කොමියුනිස්ට් ප්‍රඥප්තිය කොට උඩ, කම්කරුවො ටික පිල උඩ, නායකයො නම් ගොඩේ ගොඩ

Last Updated on 3 hours by admin

අපි ලෙනින් කියවමු – 6

කොලට් සේනානායක
නාරද කරුණාතිලක

ජර්මනියේ රෙදි කර්මාන්තශාලා හිමියෙක් එංගලන්තයේ ලැංකැෂයර් කර්මාන්ත පූරයේ ඇරඹූ සිය රෙදි කර්මාන්ත ශාලාවේ පරිපාලන කටයුතු සඳහා ඔහුගේ පුතා ෆේඩ්රිච් ඒංග්ල්ස්ව පත් කළේය. ඔහු දර්ශනවාදය පිළිබඳ ප්‍රවීණයෙකි. ලැංකැෂයර්හි පදිංචි වූ හෙතෙම නගරයෙහි විසූ යුදෙව් සම්භවයකින් යුතු කාල් මාක්ස් නමැති ජර්මානු දාර්ශනිකයාගේ පුවත්පත් ලිපි කියවූයේය. මාක්ස්, ප්‍රකට ජර්මානු දාර්ශනික හේගල්, මනුෂ්‍ය වර්ගයාගේ විකාශනය පිළිබඳ ඉදිරිපත් කර තිබූ මතවාද බිඳින හැටි ඔහුට පෙනුණි.

‘කොමියුනිස්ට් ප්‍රඥප්තිය’ යනු මිතුරන් බවට පත් මොවුන් දෙදෙනාගේ සාමූහික ප්‍රයත්නයකි. ‘අනාගත ලෝකය පාලනය කිරීම නිෂ්පාදන ක්‍රියාවලියේ යෙදෙන කම්කරුවන් අතට පත් වන්නේය’ යන්න එහි හරයයි. යුරෝපයේ ඇතැම් උගත්තු, ‘1917 රුසියාවේ සිදු වූ විප්ලවය කොමියුනිස්ට් ප්‍රඥප්තිය සනාථ වීමේ පියවරක් යැ’යි සිතූහ. රුසියන් විප්ලවය මෙහෙය වූ ට්‍රොට්ස්කි, ඊට එකඟ නොවීය. ‘රුසියාවේ සාර් පාලනය විනාශ වී මනුෂත්වයට අගෞරව කරන අමන ආඥාදායකයින් රැලකට රටේ පාලනය ලැබුණේද?’ යන සැකය ඔහුට ඇති විය. ට්‍රොට්ස්කිගේ මතය ප්‍රසිද්ධ වීමෙන් පසු ලෝකයේ මාක්ස්වාදීන්, ස්ටාලින්වාදීන් සහ ට්‍රොට්ස්කිවාදීන් වශයෙන් දෙකට බෙදුණි.

ස්ටාලින්ගෙන් පසු රුසියාව මෙහෙයවූ නිකිතා කෘෂෙව්, ට්‍රොට්ස්කිවාදියෙක් නොවේ. ඔහු ස්ටාලින්ගේ අපරාධ විවේචනය කළේය. එයින් කෝප වූයේ ස්ටාලින් නිසා විඳවූ රුසියානුවන් නොවේ. චීනයේ පාලන බලය අල්ලමින් සිටි හතරදෙනාගේ කල්ලියයි. ඩෙන් ෂියාඕ පින්ග් මොවුන් පරදා චීනය බේරා නොගන්නට, මහා විනාශයක් සිදු වන්නට ඉඩ තිබුණි.

ලංකා කොමියුනිස්ට් පක්ෂයේ වෘත්තිය සමිති සම්මේලනයේ (සීටියූ) නායක නාගලිංගම් ෂන්මුගදාසන් (ඇන්. ෂන්මුගදාසන්) හෙවත් ‘ෂන්’ සහෝදරයා හතරදෙනාගේ කල්ලියේ මතය පිළිගත් උග්‍ර මාක්ස්වාදියෙකි. ඔහු කසල පිරුණු මනස් ඇති සිංහලයන් පිරිසක් එකතු කරගෙන විප්ලවවාදී කොමියුනිස්ට් පක්ෂය (චීන පිල) පිහිටුවූයේය. ඉන්දියාවේ කොමියුනිස්ට්වාදින් පිරිසක් මේ කාලයේ ගොරිල්ලා කඳවුරක් පිහිටුවාගෙන සිටියහ. ඔවුන් හැඳිනුම් ලද්දේ, ‘නක්සලයිට්’ නමිනි. ෂන් සහෝදරයා නක්සලයිට්වරුන් විප්ලවවාදී මාක්ස්වාදීන් සේ හැඳින්වූ සැණින් ඔහු පසුපස රැලේ ගිය පිරිස එය පිළිගත්හ.

