මාක්ස්වාදයෙන් ගැලවී ක‍්‍රිස්තියානි මගට යන රුසියාව

Last Updated on 7 months by admin

Photo credit: theosthinktank

’කොමියුනිස්ට්වාදින්ට ආගමක් නැත’ යන්න ලංකාවේ කතෝලිකයන් අතර පැතිර පැවති කතාවකි. මෙය කවුරුන් හෝ සැලසුම් සහිතව ප‍්‍රචාරය කළ බොරුවකි. ලංකාවේ සිදුවූයේ මාක්ස්වාදය කරට ගත් සිංහල බෞද්ධ නායකයින් පන්සලෙන් බැහැරවීමයි. දැන් ඒ තත්වය පෙරට වඩා දරුණු වී තිබේ. මිහින්තලේ නායක හිමියන්ගේ ප‍්‍රකාශය නිදසුනකි. තමා හමුවීමට පැමිණි ජවිපෙ නායක අනුර දිසානායකගේ අතේ බැන්ද පිරිත් නූල මෝටර් රථයට ගොඩවීමට පෙර ගලවා විසිකර දැමූ බව උන්වහන්සේ කීහ.


මාක්ස්වාදය පිළිගත් කාම්බෝජය, වියට්නාමය වැනි රටවල බෞද්ධ නායකයෝද සිංහල බෞද්ධ නායකයින්ට සමාන වූහ. මෙවැනි විපතක් රුසියාවේ සිදු නොවිණි. ස්ටාලින් රුසියාවේ ඕතඩ්‍රොක්ස් ක‍්‍රිස්තියානි දේවස්ථානය බලවත් කළේය. පෝලන්තය ආදී රටවල කතෝලික දේවස්ථානය පෙර මෙන්ම ක‍්‍රියාත්මක විය. පිදෙල් කස්ත්‍රෝ කියුබාවේ කතෝලික දේවස්ථානය දියුණු කළේය. මාක්ස්වාදය නිසා බුදුදහමින් ඈත් වන බෞද්ධයන් කතෝලික හෝ ක‍්‍රිස්තියානි කිරීම ලෝකයේ හැම තැනකම අදටත් සිදුවේ.


රුසියාව මාක්ස්වාදයෙන් ගැලවෙමින් රුසියානු ක‍්‍රිස්තියානි රටක් වෙමින් පවතී. ඕතඩ්‍රොක්ස් දේවස්ථානයට රටේ නීති සැදීමේ බලය හිමිවෙමින් පවතී. හොඳම නිදසුන ‘ගෙවල්වලට වී වැඩි වැඩියෙන් දරුවන් හදන්න’ යැයි, පුටින් රුසියානු අම්මලාගෙන් කරන ඉල්ලීමයි. මෙය යුක්රේන් යුද්ධය නිසා කළ ප‍්‍රකාශයක් බව පැහැදිලි කිරීමට ඇතැමුන් උත්සාහ දරා ඇතත්, රුසියාවේ උපත් පාලන ක‍්‍රම වෙනස් කර වැඩි වැඩියෙන් දරුවන් බිහිකිරීමට රුසියානු කාන්තාවන්ට ඉඩ සලසා දීමේ ප‍්‍රතිපත්තිය රුසියානු ඕතඩ්‍රොක්ස් දේවස්ථානයේ වුවමනාවකි.


ලංකාවේ අයවැය විවාදයේ අධ්‍යාපන අමාත්‍යංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයේදී උපත් පහළ යාම නිසා පාසල්වල පළමු ශ්‍රේණියට ඇතුළු වන දරුවන්ගේ ප‍්‍රමාණය පනස් දහසකින් අඩු වී ඇතැයි අධ්‍යාපන ඇමති සුසිල් පේ‍්‍රම්ජයන්ත් කීවේය. ඇන්ජී ඕ සංවිධාන විසින් මෙහෙයවනු ලබන, සෞඛ්‍ය අමාත්‍යංශය මඟින් ඇරඹි ‘පුංචි පවුල රත්තරන්’ නමැති සිංහලයන් වඳකිරීමේ වැඩපිළිවෙළ මොනතරම් වේගයෙන් ක‍්‍රියාත්මක වී ඇත්දැයි ඇමතිගේ කතාවෙන් ඔප්පු වේ.


රුසියානු ජනගහනය වැඩි කිරීමට උත්සාහ කරන රුසියානු රජය, රට අක‍්‍රමණය කරමින් තිබෙන සමලිංගික ජීවිත සමාජ ක‍්‍රමය වැළැක්වීමට කටයුතු කරයි. රුසියානු අධිකරණය ‘එල්ජීබීටී’ තහනම් කිරීම යනු සමලිංගික සමාජ තහනම් කිරීමයි. ලංකාවේ උපත් පාලනය මදිවාට සමලිංගික ජීවිත ක‍්‍රම ජනප‍්‍රිය කිරීමට පාලකයන්ගේ අනුග‍්‍රහය ලැබේ. අපි අපේ ඓතිහාසික කටයුත්ත අමතක කර අත් පා හකුලාගෙන හොරට නිදා සිටිමු. එහි වන්දිය ගෙවීමට සිදු වනු ඇත්තේ අනාගත පරපුරටය.

1 thought on “මාක්ස්වාදයෙන් ගැලවී ක‍්‍රිස්තියානි මගට යන රුසියාව”

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link