සිංහල ව්‍යාපාරිකයින් නැතිභංග කළ අධිරාජ්‍යවාදී බළල් අණ්ඩ

Last Updated on 5 hours by admin

අපි ලෙනින් කියවමු – 10

’යේසුස් වහන්සේ මරා දමන ලද්දේ යුදෙව්වන් විසින් යැ’යි ක්‍රිස්තියානින් අතර පැතිර ගිය විශ්වාසය නිසා යුරෝපයේ ක්‍රිස්තියානි සමාජය තුළ යුදෙව්වන් ඉතා පහළ තැනකට වැටුණි. හිට්ලර්ගේ සමය යුදෙව් සංහාරයක් පැවති කාලයකි. මේ අවදියේ පැතිරුන නාසිවාදයෙන් පැවසුනේ, ‘ලෝකය පාලනය කළ යුතු පිරිසිදු ධවල ජනවර්ගයක් ගැන’යි. එහි නායකත්වය හිට්ලර්ට ලැබුණි. ෆ්‍රැන්කෝ ස්පාඤ්ඤයේ නායකයා වූයේය. ඉතාලියේ බලය මුසොලිනිට හිමි විය. යුදෙව් විරෝධීන් වූ මේ හැම දෙනාම කතෝලිකයන් වූහ. පාප්තුමාද ඔවුන්ට පක්ෂව සිටියේය.

1933-45 අතර කාලයේ ජර්මනියේ යුදෙව් ගාල් කඳවුරු (concentration camps) 44000 කට වඩා තිබුණි. මේවායේ සිර කරන ලද යුදෙව්වන්ට, නම වෙනුවට අංකයක් ලැබුණි. තමා මනුෂ්‍යයෙකු නොවේ’ යන හැඟීම ඔවුන්ගේ සිත් තුළ ඇති කිරීම සඳහා නොයෙක් අත්හදා බැලිම් මේ සිරකඳවුරු තුළ සිදු විය. මේවායේ සිටි සිරකරුවන් හිස් බූගා නිර්වස්ත්‍රයෙන් ගෑස් කාමරවලට ගෙන යන විට, ඔවුන් බොහෝ දෙනාට තමන්ගේ ස්ත්‍රී පුරුෂභාවය පවා අමතකව තිබුණි.

ලංකාවේ අප්‍රේල් කැරලිකරුවන් ගාල් කරන ලද තැන්වලට පුනරුත්ථාපන නිලධරයන් නමින් පිරිසක් යොදවනු ලැබූහ. කැරලිකරුවන්ගේ මනස වෙනස් කිරීම ඔවුන්ට පැවරුන ප්‍රධාන රාජකාරියයි. මේ උපාය කාගේද, පුනරුත්ථාපන නිලධරයන් එය සිදු කළේ කවර ආකාරයකටද යන කාරණා මෙතෙක් කිසිවකුගේ විමසිල්ලට ලක්ව නැත. පුනරුත්ථාපන ගාල්වල සිට එළියට එන තරුණ තරුණියන් වැඩි පිරිසකට තම සිංහල බෞද්ධ මුල අමතකව තිබුණි.

හිට්ලර් යුදෙව්වන් සිර කිරීමට ජර්මනියේ ගාල් කඳවුරු පිහිටුවූ සේ, ස්ටාලින් මුලු රුසියාවම නිර්ධන පංතියේ ගාල් කඳවුරක් කළේය. රතු භටයින් ඊට හරස් වූ පුද්ගලයින් ඝාතනය කළේ, ‘නිර්ධන පංතියේ ද්‍රෝහීන්’ කියමිනි. ළමා විය රුසියන් ඕතඩ්‍රොක්ස් දේවස්ථානයක ගෙවූ ස්ටාලින්, ’දිළින්දෝ භාග්‍යවන්තයෝ යැ’යි සිතුවේය.

දෙවන ලෝක යුද්ධය හටගන්නට එක් හේතුවක් වූයේ යටත් විජිතවාදීන් අතර ඇති වූ තරගයයි. හිට්ලර් ලෝක බලවතා වේ යැයි බිය වූ බ්‍රිතාන්‍ය, ඇමරිකානු සහ ප්‍රංශ නායකයෝ ස්ටාලින්ව ඔවුන්ගේ ගොඩට කැඳවා ගත්හ. මේ මෙහෙයුමේ නායකත්වය දැරූ බ්‍රිතාන්‍යය, යටත් විජිතයන්යන්හි කොමියුනිස්ට්වාදය ප්‍රචාරය කිරීමට ස්ටාලින්ට ඉඩ දුන්නේ පගාවක් වශයෙනි.

