රනිල් රට ගෙනයන්නේ කොතැනටද

Last Updated on 4 months by admin

දකුණු ඉන්දියාවේ බෞද්ධයන් කුලහීනයන් වී, හින්දු බ්රාහ්මණයින් කුලීනයන් වීම සිදු වූයේ කෙසේදැයි සොයා බැලීමේ හැකියාව දලිතයන්ට නොවීය. ආචාර්ය අම්බෙඞ්කාර් නිසා දලිතයන් විශාල පිරිසක් බෞද්ධයන් වූහ. එහෙත් දෙමළ බුදුසසුනක් තමිල්නාඩුවේ බිහි නොවීය. යටත් විජිත කාලයේ සිටම දලිතයන් ක‍්‍රිස්තියානි ආගමට හරවාගැනීම යුරෝපීය මිෂනාරින්ගේ සිරිත විය. දැන් ඒ කටයුත්ත කරනු ලබන්නේ ඇමරිකාවේ සිට ක‍්‍රියාත්මක වන ක‍්‍රිස්තියානි කල්ලි විසිනි.

බොහෝ කාලයක සිටි ලංකාවේ උතුරු ප‍්‍රදේශයේ පවතින්නේ කුලවාදී සමාජයකි. කුලීනයන් නායකත්වය දැරීම ඒ සමාජයේ ලක්ෂණයයි. ඔවුන් අතර වෙල්ලාලයෝ ප‍්‍රධාන වෙති. ස්වයංපාලන සංකල්පය ඉදිරිපත් වූයේ ඔවුන් අතරිනි. ඒ ‘ඊළම’ නමින් වෙනම රාජ්‍ය සංකල්පයක් බවට පත්වන්නේ කුලීනයෙකූ නොවූ ප‍්‍රභාකරන්ගේ නායකත්වයෙනි. ඔහුගේ හමුදාව වෙනම රටක් උදෙසා සටන් කරන අතර කුලීන දෙමළු දහස් ගණනින් බටහිර රටවලට ගොස් පදිංචි වූහ. ඒ, ජේආර්ගේ පාලන කාලයේ සිදු වූ උප්පරවැට්ටියකි. ඊට ක‍්‍රිස්තියානි දේවස්ථානවලින් සහ ජර්මනිය වැනි බටහිර රටවල පිහිටි ලංකාවේ තානාපති කාර්යාලවලින් විශාල සහායක් ලැබුණි. දෙමළ ඩයස්පෝරාව බිහි වූයේ මේ ආකාරයෙන් පිටරට ගොස් පදිංචි වූ කුලීන දෙමළ පිරිසගෙනි.

ආචාර්ය සුනිල් ආරියරත්නගේ ‘දෙමළ බෞද්ධයා’ පොතෙන්, කුලහීන දෙමළ බෞද්ධයා පිළිබඳ සැබෑ කතාව වෙනස් කර වැරදි කතාවක් ඉදිරිපත් කෙරේ. ඒ පොත ඇරඹෙන්නේ ‘බුද්ධාගම අයිති සිංහල බෞද්ධයන්ට පමණක්ද’ යන ප‍්‍රශ්නයෙනි. එයින් සිංහල බෞද්ධ පාඨකයා අපහසුතාවයට පත් වන්නේ ඔවුන්ට උතුරේ සැබෑ තත්වය ගැන අවබෝධයක් නැති බැවිනි.

සත්‍යය නම්, උතුරේ සිංහල හා දෙමළ බෞද්ධයෝ විසූහ. ඒ සිංහලයින්ට කුලහීන දෙමළුන් බවට පත්වන්නට සිදු විය. එය යටත් විජිතවාදින්ගේ සහ ඉන්දියානු බ‍්‍රාහ්මණයින්ගේ හපන්කමකි. ඉන් පසුව උතුරේ කුලහීන දෙමළ ජනයාගේ සමාජ තත්වය තමිල්නාඩුවේ දෙමළ ජනයාගේ සමාජ තත්වයට සමාන විය. ඔවුන්ට පිහිටවිය හැකි අම්බෙඞ්කාර් කෙනෙකු බිහි වූයේ නැත.
කොටි යුද්ධය සමයේ උතුරු පළාතේ කුලහීන ද්‍රවිඩ පවුල් අති විශාල සංඛ්‍යාවක් ක‍්‍රිස්තියානි කිරීමට ක‍්‍රිස්තියානි කල්ලිවලට හැකි විය. ඇමරිකාවේ මුල ඇතත් මේ කල්ලි රඟපාන්නේ දකුණු කොරියාව හෝ ඉන්දියාව බඳු ආසියානු රටක මූලස්ථාන පවතින අයුරිනි. කුලහීනයන් ක‍්‍රිස්තියානි කරනවාට කුලීන හින්දු හෝ ක‍්‍රිස්තියානි දෙමළ සමාජවලින් විරෝධයක් ඇති නොවීය. ඒ දෙපාර්ශ්වයම, සිංහලයන් බෞද්ධයින් නිසා, දෙමළ බෞද්ධයින්ද අතුරුදහන් විය යුතු යයි පොදු තීරණයක පසු වූහ.

