මාක්ස්, ලෝකයේ වැඩියෙන්ම සූරාකෑමට ලක්වූ උගතාය

Last Updated on 13 hours by admin

අපි ලෙනින් කියවමු – 8

කොලට් සේනානායක
නාරද කරුණාතිලක

ඡායාරූපයේ දැක්වෙන්නේ මාක්ස්ගේ සුරුට්ටු පෙට්ටියයි. Pic. credit: © Courtesy of Marx Memorial Library

ජෝර්ජ් විල්හෙල්ම් හේගල්, ජර්මානු සමාජ ජීවිතයට අති මහත් බලපෑමක් කළ දාර්ශනිකයෙකි. ඩේවිඩ් ෆ්‍රෙඩ්‍රිච් ස්ට්‍රවුස් David Friedrich Strauss නමැති ප්‍රොතෙස්තන්ත දේවධර්මවාදියාගේ පොතපත ඔහුගේ චින්තනාවලිය කෙරෙහි බලපෑම් කර ඇත. ස්ට්‍රවුස් ජර්මනිය චප්ප කරගෙන සිටි සම්ප්‍රදායික ක්‍රිස්තියානි චින්තනය ප්‍රශ්නයට ලක් කළේය. ක්‍රිස්තියානි ‘ගොස්පල්’ චරිත මිථ්‍යා ප්‍රබන්ධ බව පෙන්වන ස්ට්‍රවුස්ගේ ’ජේසුස් වහන්සේ ජීවිතය’ (Das Leben Jesu) උගත් ජර්මානුවන්ගේ ක්‍රිස්තියානි සිතිවිලි කම්පනය කරන්නට සමත් වූ ග්‍රන්ථයකි.

ස්ට්‍රවුස් පැවසූ දේ හේගල්ට වැටහුණි. ඔහු පසු කලෙක නිරාගමික දර්ශනය ඉදිරිපත් කරන්නේ ඒ අවබෝධය පදනම් කරගෙනය. හේගල්ගේ දාර්ශනික විවරණ නිසා ජර්මනියේ උගත් සමාජයේ තිගැස්සීමක් හටගත්තේය. බර්ලින් විශ්වවිද්‍යලයේ සිසුන් අතර තරුණ හේගල්වාදීන්ගේ කඳවුරක් බිහි වූයේය. කාල් මාක්ස් එහි ක්‍රියාකාරිකයෙකි. පසු කලෙක පුවතපතක රැකියාවට ගිය මාක්ස් ක්‍රිස්තියානි දේවගැතිවරුන් කුපිත කරන ලිපි ලියන්නට විය. මාක්ස්ට ජර්මනිය හැරදා එංගලන්තයට යන්නට සිදුවීම එහි ප්‍රතිඵලයකි.

අනුකරණය කිරීමට හා රඟපෑමට බුද්ධියක් වුවමනා නැත. බොහෝ මාක්ස්වාදීන්ගේ ස්වභාවය අනුකාරකත්වයයි. මාක්ස් දාර්ශනිකයෙකි. ඔහු මනුෂ්‍ය සමාජයේ ආරම්භය විකාශනය හා අවසානය ගැන ගැඹුරු පර්යේෂණයක යෙදුණේය. අඹුව, දරුවන්, ශරීර සෞඛ්‍යය ගැන නොසිතා වසර ගණනාවක් මුළුල්ලේ එම කාර්යයේ නියැළුණ ඔහු අවසානයේ නිගමනයකට පැමිණියේය.

මෙම කාර්යයේ යෙදෙන මාක්ස් ගත සිත වෙහෙස නිවාගත්තේ සුරුට්ටු ඉරීමෙනි. පංති ඉතිහාසය දකින්නට සමත්වූ ඔහු අධික ලෙස දුම්පානය කිරීමෙන් තමා රෝගියෙකු වන බව නොදුටුවේය.

ලංකාව දහස් ගණනින් අනුකාරක මාක්ස්වාදීන් බෝ වූ රටකි. ඔවුන් අතුරින් ජවිපෙ මාක්ස්වාදීන් රටේ පාලකයින් දුටුවේ මැලේරියාවටත් වඩා භයානක උවදුරක් ලෙසිනි. ලංකාවට වඩා ප්‍රබල මාක්ස්වාදී ව්‍යාපාරයක් ඉන්දුනීසියාවේ තිබුණි. විජේවීර ඉන්දුනීසියාවේ ප්‍රතිවිප්ලවයක් සිදු වී මාක්ස්වාදීන් මරාදැමුණු හැටි සිය සගයන්ට පැහැදිලි කළේය. එහෙත් ඉන්දුනීසියාවට වඩා බියකරු මර්දනයකින් ජවිපෙ විනාශවීම වැළැක්වීමට ඔහුට නොහැකි විය.