බ්‍රිතාන්‍ය නිලධරයන් එංගලන්තයේ ඉගෙනුම ලබමින් සිටි සිලෝනයේ සිසුන් කිහිප දෙනෙකුට මාක්ස්වාදී සංවිධානයක් අරඹන්නට පහසුකම් සැලසීම ඔවුන්ගේ යටත් විජිත ව්‍යාපාරයේ කුඩා මෙහෙයුමකි. ආචාර්ය ඊ. ඩබ්ලිව්. ආදිකාරම්ගෙන් අප දැනගත් ලෙසට කොළඹ වෙස්ලි විද්‍යාලයේ ඉගෙනීමෙන් පසුව ලන්ඩනයට ගිය ඔහුට මෙම කණ්ඩායමේ අයෙක් උපකාර කළේය. අදිකාරම් මාක්ස්වාදී සංවිධානයට ‘සම සමාජ’ නම නිර්මාණය කර දුන්නේ ඔහුට දැක්වූ අනුග්‍රහයක් ලෙසිනි. පේරාදෙණිය විශ්වවිද්‍යාලය, එම ව්‍යාපාරය මතවාදය නමින් රටේ පැතිර වූ විෂබීජය තැන්පත් කර තිබූ ස්ථානයයි. එහි එන විද්‍යාර්ථින්ට, ‘මාක්ස්වාදියෙකු වීම සමාජයේ ගෞරවයට පාත්‍ර වීමට හේතු වනන්නේය’ යන හැඟීම ඇති කළ ආචාර්යවරු එහි විසූහ. මෙය ඉස්ලාමිකයන්ගේ ’ගෞරවය පිණිස මැරීම’ (හොනර් කිලින්) බඳු භයානක වැඩ පිළිවෙළකි.

ස්ටාලින් යටතේ සිදු වූ සංහාර ඉන්දියාවේ සහ ලංකාවේ වැසියන්ට දැනගන්නට නොලැබුණි. මාක්ස්, ලෙනින්, ට්‍රොට්ස්කි, ස්ටාලින් වැන්නවුන් අධිරාජ්‍ය විරෝධීන් යැයි සමහරුන්ට සිතුණි. ඔවුහු, තම දරුවන්ට ලෙනින්, ස්ටාලින් වැනි නම් තැබූහ. පසුගිය කාලයේ තමිල්නාඩුවේ මහඇමති ස්ටාලින් නමැත්තෙකි. ජෝසප් ස්ටාලින් ලංකා ගුරු සංගමයේ නායකයාය.

පශ්චාත් බ්‍රිතාන්‍ය පාලන සමය වන විට සිලෝනයේ වැවිලි, මිනිරන් නිපදවීම, අරක්කු වෙළෙඳාම වැනි කර්මාන්ත ගණනාවක සහ ප්‍රධාන අපනයන ක්ෂේත්‍රයේ බලවතුන් සිංහලයෝ වූහ. පාලකයෝ මේ ව්‍යාපාරිකයින් නැති කිරීමට මාක්ස්වාදීන් බළල් අඬුවට ගත්හ. ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ලේකම් එස්. ඒ. වික්‍රමසිංහ, පරම විඥානාර්ථ බෞද්ධ සමාගමේ නායකත්වයට පත් විය. එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායකගේ ආණ්ඩුවට එක්වූ පිලිප් ගුණවර්ධන (ලංකාවේ මාක්ස්වාදයේ පියා) සිංහල සමාජය දෙකට බෙදූ කුඹුරු පනත ඉදිරිපත් කළේය. ඇන්. ඇම්., සිරිමාවෝ බණඩාරනයක ආණ්ඩුවට එක්වී ස්වදේශික ව්‍යාපාරිකයන් නැති කරන ජනසතු ව්‍යාපාරයට දුම් පිම්ඹේය. රටට ආණඩුක්‍රම ව්‍යවස්ථාවක් හැදූ කොල්වින්, ‘Ceylon’ (සිංහයින්ගේ රට) නම, ‘Sri Lanka’ කළේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top