Last Updated on 6 days by admin
ඩේවිඩ් ඇන්තනි විසිනි

ඉන්දියාව වට කරගෙන සිටින ඉරානය, ඇෆ්ගනිස්ථාන, පකිස්ථානය, බංගාලිදේශය, මාලදිවයින, යන රටවල් ගොඩ දෙසට ශ්‍රී ලංකාව වේගයෙන් ඇදී යන බව ඇතැම් ඉන්දියානුවන්ගේ අදහසයි. ඉස්ලාම් ‘බක්රිඩ්’ බිලි පූජා උත්සවය ලංකාවේ බෞද්ධයන්ගේ වෙසක් උත්සවය අභිභවා සිටීම, ඔවුන් දකින්නේ ඒ භයානක ඉරණමේ කොටසක් ලෙසටය. වෙසක් දියාරු කිරීම රට පාලනය කරන මාලිමා රජයේ අනුදැනුම හා වුවමනාව මත එය සිදුවූවක් යැයි ඔවුහු සිතති. මෙම කාලය තුළ ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය ආධාරයෙන් භික්ෂුන් වහන්සේගේ බලය බිඳින ඉතා සංවිධානාත්මක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වූ බව බුද්ධිය ඇති සිංහල බෞද්ධයින්ට වැටහේ.
හින්දූන් දකින ආකාරයට ලංකාව ඉස්ලාම් රටක් වීමෙන් ඉන්දියාවට සිදුවන්නේ බලවත් විපතකි. ඊට ඔවුන් මුහුණ දෙන්නේ කෙසේද? කච්චතිව් රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාවකින් ලංකාව සතුකර ගැනීම පවා ඉන්දියාවට ගැටලුවක් වන්නේ මෙම අභියෝගය හමුවේය. ලංකාව හා ඉන්දියාව යා කරන රාම සේතු පාලම ඉක්මනින් ඉදිකිරීමට ඉන්දියාව යුහුසුලු වන්නට හේතුව ගැන සිතිය යුත්තේ මේ පසුබිම තුළයි. පාලම හැදූ සැණින් තමිල්නාඩුව හා ලංකාව අතර දුම්රිය සේවයක් ඇරඹේ. මේවායේ රැකියාව කරන සේවක සේවිකාවන්ගේ අත මිටමොළවා ලංකාවට ඒම තමිල්නාඩු වැසියන්ට පහසු ක්‍රියාවකි.
ඉන්දියාව ඉතා දීර්ඝ කාලයක් සුල්තාන් හා මෝගල් පාලනයන් යටතේ පැවති මහා භුමි කලාපයකි. ඒ නිසා එය තුළ අති විශාල ඉස්ලාම් ජනගහණයක් ඇති විය. ඉස්ලාම් පාලකයින් රටේ ඉඩම් බලතල බදු ප්‍රතිපත්ති සිරිත් විරිත් හා නීති සකස් කළේ ඉස්ලාම් ආගමට වුවමනා ලෙසටය. අනතුරුව ඉන්දියාව අල්ලාගෙන සිටි බි්රතාන්යයින් රටින් ඉවත් වූයේ ඉන්දියාව කඩා පකිස්ථානය නමින් ස්වාධීන ඉස්ලාම් රාජ්‍යයක් බිහි කරමිනි.
නරේන්ද්‍ර මෝදි වනාහි දීර්ඝ කාලයක් මුළුල්ලේ හින්දුන්ට නැතිවූ හිමිකම් ගැන සංවේදී නායකයෙකි. ඔහු ගුජරාටය කේන්ද්‍ර කොට දේශප්‍රේමී ව්‍යාපාරයක් ගොඩනැගුවේය. එය වැඩුණේ බීජේපී වශයෙනි. මෝදි ජාතිවාදියෙකු යයි බොහෝ බටහිර රටවල් චෝදනා කළහ. 2005 වසරේ ඇමරිකාව මෝදිට වීසා තහනමක් පැනවූයේය. එහෙත් මෝදි පසුබැස්සේ නැත. අන්තිමට බීජේපීය රටේ පාලන බලය ලබා ගත්තේය. දැන් බිජේපීය කරන්නේ හින්දු ඉන්දියාවක් සැදීමයි.
ගව මස් ඉන්දියාවේ ඉස්ලාමිකයන්ගේ ප්‍රධාන ආහාරයයි. ගවයා හින්දුන්ගේ ආගමික වස්තුවකි. එම නිසා මෝදි රජය ඉන්දියාවෙන් ගව ඝාතනය නැවැත්වීමට යම් යම් පියවර ගැනීම ගෙන ඇත. (මාල දිවයින් වැනි රටක රස්සාව කරන සිංහල බෞද්ධයෙකුට බුදුරූ සටහනක් ඇති වෙසක් පතක් වත් රට ඇතුළට ගෙන යාමට අවසරය නැත) පසුගිය සතියේ තමිල්නාඩුවේ මහාධිකරණය ගව ඝාතනය තහනම් කරන නීති පැනවූයේය.
හින්දූන් ගව ඝාතනයෙන් මිදෙන්නට ප්‍රධාන හේතුව බෞද්ධ චින්තනයේ බලපෑමයි. බුදුගුණ අලංකාරය වැනි සිංහල කවි පොතකින් පෙන්වන්නේත් බ්‍රාහ්මණයින් ගව පූජා පැවැත්වූ කාලයේ සිංහල බෞද්ධයින් ගව ඝාතනය අපරාධයක් වශයෙන් සැලකූ බවයි. එහෙත් රටට කඩාවැදුණු පෘතුගීසි, ලන්දේසි, හා ඉංග්‍රීසි ජාතිකයින්ට සිංහලයාගේ හැම ගතියක්ම වෙනස් කිරීමට හැකි විය. දැන් බොහෝමයක් සිංහලයින් නොකන්නේ මිනී මස් පමණි.
ජාතික උරුමය ගැන අදහස් දක්වන නායකයින්ට පහර ගසා බිම දාමා චප්ප කිරීම යටත් විජිත කාලයේ සිට ලංකාවේ සිදුවන්නකි. අනාගාරික ධර්මපාලතුමා රටින් පිට කළේ ඒ බලයයි. එතුමාට මහත් ශක්තියක්ව හුන් වලිසිංහ හරිශ්චන්ද්‍රතුමා මැරුණා නොව මරා දැමුණු බව කියන්නට සාක්කි තිබේ.
ලංකාවේ ආගමික ස්වරූපය වෙනස්වීම බරපතල කාරණයකි. පාකිස්ථානය, ඇෆ්ගනිස්ථානය වැනි රටවල් ලංකාවට වඩා ප්‍රබල ශක්තිමත් බෞද්ධ රටවල්ව පැවතුණි. දැන් ඒ රටවල් කෙරෙහි ඉන්දියාව දක්වන්නේ මිතුරු ආකල්පයක් නොවේ. ලංකාව ඒ තත්වයට පත්වන්නට ඉන්දියාව ඉඩ දේ යැයි සිතීමට නොහැක. එහෙත් ඉන්දියාව ලංකාව බෞද්ධ රටක් ලෙසින් නොව හින්දු රටක් ලෙස පවත්වාගෙන යාමට වැඩි කැමැත්තක් දක්වන බව ස්ථිරවම කියන්නට පුළුවන. මේ සියල්ලටම විසඳුම සිංහලයා තම ජාතික දේහ ස්වරූපය හඳුනාගැනීමයි.
