බ්‍රාහ්මණ දර්ශනයේ බටහිර ප්‍රතිරාව: බයිබලය සහ පරිනාමවාදය

Last Updated on 1 hour by admin

කොලට් සේනානායක
නාරද කරුණාතිලක

බලවත්ව සිටි ජාතීන්ගේ බලය පිරිහී ගිය කාල වකවානු තිබේ. ඇතැම් ජාතීන්ට තමන් බලවත්ව හුන් හා පිරිහී ගිය යුගයන් සහ ඒ පරිවර්තන සිදු වූ හැටි පැහැදිලි කිරීමට සාක්ෂ්‍ය පවතී. සිංහලයා පිරිහුණු ජාතියකට හොඳම උදාහරණයකි. කුඩා ඉංග්‍රීසි ජාතිය අධිරාජ්‍යයක් ගොඩ නැගුවේය. ඒ කාලයේ ඇතැම් ඉංග්‍රීසි උගත්තු ගවේෂණ චාරිකාවල යෙදෙමින් ජාතියට දැනුම රැස්කර දුන්හ. චාල්ස් ඩාවින් (1809 1882) නිදසුනකි. ඔහු ක්‍රිස්තියානි මැවුම්වාදයට පටහැණි මතයක් ඉදිරිපත් කරමින් මනුෂ්‍යයාගේ ආරම්භය සත්ව පරිනාමයක් යැයි කීවේය.

පරිනාමවාදය ඉදිරිපත්වීම, මැවුම්වාදය ප්‍රචාරය කරමින් සිටි ක්‍රිස්තියානි ආචාර්යවරුන් සැලුන අවස්ථාවකි. එහෙත් ඒ සිද්ධියෙන් බොහෝ උගතුතුන්ගේ නිදිගැට හැරුණි. ‘ඩාවින්, භාරතීයන්ගේ දැනුම ලබාගෙන මෙවැනි සිද්ධාන්තයක් ඉදිරිපත් කළේය’ යන්න ඇතැම් භාරතීය උගත්තු කියති. එයින් ප්‍රකාශ වන්නේ භාරතීය අභිමානයයි.

පෘතුගීසීන් පෙරදිග පාලනය කිරීමට ප්‍රතිරාජයකු යටතේ ‘ගෝව’ නමින් උපරාජධානියක් පිහිටුවූයේය. එහි ඔවුන්ගේ දැනුම ගබඩා කිහිපයක්ම තිබුණි. ඒ හැම තැනක්ම කතෝලික පාදිලිවරුන්ගේ නේවාසිකාගාරයකි. මෙම ස්ථානයන්හි සිදු වූයේ පෙරදිග වැසියන්ගේ දැනුම රැස්කිරීම සහ ඔවුන් බෙලහීන කිරීමට උපක්‍රම සෙවීමයි. එය බටහිර ‘යුනිවර්සිටි’ ක්‍රමයේ බීජ අවස්ථාවකි.

යුරෝපයේ ප්‍රොතෙස්තන්ත කැරලි පැවති සමයේ, පාර්මාහි ඩියුක්වරයා වූ ඇලෙක්සැන්ඩර් ෆර්නිෂ් විසින් එකල (1585දී) නෙදර්ලන්තයේ ධනවත්ම නගරය වූ ඇන්ට්වර්ප් නගරය අල්ලා ගන්නා ලදි. එහි සිටි සියලු රෙපරමාදු වැසියන්ට නගරය හැර යෑමට නියෝග කෙරිණි. ඒ අවස්ථාවේ ධනවතුන්, උගතුන්, නැව් හිමියන්, බැංකුකරුවන්, සිතියම් ශිල්පීන් දසදහස් ගණනක් සිය ධනය රැගෙන ඇම්ස්ටර්ඩෑම් නගරයට ආහ. ඒ අතරින් කිහිප දෙනෙකු ආසියාවේ කුළුබඩු වෙළෙඳාම සඳහා කුඩා නැව් සමාගම් පිහිුටවා ගත්හ. 1602 දී ඕලන්ද රජයේ මැදිහත්වීමෙන් ‘ඕලන්ද පෙරදිග වෙළෙඳ සමාගම’ (වීඕසී) පිහිටුවූ අවස්ථාවේ මේ කුඩා නැව් සමාගම් ඒකාබද්ධ කරන ලදී.

