ලාලුයි හර්ෂණයි හදන පෝසත් රටේ ලස්සන ජීවිතය

Last Updated on 10 hours by admin

කවුඩංගොල්ලේ මහවිදානේ විසිනි

Pic. credit: newshub.lk

මාලිමා ආණ්ඩුව බලයට පත්වූ පසු සිදුවූ ඛෙදවාචක කිහිපයකි. එයින්, ‘දිත්වා’ කුණාටුව සැලකෙන්නේ ස්වභාවික විපතක් වශයෙනි. ගංවතුර, නියඟය, වැනි ස්වභාවික යයි පෙනෙන විපත්වලට හේතුව අධිරාජ්‍යවාදීන් කළ කැලෑ එළිකිරීම් බඳු පාරිසරික හානි බව පැරණි ජවිපෙ කාඩරයන්ගේ පන්තිවලින් ප්‍රකාශ විය. හැන්දෑ කාලවල රහසින් පැවැත්වුන මෙවැනි පන්ති ලාම්පු කුප්පියක් වත් නැතිව අඳුරේ පැවැත්වූ ඒවාය.

ජවිපෙ පැරණි නායකත්වයේ සංකේතයක් යැයි ඇතැමුන් සිතන ලාල් කාන්ත මාලිමාවේ කෘෂිකර්ම ඇමති වශයෙන් රැකවලුන් මැද මහ දවාලේ උගතුන් ඉදිරිපිට දේශන පවත්වයි. ඒ කතාවලින් පැහැදිලි වන්නේ කෘෂිකර්ම නිලධාරීන් හා නිලධාරිනියන් ප්‍රධාන උගතුන් ඇසුරු කරන ඔහු පණ්ඩිතයකු බවයි. එම නිසා ජවිපෙ කාඩර්වරුන්ට මෙන් යටත් විජිතවාදියා සහ ඔවුන් හඳුන්වා දුන් කෘෂිකර්මය නිසා වී ගොවිතැනට සිදුවූ හානිය ගැන කියන්නට ලාල්ට නොපුළුවන.

මහාචාර්ය තෙන්නකෝන් විමලානන්ද බඳු ඉතිහාසඥයෝ දුක් විඳ තොරතුරු සොයා පොත් ලියා, උඩරට කැරැල්ල මර්දනය කරන බි්‍රතාන්‍ය පාලකයින් ලංකාවේ වැව් හා වාරිමාර්ග විනාශ කළ ආකාරය ලාංකිකයන්ට තේරුම් කර දුන්හ. ලාල් කාන්තගේ වියත් කතා අහන කිසියම් පණ්ඩිතයකු බි්‍රතාන්‍යයන් ඒ විනාශයන් සිදු කළේ, රටේ මහජනතාව බත් කා ලෙඩරෝග හදාගැනීම වැළැක්වීමේ සහ රට සංවර්ධනය කිරීමේ පවිත්‍ර චේතනාවලින් යැයි කීවොත් පුදුම විය යුතු නැත. වර්තමානයේ සිංහල බෞද්ධයන් පිළිබඳව මීට සමාන අදහස් නිතර ඉදිරිපත් වේ.

මහින්ද තෙරුන් වහන්සේ ලංකාවට වැඩම කර මහාවිහාරය පිහිටුවා රටට මහා සේවයක් කළහ. අවන්තියේ විශ්වවිද්‍යාල අනුව පිහිටුවූ මහාවිහාරයෙන් සිදු වූයේ ප්‍රාඥයින් බිහිකිරීම හා රාජ්‍ය පාලකයින්ට රට සංවර්ධනයට නිවැරදි මග පෙන්වීමයි. ඇමරිකාවේ හාවඩ් විශ්වවිද්‍යාලයට අනුබද්ධිතව පිහිටුවා ඇති මහින්ද්‍ර මානව විද්‍යා මූලස්ථානයෙන් Mahindra Humanaties Center කෙරෙන්නේ පෙරදිග විද්‍යාර්ථින්ට ඔවුන්ගේ උරුමය ගැන වැරදි දැනුමක් පෙවීමයි.

කලක් ලෝකයේ ලොකුම පිටිකිරි සමාගම වශයෙන් කීර්තිය දැරු ස්විස්ටර්ලන්තයේ නෙස්ලේ සමාගම, කිරිපිටි අලෙවිය සඳහා අනිසි උපක්‍රම භාවිත කරමින් මහජනතාව රැවටන බවට, යුරෝපයේ උගතුන්ගෙන් චෝදනා එල්ල විණි. කිරි දෙන මවුවරුන්ගේ පියයුරු එල්ලා වැටී ඔවුන්ගේ රූප ශෝභාව පිරිහෙතැයි යන්න ඔවුන්ගේ ප්‍රචාරයකි. රූප රාජිනියන්ට සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මුදල් ගෙවා මහජනයා රවටන ප්‍රචාර, නොයෙකුත් සමාගම් විසින් ලංකාව තුළද සිදු කරනු ලබයි.

