ලෙල්ලම අයිති පාප්ටද? ලංකාවටද?

Last Updated on 5 months by admin

‘බල ත‍්‍රිත්වය’ නියෝජනය කෙරෙන ඔටුන්න පළදා පාප්වරයකු අභිෂේක කරන අතිශය උත්කර්ෂවත් උත්සවයේදී ඉතා ජ්‍යෙෂ්ඨතම කාදිනල්වරයෙක්, ‘පාප්තුමා පොළොවෙහි පාලකයා’ බව ප‍්‍රකාශ කරයි. එම වාක්‍යයේ අදහස් සපුරා ගැනීමට ඇතැම් පාප්වරුන් කටයුතු කර ඇත. මේ ගැන සැලකිල්ලට ගන්නා බැතිමතෙකු තුළ, මැල්කම් රංජිත් කාදිනල්වරයා මීගමුව ලෙල්ලමට තමන්ගේ අයිතිය කීම වරදක් නොවේ යන සිතුවිල්ල ඇති වීමට පුළුවන. ඊට හේතුව, කාදිනල්වරයා, ලෝකය මැවූ සර්වබලධාරියාගේ පොළොවේ නියෝජිතයා වන පාප්තුමාගේ නියෝජිතයා වීමයි.

දැන් ලෝකයේ බොහෝ තැන්වල කතෝලික සභාවට අභියෝග එල්ල වේ. කාදිනල්වරයාගේ කීම් ඇසීමට ලෙල්ලමේ ධීවර සමුපකාර සමිති සාමාජිකයන් සූදානම් නොවීමත් ඊට සාක්කියකි. මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා සමුපකාර නියෝජිතයන් ප‍්‍රකාශ කළේ, ‘ලෙල්ලමේ අයිතිය ඔවුන්ට බව’යි. කතෝලික පියවරුන් කිහිප දෙනෙකු, බාල මහලූ ස්ත‍්‍රී පුරුෂ පිරිසක් සමග කාදිනල්වරයාට පක්ෂව මහාමාර්ගය අයිනේ දැන්වීම් ඔසවාගෙන විරෝධතා දැක්වීමෙන් පැහැදිලි වන්නේ, කතෝලික සභාව වැඬේ අත් නොහරින බවයි.

පුරාණ රෝම රාජ්‍යයේ ක‍්‍රිස්තියානි සමාජ ‘අපොස්තළු සභා’ නමින් හැඳින්විණි. මේවා ක‍්‍රිස්තුස් වහන්සේ ලඟින් සිටි අනුගාමිකයන් විසින් පිහිටුවන ලද ඒවා යයි බොහෝ මනුෂ්‍යයෝ විශ්වාස කළහ. ඒ හැම සභාවකම නායකයා, බිෂොප් නමින් හඳුන්වන ලද්දේය. හැම බිෂොප්වරයෙක්ම පාප් කෙනෙකු වූයේය. අපොස්තළු සභා අතරින්, රෝමානු සභාව උසස්ම සභාව වශයෙන් සැලකුණි. ඒ ලෝකයේ ප‍්‍රධානම නගරය වූ රෝම අධිරාජ්‍යයේ අගනුවර පිහිටි සභාව වීම ඊට හේතුවයි.

ක‍්‍රි. ව. 774 දී, රෝම සභාවේ හැඞ්රියන් පාප්තුමා, චාලිමාංග් රෝම අධිරාජයා වතිකානු බිෂොප් මාළිගාවට කැඳවා, ‘ලෝකයේ අවසානය දක්වා’ සිල්වෙස්ටර් පාප්තුමාට සහ ඔහුගේ අනුප‍්‍රාප්තිකයන්ට ඉතාලිය පවරා දෙමින් කොන්ස්තන්තීනු අධිරාජයා අත්සන් තැබූ ඔප්පුවක් ඉදිරිපත් කළේය. මෙය හැඳින්වෙන්නේ ‘කොන්ස්තන්තිනුගේ පරිත්‍යාගය’ Donation of the Constantine නමිනි.