කුළුබඩු වෙළෙඳාම සඳහා ඔවුන්ට මලක්කාවේ බණ්ඩා දිවයිනේ වෙළෙඳ මධ්‍යස්ථානයක් පිහිටුවීමට අවශ්‍ය විය. ඒ කොන්ත්‍රාත්තුව ජෑන් පීටර්සන් ක්වේන් Jan Pieterszoon Quan හමුදා නිලධාරියාට ලැබුණි. බණ්ඩා දිවයිනේ ස්වදේශිකයන් ඉවත් කර, වගාවට අවශ්‍ය සේවකයින් පිටින් ගෙන ඒම ඔහුගේ සැලසුම වූයේය. පීටර්සන් මේ වෙනුවෙන් බණ්ඩා දිවයින් වැසියන් සංහාරයක යෙදුණි. සමාගම බතාවියා වෙළෙඳ නගරය ඉදි කළේද එවැනිම සංහාරයකිනි.

ජපානයේ රන්, රිදී සහ තඹ, චීනයේ තේ, පිඟන් බඩු සහ සිල්ක්, බණ්ඩා දූපත්වල සාදික්කා, කරාබුනැටි සහ කරඳමුංගු ලබාගත් ලන්දේසිහු, 1658 වසර වන විට ලංකාවේ කුරුඳු වෙළෙඳාම අත්පත් කරගෙන තිබේ. මෙම භාණ්ඩ යුරෝපයට ගෙන යන අතර ඉන්දියාවෙන් කපු ගෙනගිය බවටද තොරතුරු ඇත. මේවා අලෙවි කිරීමෙන් සමාගම සුවිශාල ධනයක් ඉපැයීය. අදටත් දක්නා ලැබෙන ඇම්ස්ටර්ඩෑම් නගරයේ ඇළ මාර්ග දෙපස පිහිටි ආකර්ශණීය ගොඩනැගිලි ඉදිකර ඇත්තේ ඒ ධනයෙනි.

ප්‍රංශුවා වැලන්ටයින් (Francois Valentijn) බතාවියාහි පදිංචි වූ ඕලන්ද ජාතිකයන්ගේ දේවමෙහෙයට ගිය පාදිලිවරයෙකි. සෙයිලොනයේ ආණ්ඩුකාරයාව සිටි කොර්නේලිස් ජෑන්ස් සීමොන්ස් ප්‍රධාන ලන්දේසි නිලධාරීන් සමග ඍජු සබඳතා පැවැත්වූ වැලන්ටයින් පූජකතුමා ‘පැරණි හා නූතන පෙරදිග ඉන්දියානු දූපත්’ Oud en Nieuw Oost-Indiën මැයෙන් විශ්වකෝෂයක් සමාන ග්‍රන්ථයක් පිළියෙළ කළේය. මේ කෘතියේ ලංකාව පිළිබඳ පිටු 462ක දීර්ඝ විස්තරයක් තිබේ. පුද්ගලික සම්මුඛ සාකච්ඡා, රාජ්‍ය ලේඛන ආදිය ඇසුරෙන් ලංකාව පිළිබඳ තොරතුරු සම්භාරයක් එකතු කිරීමට වැලන්ටයින් සමත් විය. එහෙත් කිසි දිනෙක ලංකාවට පය නොතැබූ ඔහුට රට ගැන නිවැරදි අවබෝධයක් නොතිබුණෙන්, පොතේ සාවද්‍ය කරුණු ගණනාවක්ද අඩංගුය. ඇතැම් යුරෝපා ඉතිහාසකරුවන් බුදුසසුන හා ලංකා ඉතිහාසය ගැන තොරතුරු ලබාගැනීමේ මූලාශ්‍ර ග්‍රන්ථයක් වශයෙන් මේ පොත පාවිච්චි කර තිබේ.

