Last Updated on 6 hours by admin
කවුඩංගොල්ලේ මහ විදානේ විසිනි

කෝට්ටෙ බැද්දගානෙ හිටපු වික්ටර් සිල්වා සහෝදරයා කොළඹ නාලන්දාවේ ගුරුවරයෙක්. ඔහු කොමියුනිස්ට්කාරයෙක්. ඊට හේතුව, ඔහුගේ භාර්යාව කියුබානු තානාපති කාර්යාලයේ රැකියාව කිරීම කියලයි සමහරු කිව්වෙ. පළාත් පාලන මැතිවරණයට තරග කළාට පස්සෙ වික්ටර් සහෝදරයා ප්‍රදේශයේ ප්‍රසිද්ධ වුණා. කාලයාගේ ඇවෑමෙන් ඔහු කොමියුනිස්ට් පක්ෂයේ චීන පිලේ සාමාජිකත්වය ගත්තේ, ෂන්මුගදාසන් ඔහුගේ බිරිඳගේ හිතවතෙක් වූ නිසයි. වික්ටර් සිල්වා සහෝදරයාට ස්කූටරයක් තිබුණා. පසු කලෙක රෝහණ විජේවීර නමින් ප්‍රසිද්ධ වුනේ එදා වික්ටර්ගේ ස්කූටරේ පස්ස පැත්තෙ ඉඳගෙන ගිය නන්දසිරි (නන්දෙ) සහෝදරයායි.
ලංකාවේ රහසිගත දේශපාලන කඳවුරු පැවැත්වීම ආරම්භ කළේ ෂන්මුගදාසන්ගේ විප්ලවකාරී කොමියුනිස්ට් පක්ෂය විසින්. මේවාට සහභාගි වූ සහෝදරවරුන්ට තුවක්කුව පාවිච්චි කිරීම, වෙඩිතැබීම වැනි බැරෑරුම් දේවල් වගේම බූට්ස් දමා ඇවිදීම වගේ සාමාන්‍ය දේවල්ද ඉගෙන ගන්ඩ ලැබුණා. අනුරාධපුරේ රැකියාව කරපු සනත් සහෝදරයා, ඒ පළාතේ කඳවුරක් සූදානම් කර තිබුණා. ඔහු ගුරුවරයෙක්. නන්දෙ සහෝදරයාත් කඳවුරට ආවා.
පංති කෙරුවට, සනත් සටන් කරපු තැනක් දැනගන්ඩ නෑ. ඔහු 1971 කැරැල්ලට සහභාගි වී සිටියදී පොලිස් වෙඩි පහරින් මිය ගිය බව කැරැල්ල ගැන ලියූ සමහරුන්ගේ අදහසයි. කැරැල්ලට සම්බන්ධ දකුණු පළාතේ නායකයෙක් වූ ඇල්පිටියේ ජයසිංහ මහත්තයා මේ ගැන කිසිම දෙයක් කිව්වෙ නෑ. සාමාන්‍යයෙන් ජවිපෙ නායකයින් වැඩි දෙනා අසුවී ඇත්තේ පොලිසිවලට ගහමු කියා සිවුරු පොරවාගෙන පන්සල්වල හැංගී ඉන්න අතරෙයි. ඒ විදිහට පොලිසියට අසුවූ ‘ඌ මහත්තයා’ මහනඩුව අවස්ථාවේ අඬ අඬා කිව්වෙ පොලිස් භටයෙක් තමන්ට ස්වයං වින්දනය කර පේනවන්නැයි කී නිසා තමන් ඒ දේ කරපු බවයි. විදුහල්පතිවරයෙක්ව සිටියදී හසුවූ ජයසිංහ මහත්තයා එවැනි දියාරුවෙක් නෙමෙයි. ඔහු මැගසින් සිරගෙදර සිටි ජවිපෙ සිරුකරුවන් කාගේත් ප්‍රසාදයට ලක්වූ ඉතා වටිනා මිනිහෙක්.
මේ කාලයේ මහාචාර්ය සුමතිපාල මවු කුසේ වත් හිටියා වෙන්ඩ බෑ. ජවිපෙ බිහි වූයේ ප්‍රචණ්ඩකාරී දේශපාලන ව්‍යාපාරයක් විදිහට නොවේ යයි ඔහු කියන නිසා එසේ සිතිය යුතුයි. (මේ ප්‍රකාශ සඳහන් වීඩියෝ පටියක් සමාජ මාධ්‍යයේ ‘වයිරාල්’ වුනා). හිංසනයට ලක්වූ තමන්ව පොලිසිය විසින් ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා අබියසට ගෙන ගිය බව ඔහු කියනවා. ඒක හරිම සුන්දර පචයක්, කයිවාරුවක්. ඒ වීඩියෝවට ඇහුම් කන් දුන් අපේ මායියා කතාවක් කිව්වා.
“මොනරා පක්ෂීන් අතර කැපී පෙනෙන පක්ෂියෙක්. මේ මහාචාර්යවරයාත් මොනරාට සමානයි. රජතුමා තම දියණිය මොනරෙකුට පාවා දීමට සිතා ඌව රාජ සභාවට කැඳෙව්ව. ඌ රජු ඉදිරියේ හිටගෙන අනිත් පක්ෂින්ට පේන්ඩ පිල් විදිහා නටන්ඩ ගත්තා. ඒ සැණින් මොනරාගේ අධෝමුඛය ප්‍රදර්ශනය වුනා. රජතුමා ඇස් පියා ගත්තා.”
මායියාගේ කතාවට උත්තරයක් දෙන්ඩ හිතපු මට පරණ සිද්ධියක් මතක් වුණා. ඉස්සර වෙසක් එකට මරදානේ තැන් කීපයක ඔළුබක්කො නටනව. එක තැනක ඔළුබක්කො නැටෙව්ව ‘චොප්පෙ අයිය’ (ධර්මදාස) අපූරු කතාවක් කිව්ව.
“මට කොලු කේස් එකකට ගල්කිස්ස උසාවියේ පෙනී ඉන්ඩ සිද්ද වුනා. මං නඩුවට පේස් කළේ පෙරකදෝරුවෙක් නැතුව. තෝල්කය නඩු නොම්මරේ කිව්වම මං විත්ති කූඩුවට නැග්ග. නඩ්ඩ මා දිහා බලල, ‘චොප්පෙ වට් කේස්?’ කිව්ව. ’සර් පුක් කේස්’ කියල මං උත්තරේ බැන්ද. නඩුව ක්ලෝස්. චොප්පෙ එළියෙ.”