චාලිමාංග් අතිශයින් ප‍්‍රචණ්ඩ පුද්ගලයෙකු වශයෙන් ඉතිහාසයේ සඳහන් වේ. බොහෝ ඉතිහාසකරුවන් පෙන්වා දී ඇති ලෙසට ඔහු නූගතෙකි. මොහු හැඞ්රියන් පාප්තුමා ඉදිරිපත් කළ ඔප්පුව සත්‍ය ලියවිල්ලක් සේ පිළිගෙන ඔප්පුවේ සඳහන් භූමිය පාප්තුමන්ට පවරා දුන්නේය.

පාප්වරයා ඉදිරිපත් කර ඇත්තේ කොන්ස්ටන්ටයින් රජුගේ අත්සන ගසා සැකසූ ව්‍යාජ ඔප්පුවක් බව මේ වන විට ඔප්පු වී තිබේ. නමුත් ඔප්පුව නිසා ලැබුණු භූමිය හේතුවෙන් පාප්තුමා එක්තරා රාජධානියක පාලකයා බවට පත් විය. එම රාජධානිය ප‍්‍රසිද්ධ වූයේ ‘පේදුරුගේ ප‍්‍රවේණිය’ නමිනි. ගැරිබෝල්දි විසින් ඉතාලියට ඈඳාගන්නා තෙක් මෙම ප‍්‍රවේණිය පාප්ට අයිතිව තිබුණි.

දෙවන ලෝක යුද සමයේ ඉතාලියේ ආඥාදායක පාලකයා වූ බෙනිතෝ මුසෝලිනී අගමැතිවරයා, ක‍්‍රි ව 1229 දී එකළොස් වන පියුස් පාප්වරයා සමග ලැටර්න් මාළිගාවේදී ගිවිසුමකට එළඹුණි. එය ‘ලැටර්න් ගිවිසුම’ Latern Treaty නම් වේ. වතිකානුව පාප්වරයාගේ නිදහස් රාජ්‍යය බව එයින් සහතික කෙරේ. මේ කටයුත්තේදී පාප්තුමාට මුසොලිනීගේ ආණ්ඩු පාර්ශ්වයෙන් විශාල වන්දි මුදලක්ද ගෙවා ඇත.

ඉතාලියේ ජාතික භාෂාව, ජාතික ආගම පිළිබඳ තීන්දු තීරණද මෙම ගිවිසුමේ අන්තර් ගත වේ. සිංහල භාෂාව ලංකාවේ ප‍්‍රධාන භාෂාව බව නොපිළිගන්නා, බුද්ධාගම රටේ ජාතික ආගම යයි කියනවාට විරුද්ධ කතෝලික පූජකවරු සිටිති. ඒ සියලූ දෙනා ලැටර්න් ගිවිසුම හොඳින් කියවා අවබෝධ කරගත යුතුව තිබේ. එවිට ඉතාලි වැසියන්ට කතෝලික ආගමට හා ඉතාලි භාෂාවට ආදරය දැක්වීමට මග සකසා ඇති හැටි වැටහේ. රෝමයට ගිය විට රෝම ජාතිකයෙකු විය යුතුයි කියා කතාවක්ද තිබේ.

මීගමුව කතෝලික ප‍්‍රදේශයක් වූයේ පෘතුගීසි ආක‍්‍රමණයෙන් පසුවය. ඊට පෙර එය විහාර ආරාම පිරි, බෞද්ධයන් විසූ වරාය ප‍්‍රදේශයකි. එහි විසුවෝ බෞද්ධ ධීවරයෝය. රජතුමාට අයත් වූ මෙම වරාය ප‍්‍රදේශය කාදිනල්තුමාට අයිති වූ හැටි අපට සිතා ගැනීමට පුළුවන. සමහර විට එතුමා ලඟ ඔප්පු තිබෙන්නටද පුළුවන.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link