පිරිසිදු වතුර හිඟ අප්‍රිකාවේ රටවල මවුවරු නෙස්ලේ සමාගමේ වෙළෙඳ ප්‍රචාරවලට රැවටී දරුවන්ට පිටිකිරි පෙවීමට ගොස් බොහෝ ළදරුවන් මරණයට පත් වුණි. ඉන් පසුව ලෝකය පුරා නෙස්ලේ නිෂ්පාදන වර්ජන ව්‍යාපාරයක් ඇරඹුණි. කිරි ගොවියන් එකතු කරමින් සංවිධාන කළ ලංකාවේ ජාතික පශු සම්පත් මණ්ඩලයද ඊට සම්බන්ධ වූයේය. ජේ. ආර්. ජයවර්ධන ජනපති සමයේ තොන්ඩමන් පශු සම්පත් සංවර්ධන ඇමතිවරයා වූ පසු, ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය නෙස්ලේ සමාගමේ කිරි සැපයුම්කරුවකු බවට පත් විය. ලාල් කෘෂි ඇමතිවරයා වූ පසු සිදුවන්නේද මීට සමාන දෙයකි.

ලාල් කාන්ත බත් සහ වී ගොවිතැන කළ කතාවේ විශාල අර්ථයක් පවතී. එහෙත් පරිසරය ගැන නිවැරදි දැක්මක් ඔහුට නැත. ඔහු, අලින්, වඳුරන්, මොනරුන්. දඬුලේනුන්, පලිබෝධ වශයෙන් සලකා විනාශකර දමන්නැයි ගොවියන්ට කීම ඊට සාක්කියකි. ඔහු දැන් කරන්නේ ගොවි පරපුර සහ ඔවුන් අතර යම්තම් හෝ ඉතිරි වී පවතින ගොවි සංස්කෘතිය විනාශ කිරීමයි.

අධිකරන ඇමති හර්ෂණ නානායක්කාර ලාල්ට වඩා ඍජු පුද්ගලයෙකි. ඔහු අඳින පළඳින කතාබහ කරන හා දක්වන අදහස් සියල්ලෙන්ම කළු සුද්දකු බව ප්‍රකාශ වේ. ඔහු පැරණි කාලයේ අධිරාජ්‍යවාදී ඉංග්‍රීසින්ගේ ඇඳුම් මෝස්තරයක් වූ සස්පෙන්ඩරයට දක්වන ඇල්ම හොඳම නිදසුනයි. හර්ෂණ ඇමති වාසුදේව නානායක්කාර ඇමතිවරාගේ සොහොයුරාගේ පුතෙකි.

ලංකා ගුරු සංගමයේ සභාපතිව සිටි එච්. එන්. ප්‍රනාන්දු අපගේ හොඳ මිතුරකු වූයේය. තම මස්සිනා විජේවීර අවංක මාක්ස්වාදියකු බවට ඔහුට කිසිම සැකයක් නොතිබුණි. මාක්ස්වාදීන් වශයෙන් පෙනී සිටි විප්ලවකාරී සමසමාජයේ වාසුදේව නානායක්කාර සහ වික්‍රමබාහු කරුණාරත්න කෙරෙහි විජේවීර දැක්වූයේ දැඩි පිළිකුලකි. එච්. එන්. ප්‍රනාන්දු බොහෝ අවස්ථාවල වාසුදේව හැඳින්වූයේ ‘වාසිදේව’ යනුවෙනි..

වාසුදේව සමග ජාතික ව්‍යාපාරය මෙහෙයවූ බණ්ඩාරනායකලා සහ රාජපක්ෂලා අමාරුවේ වැටුණි. හර්ෂණ නානායක්කර සමග ‘පෝසත් රටක් – ලස්සන ජීවිතයක්’ හදන්නට යන මාලිමාවටත් සිදුවන්නේ එයම බව බොහෝ දෙනාගේ අදහසයි. මීගමුවේ සිරගෙදර ඛේදවාචකය ඊට සාක්කියකි. හර්ෂණ සහ ලාල් කාන්ත එකම කාසියේ දෙපැත්තකි. මෙය තේරුම් ගන්නට හැකි රටවැසියන් පිරිසක් බිහිවේවා!

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top