ජවිපෙ මාක්ස්වාදීහු, කියුබාවේ පිදෙල් කස්ත්‍රෝ සුපිරි මාක්ස්වාදියෙකු වශයෙන් සැලකුහ. මාක්ස් හා කස්ත්‍රෝ කම්කරුවන් නොවූහ. ඔවුන් කම්කරුවන් ඇසුරු කළේද නැත. කස්ත්‍රෝ, කාල් මාක්ස් පරිදිම සුරුට්ටු බීවේය. ඕනෑම අවස්ථාවක කස්ත්‍රෝගේ මුඛයේ දැල්වෙන සුරුට්ටුවක් තිබුණි. ලංකාවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මාක්ස්වාදියෙකි. ඔහු තමා විප්ලවවාදියෙකු බව ප්‍රදර්ශනය කළේ කස්ත්‍රෝ මෙන් ‘ඩබල් පොකට්’ කමිසයක් ඇඳීමෙනි.

රෝහණ විජේවීරද කම්කරුවෙක් නොවේ. ඔහු පාක්ෂිකයන්ට තමා නිර්ධන පංතිකයෙකු බව ඒත්තු ගැන්වූයේ කිලිටි ඇඳුම් ඇඳීමෙන් හා ශරීරය පිරිසුදු කර නොගැනීමෙනි. විජේවීරගේ හිසේ උකුණන් බෝවී තිබුණි. ඔහු මේ ගැන සමසමාජ ව්‍යාපාරයේ නායකයෙකුගේ පුතාට කීවේ ඔහුගේ බිරිඳ වෛද්‍යවරියක නිසාය. ‘හොඳ ෂැම්පො එකක් පාවිච්චි කර හිස පිරිසුදු කරන්න’ යැයි වෛද්‍යවරිය විජේවීරට උපදෙස් දී තිබුණි. ඔහු ඊට අකමැති විය. ‘ෂැම්පෝ පාවිච්චි කරන්නේ මධ්‍යම පංතිකයන් යැයි’ විජේවීර කීවේය.

විජේවීර යන මග ගිය ජවිපෙ සාමාජිකයන් සියලු දෙනාම ‘හඩ්ඩන්’ සේ සිටීමෙන් තමන් නිර්ධනයින් බව ප්‍රකාශ කළහ. ශරීරයට නොයෙක් දුක් දුන් ඔවුහු ව්‍යාපාරය වෙනුවෙන් බොහෝ පරිත්‍යාග කළහ. විශාල පිරිසක් අප්‍රමාණ වධ හිංසාවලට ගොදුරු වී දෙමව්පියන් අඹු දරුවන් සෝකයේ ගිල්වමින් මරණයට පත්වූහ. ඒ හැම විපතක්ම සිදුකර ගත්තේ ‘ව්‍යාපාරය’ නමින් හැඳින්වූ පක්ෂය වෙනුවෙනි. මාලිමාව නමින් රාජ්‍ය බලය ලබාගෙන සිටින්නේ ඒ පක්ෂයයි. නමුත් මාලිමාව නිර්ධනයින්ගේ පක්ෂයක් නොවේ.

මාක්ස් ලේඛකයෙකි. ඔහු පංති සටන ඉදිරිපත් කරමින් ලියූ Das Kapital (අධිරාජ්‍යය) ලොවේ බෙහෙවින් ජනප්‍රිය වූ ග්‍රන්ථයකි. බයිබලය, කුරානය වැනි ආගමික ග්‍රන්ථ තරමටම මේ පොත ලොවේ පැතිරුණි. අවුරුදු ගණනක් වෙහෙසී අධිරාජ්‍යය පොත ලියූ මාක්ස් පොහොසතෙක් නොවූයේය. පොත ලිවීමෙන් ලැබුණු මුදල ඒ සඳහා කාලය ගෙවීමේදී පිළිස්සු සුරුට්ටුවලට වැයවූ මුදල තරම් වත් සමාන නැතැයි මාක්ස් සඳහන් කළේය. ඒ අනුව බලන කල මාක්ස්, මෑත ලෝකයේ වැඩියෙන්ම සූරාකෑමට ලක්වූ උගතාය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top