Last Updated on 6 hours by admin
ඩේවිඩ් ඇන්තනි විසිනි

‘සෙල්ෆි’ ගහන තරුණියෝ.
Photo Credit: New York Times
බෞද්ධ සමාජය දේශපාලනයේදී දුර්වලකම් පෙන්වයි. ජෛනයින් හා බෞද්ධයින් අවිහිංසාවාදීන් වීම, විදේශ ආක්‍රමණිකයන් ඉන්දියාව අල්ලා ගැනීමට හේතුවක් විණි. මානව හිමිකම් ගැන අදහස් ප්‍රකාශ කරන නමුදු ක්‍රිස්තියානි, ඉස්ලාම් හා හින්දු ආගම් අවිහිංසාවාදී ආගම් නොවේ. වරක් රාජනීස් භගවාන් (ඕෂෝ) කී කතාවක ගැඹුරු අර්ථයක් තිබේ.
‘යමෙක් වම් කම්මුලට ගැහුවොත් දකුණු කම්මුල අල්ලන්න කියා යේසුස් වහන්සේ උගන්වනව’ යනුවෙන් ඉරුදින දේශනයක දී පුජකයකු කියනු අසා සිටි තරුණයෙක් අල්තාරය අසලට ගොස් පූජකයාගේ වම් කම්මුලට පහරක් දුන්නා. පූජකයා ඔහුට දකුණු කම්මුල දික් කළා. ඔහු ඒකට ඊට වඩා සැර පහරක් දුන්නා.
ශක්තිමත් ශරීරයක් හිමි පූජකයා තරුණයාට ගහන්ඩ පටන් ගත්තා. බිම වැටුණාට පසුව පා පහරවල් කිහිපයක්ද ගැහුවා. බැතිමතුන් බිරාන්ත වී බලා ඉන්නව.
‘දකුණු කම්මුලට ගැහුවට පස්සෙ කරන දේ ගැන බයිබලේ නෑ.’ පූජකයා කිව්වා.
මෝදි පාලනය යටතේ ඉන්දියාවේ හින්දු ආගමේ මහා පිබිදීමක් ඇතිවී තිබේ. මහාරාෂ්ට්‍රයේ විසූ දේශප්‍රේමියකු වූ ශිවාජි බොන්ස්ලේ (1627 – 1680) හින්දුන්ගේ ජාතික වීරයා බවට පත්වීම නිදසුනකි. ඔහු ඉස්ලාම් සුල්තාන් ඖරංශිබ්ට විරුද්ධව හින්දු ජාතික සටන මෙහෙයවූයේය. මහාරාෂ්ට්රයේත් ඉන්දියාවේ වෙනත් ප්‍රාන්තවලත් ශිවාජි නමින් ගොඩනැගිලි නම් කරන්නේ ඉන්දියානුවාගේ දේශප්‍රේමය ගොඩනැගීමටයි. ශිව්සේනා, ශිවාජි සිහිකිරීමේ පරමාර්ථය ඇතිව පිහිටුවන ලද දේශප්‍රේමී සංවිධානයක් බව සමහරුන්ගේ අදහසයි.
මෝදි පාලනය යටතේ ආසියාවේ පැරණි හින්දු කෝවිල් පිළිසකර කිරීමේ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක වේ. මෝදි, මලයාසියානු චාරිකාව අතරතුර නරඹන්නට ගිය පරම්බනන් කෝවිල එවැන්නකි. ඒ ගමන ගැන විස්තර පළ කළ ඉන්දියානු පුවත්පත්, වියට්නාමය, බංගලා දේශය, ලාඕසය, බහරේන් වැනි රටවල පැරණි හින්දු කෝවිල් ප්‍රතිසංස්කරණයට සැරසෙන ඉන්දියාව ශ්‍රී ලංකාවේ මන්නාරමේ තිරුකේතීශ්වරම් මන්දිර් කෝවිල ප්‍රතිසංස්කරණය කිරීම ගැනද විස්තර ඉදිරිපත් කර ඇත.
තමිල්නාඩුවේ මහඇමති ජෝෂප් විජේ, බීජේපී දේශපාලනයට විරුද්ධ අයෙකි. බීජේපීට විරුද්ධවීම යන්නෙන් ප්‍රකාශ වන්නේ හින්දු ජාතිකත්වයට විරුද්ධ බවයි. ජෝෂප් විජේ, ඉන්දියාව, ලංකාවට අයිති කච්චතිවු දූපත ලබාගත යුතු යැයි කීවේය. එය ඔහුගේ ආගමික චින්තනය පදනම් කරගෙන කළ ප්‍රකාශයකි. බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා පුරවැසියකුගේ දියණියක වූ සංගීතා සොරන්ලිංගම් සමග විවාහ වී සිටීමද හේතුවක් විය හැක. නමුත් ඇය දැන් ජෝෂප් විජේගෙන් දික්කසාද වීමට නඩුවක් දමා තිබේ.
මේ හැමගෙන් බේරී ලංකාවේ ස්වාධීනත්වය රැකගත හැක්කේ රාජ්‍ය පාලකයා දක්ෂ වුවහොත් පමණි.