අරුන් සිද්ධාර්ථන් කලඑළි බහින්නේ කුලහීන දෙමළ පාර්ශ්වයෙනි. උතුරේ කුලහීන ජනයාට සිංහල මුලක් සහ බෞද්ධ උරුමයක් ඇති බව අරුන් කියන්ට විය. මේ නිසා සිංහලයින් අතර අරුන් කෙරේ විශේෂ අවධානයක් සහ ආදරයක් ඇති විය. අරුන් උතුරේ නිදහස් උත්සවයක් ද සංවිධානය කළේය. මේ නිසා අරුන් නිසා උතුරේ කුලහීනයන් අතර පිබිදීමක් ඇති විය.
රනිල් වික‍්‍රමසිංහ සිංහල බෞද්ධ නායකයකු නොවේ. ඔහු අරුන්ට ආරක්ෂාව සැපයීමට ඉදිරිපත් වීම සිංහල බෞද්ධ නායකයන් තුළ ප‍්‍රශ්නයක් ඇති කළ සිද්ධියකි. එහෙත් ඉන්දියාවේ හැසිරීම ගැන වැටහීමක් ඇති ඔවුහු, අරුන් කුමන ක‍්‍රමයකට හෝ ආරක්ෂා විය යුතුය යන මතයේ පසු වූහ. කුලහීනයන්ගේ අධ්‍යාපන නැංවීමට ආධාර කරන්නැයි අරුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළේය. ජනාධිපති රනිල් එය ඉටු කළේය. ඔහු උතුරේ නිදහස් කළ ඉඩම් වැඩි ප‍්‍රමාණයක හිමිකරුවන් කුලීනයන් ද කුලහීනයන් ද යන තොරතුරු ප‍්‍රසිද්ධ වී නැත. අරුන්ට යාපනය දිස්ත‍්‍රික්කයේ එජාප සංවිධායක ධුරයට ලැබී තිබේ. පණ අදින උතුරේ දෙමළ බෞද්ධයාට යළි ජීවය දීමේ හැකියාව අරුන්ට ඇත. ඊට ඉඩ දී හින්දු හා ක‍්‍රිස්තියානි කණ්ඩායම් ඇස් පියාගෙන සිටිතැයි සිතිය නොහැකිය.

ඉස්ලාම් ජනගහණය කතෝලික ප‍්‍රදේශවල ව්‍යාප්ත වීම වැළැක්වීමට කතෝලික නායකයින් යොදාගත් උපක‍්‍රමය ඔවුන් විසින්ම හෙලිකර ඇත. ඒ ඌරන් ඇතිකිරීමට කතෝලිකයන් පෙළඹවීමයි. ඉස්ලාමිකයන්ට ඌරා අපිරිසිදු සතෙකි. ඌ ගැවසෙන පැතිවලට පදිංචියට යාමට ඔවුන් කැමති නැත. එනිසා කතෝලික ප‍්‍රදේශ මගහැර බෞද්ධ ප‍්‍රදේශ ගොදුරුබිම් කරගැනීමට ඔවුන් වෙහෙසේ. එය බෞද්ධයන් සහ ඉස්ලාමිකයන් විරසක කරන සිදුවීමකි. ඒ තත්වය යටතේ බෞද්ධයන් ආගමික අන්තවාදීන් බවට මතයක් ජාත්‍යන්තරයේ ප‍්‍රචාරය කිරීමට සැරසුන පිරිස් සිටිති.

බෞද්ධයන්ට පමණක් නොව මුස්ලිම් කතෝලික වැනි ආගමිකයින්ටත් මෙවැනි සූත්තර හඳුනාගැනීමට හැකි වන්නේ දැනුමැත්තෙකු ඉදිරිපත් වී ගැටය ගැන පැහැදිලි කිරීමක් කළ විටය. එවිට අලූත් සූත්තරයක් ක‍්‍රියාවට නැගේ. බුද්ධශාසන ඇමතිවරයා ‘පසන් ගී’ ක‍්‍රිස්තියානි අයිතියක් බවට තීන්දු කර ලෝක උරුමයක් සේ නම් කිරීමට සැරසීම නිදසුනකි. මෙය ක‍්‍රිස්තියානි දේවගැතිවරුන්ගේ වුවමනාවකි. ආචාර්ය සුනිල් ආරියරත්න පසන් ගී ගැන පොතක් ලියමින් මේ අදහස කතෝලික දේවගැතිවරුන්ට ඉදිරිපත් කළේය. අපි පසන් ගීයේ බෞද්ධ උරුමය රටට ඉදිරිපත් කළෙමු. (බලන්න – රාජ්පුත් සිංහල නෑදෑකමේ සිහිවටනය: සොකරි) උතුරු නැගෙනහිර බෞද්ධ සිද්ධස්ථාන බේරාගැනීමට නොහැකිව බෞද්ධයන් හ`ඩද්දී බුද්ධ ශාසන ඇමතිවරයා මගින් පසන් ගීවලට හොර ඔප්පුවක් ලියවා ගැනීමට කතෝලික දේවගැතිවරු සමත්වී සිටිති.