මේ කාලයේ ලුමුම්බා මිත්‍රත්ව සරසවියේ ඉගෙනුම ලබමින් සිටි විජේවීර ලංකාවට පැමිණ සිටියේය. ලුමුම්බාහි උගත් ඔරුවල බන්දු, විජේවීරව විවේචනය නොකර රුසියාවේ අධ්‍යාපනය පිණිස ගොස් ඉගෙනීම පසෙක තබා පෙරළා තම රටවලට ගොස් විප්ලව කරන්නට උත්සාහ කළ තරුණයින් ගැන ලිපියක් ලියා තිබුණි.

ෂන්ගේ හිතවතෙක් ඔහුගේ මැතිවරණ වැඩට උපකාර කිරීමට නැවත ලුමුම්බා නොගිය විජේවීර එවා තිබුණි. ෂන් ඉතා පරිස්සමින් විජේවීරගෙන් වැඩ ගත්තේය. යාපනයේ සම්මේලනයෙන් පසුව ෂන්ගෙන් ඈත් වූ විජේවීර ජනතා විමුක්ති පෙරමුණ නමින් අලුත් පක්ෂයක් ගොඩනැගුවේය.

ෂන්, විප්ලවවාදීන් බිහි කළ මැසිමකි. ගාමිණී යාපා නිදසුනකි. යාපා ඇරඹූ ‘පෙරදිග සුළං’ කොමියුනිස්ට් පක්ෂයකි. මාතලේ දිස්ත්‍රික්කයේ කළුපහන ඔවුන්ගේ මූල කඳවුර විය. පුත්තලමේ විසූ උමා මහේෂ්වරන්ගේ කොමියුනිස්ට් ව්‍යාපාරයටද ෂන්ගේ අදහස් බලපෑම් කළේය. ප්‍රභාකරන් පිහිටුවූ එල්ටීටීඊය පමණක් ‘විමුක්ති දේවධර්ම’ (ක්‍රිස්තියානි) සංවිධානයකි.

කොමියුනිස්ට් ප්‍රඥප්තියට අනුව, ‘අනාගත ලෝකයේ බිහි වන ලෝක පුරවැසියන්ට ආගමක්, ජාතියක්, භාෂාවක්, රටක්, ගමක්, නෑදෑයෙකු, දුවක, පුතෙකු ඈ කිසිවක් හෝ කිසිවෙකු පැවතිය නොහැකිය. ස්ටාලින් සියලුම ගැහැණුන් රටේ පොදු වස්තූන් විය යුතු යයි කීවේ මේ ප්‍රඥප්තියට අනුවය. දාර්ශනික ලෝකයේ මිස සැබෑ ලෝකයේ මෙවැනි දෙයක් සිදු නොවේ. ඊශ්‍රායල් හමුදාව ඉරානයට පහර දෙයි. ඇමරිකාව ඊට මැදිහත් වූයේය. ඉරානය වැටී වැටී නැගිටින්නට වෙහෙසෙයි. රුසියාවට යමෙකු පහර දුන්නොත් ලෝකයම නැති වේ යැ’යි පුටින් කියයි. ලෝකය අපූර්ව වස්තුවකි. එක සමාන මනුෂ්‍යයින් දෙදෙනෙක් නැත.

1971 පසුව ෂන් ජාතිවාදියෙකු වූ බව රහසක් නොවේ. හිඟා නොකා හිඟා කමින් ජීවත් වන බව කියමින් සිටි ලාල් කාන්ත, වසන්ත සමරසිංහ වැන්නවුන් ඇතුන් බරට වස්තුව රැස් කර තිබීම, බිමල් රත්නායත කන්ටේනර් සිය ගණනක් පැන්නීම ආදි කී නොකී බොහෝ කාරණා රහස් නොවේ. පොහොර සංස්ථාවේදී හොරකම් කළ කුමාර, ඇමති ධුරය ලබාගත් පසු ගල් අඟුරු වංචාවට කරගැසීමද රහසක් නොවේ. ඇතැමුන් මේ ඇත්ත වටහාගන්නට අපොහොසත් වන්නේ ඇයිද යන්න රහසකි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top