මොරදෙන ජනයා නසතොත් වියරුව
වැනසෙන්නේ නුඹද අයත් පන්තිය බව සිතට ගනුව’’

වෛරී ගී පබඳින සුනිල් ආරියරත්න ඊට බෞද්ධ විරෝධය එකතු කළ අයුරුද පොතේ විස්තර කෙරේ.

‘‘පිරිත් නූල් බඳිමින් ජන හතුරන්ට
යතුරු කැරලි අඳනය යට ගසාගෙන
රට කන උන්ව වනසා රට දැය රැකුම
තමයි අපේ අද දවසේ මහණකම’’

‘නෝබෙල් තෑග්ගෙන්’ හෙලි කරන ලෙසට, ගීතවලට ක‍්‍රිස්තියානි ආගමික ආකල්ප කළවම් කිරීම මගින් එම ආගමට රසිකයාගේ බැඳියාවක් ඇති කිරීමද සිදු විය.

‘‘ගලවා සළුපිලි අධර්මයේ
ගලවා අභරණ අයුක්තියේ
පෙන්වූයේ පුත නුඹමය නිරුවත
පාලක දාසක ජඩයින්ගේ
ඔහු කළ මහ පාප කර්මය එයයි
කිසා ගෝතමී සිද්ධාර්ථට කිවූ නිබ්බත පදමයි පුත මේ අහිංසක මරියා කුරුස ගහ යට අඩ අඩා කියන්නේ’’

පොතේ වැඩි දුරටත් විස්තර කරන ලෙසට පවන ගී වලට ලොල් වූ ජවිපෙ සාමාජිකයන් වැඩි පිරිසකට, කොතරම් ඉතිහාසයක් හිමි බෞද්ධ පරපුරකට අයිති වුවත්, ක‍්‍රිස්තියානි ආගමට හිතවාදී බෞද්ධ විරෝධී සිතුවිලි ඇති විය.

පවන ගීවලට ලොල් වූ ජවිපෙ තරුණ තරුණියෝ දහස් ගණනක් අකාලයේ මිය ගියහ. අසරණ වූ ඔවුන්ගේ පවුල් සෑහෙන ප‍්‍රමාණයක් ක‍්‍රිස්තියානි මිෂනාරි සංවිධානවලට ගොදුරු වූහ.

බර්ලින් ශ‍්‍රී ලංකා මානව හිමිකම් සංවිධානය සිතූ පරිදි, ආචාර්ය සුනිල් ආරියරත්නට නොබල් තෑග්ග නොලැබුණි. ඔහු මහාචාර්යවරයෙකු වී සංගීත විශ්වවිද්‍යාලයේ කුලපති ධුරයට පත් විය. ආචාර්ය නන්දා මාලිනී ගායිකාව රනිල් වික‍්‍රමසිංහ ජනාධිපතිවරයා අතින් සම්මාන ලැබුවාය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link