සිංහලයන්ට බුදුන් වහන්සේ සහ දඹදිව ගැන ලොකු දැනුමක් ඇත. ඔවුන් දඹදිව වන්දනාවේ යන්නේ අදක ඊයක සිට නොවේ. අවුරුදු දෙදහසකට වැඩි කාලයක් තිස්සේ බුදුන් හා බුදුසසුන ගැන දැනුම ඔවුන් ලබාගන්නේ මහාවංශය ප‍්‍රධාන සිංහල බෞද්ධ ඉතිහාස කතාවලිනි. සිංහල සංස්කෘතිය සැදී ඇත්තේ ඒ දැනුමෙනි. රට ආක‍්‍රමණය කළ බටහිර යුරෝපීන්ට විනාශ කළ නොහැකි වූ ඒ සංස්කෘතික උරුමය වෙනස් කිරීමට කටයුතු කරන සංවිධානයන්ගේ හා පුද්ගලයින්ගේ ප‍්‍රමාණය ක‍්‍රමයෙන් වැඩි වේ.

එංගලන්තයේ සිට පැමිණ කෘෂි නිලධාරිනියක වූ සුභාෂිනී කිඳෙල්පිටිය, ‘හියුංසාං භ‍්‍රමණ වෘත්තාන්තය’ ඇසුරෙන් පොතක් ලියා, ‘දඹදිව පිහිටියේ ලංකාවේ යැ’යි කියන්නට වූවාය. ඇගේ තර්කය බටහිරුන් ලංකාවේ ඉතිහාසය වැරදියට විස්තර කර ඇති බවයි. හියුංසාං වාර්තාව සොයාගෙන ඉංග‍්‍රීසියට පරිවර්තනය කර ඇත්තේ බටහිර රටක උගතෙකු බව පාඨකයා නොදන්නා නමුදු, ඇය දන්නීය.

නොර්වේ රටේ සිට ක‍්‍රියාත්මක වන සංවිධානයක්, බුදුන්ගේ නිවැරදි ධර්මය සහ නිවැරදි උපන්බිම ගැන තොරතුරු අඩංගු පිටු 500ක පමණ වාර්තාවක්, එජා සංවිධානය, පොදු රාජ්‍ය මණ්ඩලය, එංගලන්තය, ලංකාව, ඉන්දියාව, නේපාලය ඇතුළු රාජ්‍ය ගණනාවකට යවා ඇති බව අන්තර්ජාලයේ පළ වූ ලිපියක සඳහන් වේ. ‘කම්මට්ඨාන’ නමින් පෙනී සිටින මේ සංවිධානය නෝර්වේහි සිට කියන්නේ, ඉන්දියාව සහ ලංකාව පාලනය කළ බටහිරුන්, බුදුන්, බුදුසසුන හා සිංහල ජාතිය ගැන වැරදි මතවාද පතුරුවා ඇති බවයි. නෝර්වේ බෞද්ධයින් 0.3%ක් පමණ සිටින දැඩි ලූතර් ක‍්‍රිස්තියානි රටකි.

අරුන් සිද්ධාර්ථන් උතුරු ප‍්‍රදේශයේ එජාප සංවිධායකයකු වූයේ ඇයිද යන්න ගැන තීන්දුවකට එන්නට සිංහල බෞද්ධයන් ඉක්මන් නොවිය යුතුයි. ඔහු අන්තරායදායක ගමනක යෙදී සිටින්නෙකි. රනිල් වික‍්‍රමසිංහ පොහොට්ටුව විජයග‍්‍රහණය කර ඇත. ඉන්දියාවට සහ බටහිරට දක්වන ඔහුගේ කැමැත්ත වෙනස් නොවේ. සජිත් පේ‍්‍රමදාස බුදුසසුනේ ගැලවුම්කරුවකු වශයෙන් පෙනී සිටින නමුදු, ක‍්‍රිස්තියානි කල්ලිවලට දක්වන ඇල්ම බිඳ වැටී ඇතැයි නොසිතිය යුතුය. මොහුගේ පෙරමුණේ සාමාජිකයන් වැඩි පිරිසක්, රනිල් නායකයා ලෙස පිළිගනිති. මේ සැමට විරුද්ධව සිටින්නේ ජාතික ජන බලවේගය පමණකැයි අනුර දිසනායක කියයි. එය ඇත්තකි. බුදුසසුනට පහර ගසන ඔවුන් ක‍්‍රිස්තියානි හා ඉස්ලාම් පාර්ශ්වවලට විශේෂ ඇල්මක් දක්වන බවද ඇත්තකි.

සුද්දාගේ කාලයේ වම දකුණ දේශපාලන සංවිධාන දෙක බිහි විණි. රනිල් ලංකාව නැවතත් ගෙනයන්නේ එතැනටය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link