බතාවිය සිංහලයන් විසූ ස්ථානයකි. ඕලන්දයන්, සිංහලයන් දහස් ගණනක් රටින් පිටට ගෙන ගොස් තිබේ. මීට කාලයකට පෙර ජර්මන් රුපවාහිනී නාළිකාවක් සුරිනාම් රට ගැන වාර්තා චිත්‍රපටියක් ප්‍රදර්ශනය කරන කරමින් ඕලන්දයන් එහි ගෙනගිය සිරකරුවන් ගැන විස්තරයක් ඉදිරිපත් කළේය. එහිදී සුරිනාම්හි පැරැන්නෙක්, ඔවුන් අතීතයේ සුරිනාමයට ගෙනෙන ලද සිංහලයන්ගෙන් පැවතෙන බව කීවේය. අපගේ ඇතැම් ලිපිවල මේ බව සඳහන් කරන ලද නමුදු කිසිවකු ඒ ගැන සැලකිල්ලක් දැක්වූයේ නැත.

වැලන්ටයින් හින්දුන්ගේ දැනුම පිළිගත් බව හින්දු ඉතිහාසකරුවෝ නිර්භයව කියති. තමා මුහුදේදී මත්ස්‍ය මිනිසකු දුටුවේ යැයි වැලන්ටයින්ගේ පොතේ ලියා ඇති කතාව පිළිබඳව ඔවුන් ඉදිරිපත් කරන අදහස් ඊට සාක්කියකි. හින්දු ආගමේ පැවසෙන පරිදි, විෂ්ණු දෙවියෝ පළමු වරට මනුලොවට එන්නේ මත්ස්‍යයෙකුගේ වේෂයෙනි. මහා ජලගැල්මකින් පෘථිවිය විනාශ වන බව මනුට කියන මත්ස්‍යයා, ඔරුවක් හදා පෘථිවියේ ඇති සියලුම පැළෑටි එක බැගින් හා සතුන් ජෝඩුව බැගින් ඊට දමාගෙන සූදානම් වන්නැයි උපදෙස් දෙයි. බයිබලයේත් පෘථිවිය විනාශ වූ මහා ජලගැල්මක් ගැන කියවේ. එය යුදෙව්වන් විසින් බ්‍රාහ්මණ ආගමෙන් ලබාගත් දැනුමක් බව හින්දුන්ගේ අදහසයි. බයිබලයේ සඳහන් පියාණන්, පුත්‍රයාණන් සහ ශුද්ධාත්මයාණන් යන ත්‍රිත්වය (හෝලි ට්‍රිනිටි) බ්‍රහ්ම, විෂ්ණු, ඊශ්වර යන ත්‍රිමුර්ති සංකල්පයේ ආභාෂයෙන් නිර්මාණය කරන ලද්දක් බවද ඔවුහු කියති.

ඉස්ලාම් ඉතිහාසකරුවෝ ඉස්ලාම් ඉතිහාසයේ වීරත්වය ගැන ලියති. ක්‍රිස්තියානි ඉතිහාසකරුවන්ගේ පරමාර්ථයත් එයමයි. හින්දු ඉතිහාසකරුවෝ හින්දු දේව කතා පවා ඉතිහාසයට එක් කරති. බහුතරයක් සිංහල උගතුන් කරන්නේ ජාතියක් ජම්මයක් නැත්තන් සේ රඟපෑමයි. සමහරු, ඉංග්‍රීසි ලේඛකයන් වැලන්ටයින්ගේ පොතෙන් උපුටා දක්වන සාවද්‍ය කරුණු ඇතුළත් වාක්‍යයක් දෙකක් අල්ලාගෙන ඉතිහාසය විකෘති කරන්නට වෙහෙසෙති.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top